පුත්තලමේ මන්ත්‍රී දෙපළක් සෞඛ්‍ය උපදෙස් නොතකමින් ගමේ අඩුපාඩු හොයන්න ගිහින් ! | දිනමිණ

පුත්තලමේ මන්ත්‍රී දෙපළක් සෞඛ්‍ය උපදෙස් නොතකමින් ගමේ අඩුපාඩු හොයන්න ගිහින් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නව සංකල්පයක් පරිදි ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේ මේ දිනවල ගම්වල පවතින අඩුපාඩු සොයා බලමින් යෝජනා සකස් කිරීම සඳහා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපළක් ගමින් ගමට යමින් මහජනතාවගේ උන්නතිය උදෙසා කටයුතු කරමින් සිටී. මෙලෙස චින්තක මායාදුන්න සහ අලි සබ්රි රහීම් යන මන්ත්‍රීවරුන් දෙදෙනා සෞඛ්‍ය උපදෙස් තුට්ටුවකටවත් මායිම් නොකර මෙලෙස ගමින් ගමට ගොස් සංවර්ධනයේ අරුණලු එක් කරනා මුවාවෙන් කොවිඩ් සළුව ජනතාවට පොරවාලයිදෝ සැකයක් ප්‍රදේශවාසීන්ට ඇතිව තිබේ.

අදාළ මන්ත්‍රීවරුන් දෙපළ සහ ඒ රැස්වීම්වලට සහභාගි වන සමහර දේශපාලනඥයන් අතර කිසිදු ආකාරයකින් මීටරයේ පරතරයක් දක්නට නොලැබෙනා අතර, සමහර අවස්ථාවන්වලදී මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙපළ මුඛ ආවරණ නොපැලඳ සිටීම නිරන්තරයෙන්ම දක්නට ලැබේ.

මේ වන විට අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් පවා කොවිඩ් - 19 ආසාදිතයන් ලෙස නම් පටබැඳ ගනිද්දී එවන් ස්ථානයක සිට පැමිණෙන මොවුන් දෙපළ ගැන ප්‍රශ්නයක් මතුවනා බවට ප්‍රදේශවාසීහු පවසති. "යකඩ මල්ලට ගුල්ලෝ ගැසුවා නම් හාල් මල්ල නොබලා විසි කරපන්" කිව්වා සේ මෙවැනි සංවර්ධනයේ අරුණලු සොයා පැමිණෙන ජනතාවට වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටුණා කියන කියමන උදා නොකර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු රටේ නායකයන් වැරදි මාවතේ යමින් ජනතාවට හරි මාවතේ යෑමට පුරුදු පුහුණු කළ හැකි වන්නේ කෙදිනක දැයි මහජනතාව අසා සිටිති.

 

කේ. ප්‍රියංකර කළුපහන - වනාතවිල්ලුව සමූහ

නව අදහස දක්වන්න