කිම් උන්ගේ්‍ බල ලැයිස්තුව | දිනමිණ

කිම් උන්ගේ්‍ බල ලැයිස්තුව

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි ශක්තිය සහ හමුදා ශක්තිය තවදුරටත් ප්‍රසාරණය කළ යුතු බව උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් අවධාරණය කරයි.

උතුරු කොරියා නායකයා මේ බව සඳහන් කළේ උතුරු කොරියා පාලක පක්ෂය වන කම්කරු පක්ෂයේ අටවන සම්මේලනය අමතමිනි. එවැනි දේශපාලන සම්මේලනයක් එරටෙහි පැවැත්වෙන්නේ ඉතා කලාතුරකින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. න්‍යෂ්ටික සබ්මැරීනයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සැලසුම සකසා අවසන් බව ද උතුරු කොරියා නායකයා සිය කතාවෙන් අනාවරණය කළේ ය. මේ සබ්මැරීනය ලොව ඇති භයානකම අවියක් වනු ඇති බවට කිම් ජොන්ග් උන් විශ්වාසය පළ කළේ යැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ය. තම රටෙහි පැවතිය යුතුයැයි තමන් අදහස් කරන අවි ආයුධ ලැයිස්තුවක් ද කිම් ජොන්ග් උන් මේ සැසියේදී ඉදිරිපත් කළේ ය. ගොඩ බිමෙන් හෝ මුහුදෙන් හෝ ක්‍රියාත්මක කළ හැකි දිගු දුර බැලස්ටික් මිසයිල සහ තවත් න්‍යෂ්ටික අවි රැසක් එම ලැයිස්තුවට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. සතුරන් උතුරු කොරියාවට එරෙහිව අවි ක්‍රියාත්මක කරන තුරු තම රටේ ඇති න්‍යෂ්ටික අවි භාවිතයට ගැනීමට අදහස් නොකරන බව ද උතුරු කොරියා නායකයා මේ සමුළුවේදී සඳහන් කර තිබිණ.

තව දින කිහිපයකින් - එනම් මේ මස විසිවන දින දිවුරුම්දීමට නියමිත ඇමෙරිකා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් උතුරු කොරියාව අනුගමනය කරන පිළිවෙත පැහැදිලි කර දීම සඳහා කිම් ජොන්ග් උන් මේ කතාවේදී වැඩි නැඹුරුවක් දක්වා තිබුණු බව සඳහන් වේ. තමන්ට එරෙහිව සිටින විශාලතම සතුරා ඇමෙරිකා එක්සත් ජනපදය බව ඔහු එහිදී පවසා තිබේ. ජනාධිපතිවරයා වෙනස් වුවත්, ඇමෙරිකාව පියොන්ග්යැන්ග් සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත වෙනස් නොවනු ඇති බව උතුරු කොරියා නායකයාගේ අදහසයි.

පළමුව කී දේශපාලන සම්මේලනය අවසානයේදී අවි ආයුධ ප්‍රදර්ශනය කෙරෙන පෙළපාළියක් ද පැවැත්වුණු බව උතුරු කොරියා රජයේ මාධ්‍ය, දර්ශන ද සහිතව වාර්තා කළේ ය. මින් පෙර කිසිදාක නොදුටු න්‍යෂ්ටික අවි මේ පෙළපාළියේදී ප්‍රදර්ශනය කෙරී ඇති බව ලෝක මාධ්‍ය සේවාවන් වාර්තා කරයි. ලෙදර් ඇඳුමකින් සහ බූල් සහිත තොප්පියකින් සැරසුණු කිම් ජොන්ග් උන් සිනහ මුසු මුහුණෙන් එම පෙළපාළිය නරඹමින් ද ඊට අත වනමින් ද සිටින අන්දම දැක්වෙන දර්ශන මේ වනවිට පළවෙමින් තිබේ. ඔහු එම පෙළපාළිය නරඹන්නේ පියොන්ග්යැන්ග්හි පිහිටි කිම් ඉල් සුන් චතුරශ්‍රයේ සිට ය. ඔහු නරඹන පෙළපාළියේ පාබල හමුදාවෝ ගමන් කරමින් සිටින්නෝ ය; න්‍යෂ්ටික අවිවලට අමතරව කාලතුවක්කු සහ භයානක යුද ටැංකි ද එහි ගමන් කරනු දක්නට පුළුවන. කිම් ජොන්ග් උන් තම රටේ යුද ශක්ති මේ අන්දමට පෙන්වන්නට ඇත්තේ, අමෙරිකා ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ජෝ බයිඩ්න්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට විය හැකියැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති. උතුරු කොරියාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක අතර හමුවක් 2018 වසරේදී සිදු විණ. එසේ වූවත් උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළට ප්‍රමාණවත් තරමේ බලපෑමක් එල්ල කරන්නට ඇමෙරිකාවට නොහැකි වූයේ ය.

උතුරු කොරියාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවා තිබුණ ද, උතුරු කොරියා නායකයා න්‍යෂ්ටික අවි නිෂ්පාදනය අත්හැරීමට කල්පනාවක් නැත. උතුරු කොරියාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවා තිබෙන්නේ ම එරට අනුගමනය කරන න්‍යෂ්ටික අවි ආයුධ අත්හදා බැලීම, නිෂ්පාදනය, ගඩබා කිරීම යනාදී කාරණා රාශියක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි. හුදෙකලා තම රට නැංවීමට තමන් ඉදිරිපත් කළ පස් අවුරුදු ආර්ථික වැඩ පිළිවෙළ සෑම අංශයකින් ම අසාර්ථක වී ඇති බව උතුරු කොරියා නායකයා පසුගිය සතියකදී ප්‍රසිද්ධියේ ම කියා සිටියේ ය. එම වැඩපිළිවෙළේ ඉලක්ක සපුරා ගන්නට තමන් අසමත් වූ බව ඔහු එවර පැහැදිලිව ම ප්‍රකාශ කර තිබිණ.

උතුරු කොරියාව හැමවිටම ගෙන යන්නේ ඉතා රහසිගත වැඩපිළිවෙළකි. එරටට කොරෝනා වසංගතය බලපා තිබෙන්නේ කවර අන්දමින් ද යන්න ගැනවත් ලෝකයට අනාවරණය කිරීමට උන් සහ උන්ගේ නිලධාරීහු ඉදිරිපත් නොවෙති. කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වත්ම පසුගිය ජනවාරි මාසයේදී උතුරු කොරියාවේ දේශසීමා වසා දමන ලදී. තම රටෙන් කිසිදු කොරෝනා රෝගීන් වාර්තා නොවන බව උතුරු කොරියා බලධාරීහු පවසති. එසේ වූවත් කොරෝනා එන්නත් ගැන උතුරු කොරියාව විපරම් කරමින් සිටින බව දැන ගන්නට තිබේ.

 

මංජුලා විජයරත්න

නව අදහස දක්වන්න