උණවටුන දිසා රෝහලේ ගිලන් රථ රියැදුරු සුදේශ් සුවවිරු ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලබයි | දිනමිණ

උණවටුන දිසා රෝහලේ ගිලන් රථ රියැදුරු සුදේශ් සුවවිරු ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලබයි

දකුණේ කොවිඩ් රෝගීන් වැඩිම පිරිසක් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගෙනගිය

දකුණු පළාතේ වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගෙන ගොස් ඇති උණවටුන දිසා රෝහලේ ගිලන් රථ රියැදුරු සුදේශ් වරුණ ශාන්ත සුවවිරු ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලබා ඇත.ඔහුගේ සේවය අගයා පවුලේ අය සමඟ යාල සිනමන් බිච් සංචාරක හෝටලයේ දින දෙකක නිවාඩුවක් ගත කිරීමටද අවස්ථාව ලැබිණි. පසුගිය මාස නමයක කාලය තුළ දිනේශ් විසින් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත ගෙන ගොස් ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 365කට අධිකය.නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙන ගොස් ඇති සංඛ්‍යාව 1200කි. තමාගේ අත් දැකිම් පිළිබඳ සුදේශ් මෙසේ කීය. මගේ සේවා කාලය අවුරුදු හයයි.කොවිඩ් ආපු පළමු දවස්වල ඒක හැදුනම හොඳ වෙනවද මැරෙනවද කියල වැඩි දෙනෙක් දැනගෙන හිටියේ නැහැ.ඒ වගේ අවස්ථාවක තමයි මම ඉස්සර වෙලාම පළමු කොරෝනා රෝගියා මාර්තු 20 වෙනිද අයි.ඩී.එච්.රෝහලට ගෙන ගියේ.එදා ඉඳල ගතවු මාස නමයට මම කිලෝ මීටර් පනස් දහසකට වැඩිය දුවල තියෙනවා.නිරෝධායන මධ්‍යස්ථානවලට එක් දහස් දෙසීයක් ගෙන ගියා.කොරෝනා රෝගින් තුන්සිය හැට පහක් ප්‍රතිකාර සඳහා රෝහල්වලට ගෙන ගොස් තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ නිරෝධායන මධ්‍යස්ථානවල සිට අයි.ඩී.එච්.,වැලිකන්ද ,කාතන්කුඩි,ඉරණවිල,මඩකලපුව, හම්බන්තොට සහ නෙවිල් ප්‍රනාන්දු යන රෝහල්වලට එම තුන්සිය හැට පස්දෙනා ගෙන ගොස් තිබෙනවා.සමහර දිනවල අයි.ඩි.එච්.රෝහලට ගිහිල්ල ආපු හැටියෙම හම්බන්තොට යන්න කියනවා.මම ඒ ගමන්ම හම්බන්තොට යනවා.කිසි විටෙක මහන්සි මට බැහැ කියල නැහැ.දවසක් අයි ඩී.එච් ගිහිල්ල ආපු හැටියේ පුංචි දරුවෙක් අරගෙන නෙවිල් ප්‍රනාන්දු රෝහලට යන්න කිව්වා. දරුවගේ ජිවිතය බේර ගන්න තියෙන්නේ විනාඩි කිහිපයක් විතරයි කියල තිබුණා. මම වහාම දරුවා අරගෙන ගියා.දරුවගේ අම්මයි තාත්තයි ඇතුලේ ඉඳගෙන ඒ අයගේ ආගම කියනව මට ඇහෙනවා.මම අධිවේගි මාර්ගයේ විනාඩි තිස් පහට නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආවා.දරුවගේ ජිවිතය බේර ගන්න පුළුවන් වුණා.දැන් හැමදාම උදේට දරුවගේ තාත්ත මට කතා කරල ඒ අයගේ ආගමේ හැටියට මට පිං දෙනවා .කොරෝනා පළමු රැල්ලේ සිට මේ දක්වා මම කරපු සේවය අගයා සුවවිරු ප්‍රණාම සම්මානය ලැබුණා.ඒ වගේම දින දෙකක් පවුලේ අය සමග යාල හෝටලයක නිවාඩුවක් ගත කරන්නත් ලැබුණා.ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න,වසංගත රෝග විද්‍යාඥ වෙනුර සිංගාරච්චි උණවටුන රෝහලේ වෛද්‍ය නිලධාරි සුන්දර මුදලිගේ මහත්වරුන් වගේම විශේෂයෙන් මගේ සහායක දිනේශ් අපරැක්කද සිහිපත් කළ යුතුයි.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතා මෙසේ කීය-සුදේශ් බය නැතිව වැඩ කළා.ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ඇඳගෙන එක දිගට පැය ගණනක වාහනයක් ධාවනය කිරීම පහසු නැහැ.නමුත් සුදේශ් එක දිගට පැය ගණනක් ගිලන් රථයේ සිටියා.මාසයක් ඔහු ගෙදර ගියේ නැහැ.දවල්ද රෑද කියල බලන්නේ නැහැ කියන තැනකට යනවා. සමහර දවස්වල අධිවේගි මාර්ගයේ මුදල් අය කළේ නැහැ.සමහර දිනවල මුදල් අය කළා.ඒ අධිවේගි ගාස්තුවත් ඔහුගේ අතින් ගෙවලයි ගියේ.ඒවා ගෙවීමට අපට අරමුදලක් තිබුණේ නැහැ.ඔහු විශාල කැපවිමක් කළා. කොරෝනා රෝගින් සියයට අනු පහක්ම ප්‍රවාහනය කළේ ඔහුයි.

 

නව අදහස දක්වන්න