නි.පොලිස්පති කාර්යාලයේ සඳලුතලය සරුසාර එළවළු කොරටුවක් වෙයි | දිනමිණ

නි.පොලිස්පති කාර්යාලයේ සඳලුතලය සරුසාර එළවළු කොරටුවක් වෙයි

අහස උසට නැඟෙනා ගොඩනැඟිලිවලින් කොළඹ දිස්ත්‍රික්කය වැසී යද්දී ගහට කොළට ඇති ඉඩකඩ ද අහිමි වී යමින් පවතී. හුස්ම ගැනීමට ඔක්සිජන් බිඳක් හෝ නැති වී යන දිනය වැඩි ඈතක නොවනා අතර ඉන්දියාවේ මෙන් ඔක්සිජන් සල්ලිවලට ගැනීමට පවා සිදු වන කාලය වැඩි ඈතක නැත. මේ කියන්නට යන්නේ කොළඹ දිස්ත්‍රික්කයට ආසන්නයේ ඇති පෑලියගොඩ තෙමහල් ගොඩනැඟිල්ලක උඩු මහලේ හුස්ම ගැනීමට ඔක්සිජන් මෙන්ම නාගරීකරණය වූ ප්‍රදේශයක වස විසෙන් තොර එළවළු පරිභෝජනයට නිසි මඟපෙන්වීමක් යටතේ සිදු කරන්නා වූ වගා සංග්‍රාමයක් ගැනය.

පුරා දශක හතරකට අධික කාලයක් කිසිදු ප්‍රයෝජනයක් නොගත් ස්ථානයක මාස තුනකට අඩු කාලයකදී එළවළු හා භෝග පැළ 1500කට ආසන්න ප්‍රමාණයක් වගා කිරීමට බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතාගේ මඟපෙන්වීමෙන් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබේ.

පොලිසිය යනු රාජකාරි අතින් බහුල තැනක් වුව ද මේ නිලධාරීන් තම රාජකාරිය හරිහැටි ඉටු කරමින් සේවා කාලයෙන් පසු සිය කැමැත්තෙන්ම එළවළු වගා කිරීමට එක් වී සිටිනා අයුරු පෑලියගොඩ පොලිස් ස්ථානයේ උඩු මහලට යන ඕනෑම කෙනකුට දැකගත හැකිය. තෙමහල් ගොඩනැඟිල්ලක ඉහළ මාලයට පස් ඇද ගෝනි තුළ පැළ සිටුවීම කර ඇති අතර කිසිදු රසායනික පොහොරක් භාවිත නොකර කාබනික පොහොර පමණක් භාවිත කර තිබීම ද විශේෂත්වයකි. රජයෙන් කිසිදු මුදලක් නොගෙන වර්ගඅඩි 3500ක් තරම් වූ කොන්ක්‍රීට් වහලක් මත වගා කර ඇති භෝගවල ඵලදාව නෙළීමට තවත් සතියකින් හෝ දෙකකින් පුළුවන.

මේ පිළිබඳ අදහස් දක්වමින් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතා මෙසේ පවසා සිටියේය.

"මම දැනට වැඩ භාර අරන් මාස තුනකටත් අඩු කාලයක් වෙන්නේ. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට ක්‍රියාකාරී දායකත්වය දක්වන මේ වගා වැඩපිළිවෙළ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඇගයීමට හා පැසසුමටත් ලක් වුණා. මේ වගා වැඩපිළිවෙළට ප්‍ර.පො.ප. කිත්සිරි කුමාර මහතා, උ.පො.ප. පැතුම් මධුසංක මහතා ඇතුළු නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සියලු නිලධාරීන් කැමැත්තෙන්ම දායක වෙනවා. පෑලියගොඩ පොලිසියෙන් ඉවත දමන කුණු සියල්ලක්ම නගර සභාවට නොයවා මේ වගාවට පොහොරක් ලෙස භාවිත කිරීමට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරියේදී මේ වගාවන්ට කැලණි ගඟේ ජලය භාවිත කිරීමටත් සැලසුම් සකස් කරමින් පවතිනවා."

නියෝජ්‍ය පොලිස්පතිවරයකු යනු විශාල රාජකාරි සම්භාරයක නිරත කෙනෙකි. බස්නාහිර පළාත යනු ජන ඝනත්වයෙන් වැඩි පළාතක් වන අතර පැවරෙන්නා වූ රාජකාරියේ ද අඩුවක් නැත. එවන් වූ රාජකාරියක නිරත වෙමින් තම නිලධාරීන්ට ද ආදර්ශයක් වෙමින් නාගරීකරණය වූ පෙදෙසක සිදු කර ඇති වගා සංග්‍රාමය අනෙකුත් ග්‍රාමීය පොලිසිවලට, රාජ්‍ය ආයතනවලට මෙන්ම පෞද්ගලික ආයතනවලට ද මනා ආදර්ශයකි.

ගයාන් සංජය

 

නව අදහස දක්වන්න