සැප බසයේ රියැදුරු අයිස් කිලෝ 18ක් සමඟ කොටු වෙයි | දිනමිණ

සැප බසයේ රියැදුරු අයිස් කිලෝ 18ක් සමඟ කොටු වෙයි

ගාල්ලේ සිට කොළඹට අයිස් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් තවත් කිලෝ ග්‍රෑම් 18ක් ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථ රියැදුරකු මත්ද්‍රව්‍ය තොගය සහ එම බස්රිය සමඟ කොස්ගොඩදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවේදී මිය ගිය බව කියන පාතාල කල්ලි නායකයකු වූ අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන “ලැතී“ නමැත්තා මේ ජාවාරම මෙහෙයවා ඇති බවට පොලිසිය කළ විමර්ශනවලින් හෙළිව ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරා හෝමාගම පදිංචි 27 හැවිරිදි අයකු වන අතර මොහු ගාල්ල සිට කොළඹ බලා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන අතර ස්ථාන කිහිපයකදී ඉල්ලුම්කරුවන් සඳහා අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවට තොරතුරු ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඩුබායි ආදී මැදපෙරදිග රටවල සිට ක්‍රියාත්මක වූ මෙරටට හෙරොයින් බෙදා හැරීමේ ජාලය මෙරට බුද්ධි හා වැටලීම් අංශ හේතුවෙන් අඩපණ වීමත් සමඟ කෘත්‍රිම මත්ද්‍රව්‍යක් වූ අයිස් ව්‍යාප්ත කිරීමේ ජාලයක් ජාවාරම්කරුවන් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවට ශ්‍රී ලංකා බුද්ධි තොරතුරු අනුව හෙළිව ඇත. විශේෂ කාර්ය බළකාය, ශ්‍රී ලංකා නාවික හමුදාව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිසිය කළ වැටලීම් හේතුවෙන් හෙරොයින් ජාලය මේ වන විට මැඬ පැවැත්වෙමින් තිබේ. ඒ වෙනුවට ක්‍රියාත්මකව ඇති නව මත්ද්‍රව්‍ය ගෙන්වීමේ ජාලයද බිඳ දැමීමේ ක්‍රමවේදය සාර්ථක කර ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටී.

චන්ද්‍රිකා පෙරේරා සහ කරන්දෙණිය සමූහ

නව අදහස දක්වන්න