ජෝ රූට්ගේ පිත්තට ශ්‍රී ලංකා ලකුණු පුවරුවම යට‍ වෙයි | දිනමිණ

ජෝ රූට්ගේ පිත්තට ශ්‍රී ලංකා ලකුණු පුවරුවම යට‍ වෙයි

ජෝ රූට් ලකුණු 150 වාර්තා කළ අවස්ථාව.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් තුට්ටුවකට මායිම් නොකළ ජෝ රූට් ප්‍රමුඛ එංගලන්ත පිතිකරුවෝ ගාල්ලේ පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 320ක් රැස් කර තිබිණි.

ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 135කට සීමා වූ අතර, ඒ අනුව කඩුලු 6ක් අතැතිව සිටින සංචාරක කණ්ඩායම ලකුණු 185ක් ඉදිරියෙන් සිටී. 

ජෝ රූට් ලකුණු 168ක් සහ ජොස් බට්ලර් ලකුණු 7ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති. පන්දු 254කට මුහුණ දුන් රූට් හතරේ පහර 12කින් ඉනිම වර්ණවත් කර ගත් අතර, බට්ලර් පන්දු 31කට පමණක් ක්‍රීඩා කළේය.

රූට් මේ තරගයට පෙර ටෙස්ට් තරග 97කදී ලකුණු 7823ක් රැස් කර තිබූ අතර, ලකුණු 8000 රැස් කිරීමට ඔහුට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 9ක් පමණි. එංගලන්ත ටෙස්ට් ලකුණුලාභීන් අතර, ඔහු 7 වැනි ස්ථානයේ පසු වෙයි.

වර්ෂාවත්, පිටියේ තෙත සහිත ස්වභාවයත් හේතුවෙන් ඊයේ තරගය ආරම්භ කිරීම නියමිත වේලාවට වඩා පැයක් පමණ ප්‍රමාද වූ අතර, සවස ද පැය එකහමාරකට ආසන්න කාලයක් වර්ෂාව නිසා තරගයට අහිමි විය. මේ හේතුවෙන් ඕවර 35ක් පමණ ඊයේ දිනය තුළ ක්‍රීඩා කිරීමට නොහැකි විය.

තරගයේ පළමු දිනය නිමා වන විට එංගලන්ත නායක ජෝ රූට් සහ ජොනි බෙයාර්ස්ටෝ තෙවැනි කඩුල්ලට ගොඩනඟා තිබූ ලකුණු 110ක සබඳතාවට ඊයේ තවත් එක් කළ හැකි වූයේ ලකුණු 4ක් පමණි. ඊයේ යැවූ දෙවැනි ඕවරයේදී බෙයාර්ස්ටෝ දැවී ගියේ ලසිත් ඇඹුල්දෙණියට තෙවැනි කඩුල්ල අත් කර දෙමිනි. පන්දු 2කට පමණක් මුහුණ දුන් බෙයාර්ස්ටෝට ඊයේ සිය ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගැනීමට අවස්ථාවක් නොලැබිණි. ඔහු පළමු දිනයේ රැස්කර තිබූ ලකුණු 47 සමඟින්ම පිටියෙන් ඉවත් විය. බොයර්ස්ටෝගේ දැවී යෑමෙන් අනතුරුව නායකයා සමඟ එක් වූ 23 හැවිරිදි නවක ක්‍රීඩක ඩෑන් ලෝරන්ස් සිවුවැනි කඩුල්ලට ලකුණු 173ක් එක් කිරීමට සමත් විය. ඒ අතරතුර රූට් සිය 18 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය. ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේ ලෝරන්ස් දැවී යෑමත් සමඟ සිවුවැනි කඩුල්ලේ සබඳතාව නිමා වූයේ මුළු ලකුණු 304දීය.

සිය මංගල ටෙස්ට් ඉනිමේදී පන්දු 150කට මුහුණ දුන් ලෝරන්ස් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 73ක් රැස් කළේය. ලෝරන්ස් මෙන්ම බෙයාර්ස්ටෝ ද කුසල් මෙන්ඩිස්ගේ උඩ පන්දු රැකීම හමුවේ දැවී ගියහ. පස්වරු 3.35ට පමණ තේ පානය සඳහා තරගය නතර කළ අතර, ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත වීමෙන් අනතුරුව යළිත් තරගය ආරම්භ කිරීමට නොහැකි විය.

අද තරගයේ තෙවැනි දිනයයි.

නව අදහස දක්වන්න