කොවිඩ් මැද ජය ගත යුතු ආර්ථිකය | දිනමිණ

කොවිඩ් මැද ජය ගත යුතු ආර්ථිකය

කොවිඩ් වසංගතය ලොව පුරා පැතිර යෑමත් සමඟ මෙරට සංචාරක කර්මාන්තය බින්දුවටම ඇද වැටිණි. කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යන සිටි බස් සේවාව සඳහා සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් මුදල් අයෝජනය කර සුඛෝපභෝගි බස් රථ මිලට ගත් පුද්ගලයන්ට අයත් අද සංචාරකයන් නොමැති නිසා පැත්තකට දමා බස් රථ යොදා ගැනීමට රජය තීරණය කිරීම යහපත් ප්‍රවණතාවකි.

 

කොවිඩ් වයිරසය ලොව හඳුනා ගෙන මේ වන විට වසරක කාලයක් ගතව තිබේ. වයිරස් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 90ක් වෙත්දී මරණ සංඛ්‍යාව මිලියන දෙක ආසන්නයට පැමිණ ඇත. සෞඛ්‍ය අංශ ඉතා දියුණු යැයි පිළිගැනෙන ඇමරිකාව, එංගලන්තය වැනි රටවල් පවා වයිරස් ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නොහැකිව සිටින්නේ දෛනිකව වාර්තා වන දහස් ගණනක් වූ රෝගීන්ට අවශ්‍ය පහසුකම් පවා දීමට නොහැකි තත්ත්වයකට පත් වෙමිනි. අසල්වැසි ඉන්දියාවේ තත්ත්වයද එයමය. පළමු කොවිඩ් රැල්ල ඉතා සාර්ථකව පාලනය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේදී පැසසුමට ලක්වූ අපට දෙවන රැල්ල ඒ අාකාරයෙන් පාලනය කිරීමේ හැකියාවක් නො ලැබිණි. මේ වන විට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පනස් දහසේ සීමාවට ළඟා වී තිබේ. මරණ සංඛ්‍යාව 250 ආසන්නයට පැමිණ ඇත. වයිරසය ආසාදිනය වූ සංඛ්‍යාව පනස් දහසේ සීමාවට පැමිණ තිබුණද මේ මොහොත වනවිට රටේ සිටින වයිරස් අසාදිතයින් සංඛ්‍යාව පවතින්නේ හත්දහසක පමණ අගයක ය. රෝගයට ගොදුරුවූ 85% ක් පමණම සුවවී සිටින අතර මරණ සිදුවීමේ ප්‍රතිශතය පවතින්නේ 0.5 ට අඩු අගයකය. මෙය රටක් ලෙස අප ලබා තිබෙන විශාල ජයග්‍රහණයකි.

 

දෙවැනි රැල්ලේ බලපෑම

කොවිඩ් පළමු රැල්ල අවස්ථාවේ රටවල් වසා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට ලෝකයේ බොහෝ රටවල් උත්සාහ කළත් ඉන් අපේක්ෂිත ප්‍රතිඵල අත් නොවිණි. එමඟින් එක් පැත්තකින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇනහිට ආර්ථිකය කඩා වැටීමකට ලක්වන අතර අනෙක් පසින් වයිරසය තාවකාලිකව සැඟව ගොස් යළි මතුවීම නිසා පෙරට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන තත්ත්වයත් මතුවෙයි. මෙම අත්දැකීම ලෝකයේ සෙසු රටවලට මෙන් අපටද අත් විඳින්නට සිදුව ඇත. අපේ රටේ කොවිඩ් දෙවන රැල්ල ඇති වූයේ ඒ ආකාරයටය. මෙම පසුබිම යටතේ කොවිඩ් සමඟ ජීවත් වෙමින් ආර්ථිකය බිඳ වැටීමට ලක්නොවී ස්ථාවරය පවත්වාගෙන යෑම සම්බන්ධව ලෝකයේ රටවල් කල්පනා කරමින් සැලසුම් සකස් කළේය. කොවිඩ්වලට බියේ රට වසා තැබුවහොත් ඒ කොපමණ කාලයකටද යන්න සම්බන්ධව ගැටලුවක් තිබේ. කිසිදු ආසාදිතයකු හමු නොවන තෙක් රට වසා දමා, මින් ගැලවීමටද හැකිද ?. නැත. එය කිසිසේත්ම ප්‍රායෝගික නොවන්නේය. එසේ නම් කළ යුතුව තිබෙන්නේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නිසි ලෙස අනුගමනය කරමින් කොවිඩ් සමඟ ජීවත් වීමය. තමන් ගෙන් වෙන අයෙකුටත් වෙන අයෙකු ගෙන් තමන්ටත් වයිරසය ආසාදනය වීමට ඇති අවස්ථා නැති කිරීම මඟින් රෝග ව්‍යාප්තිය පාලනය වන බව කවුරුත් දන්නා කරුණකි. එසේ නම් මේ අවස්ථාවේ නිවසට වී සැඟවීම නොව අප කළ යුත්තේ එම පිළිවෙත සිහියේ තබා ගනිමින් දෛනික කටයුතුවල නිරත වීම ය.

වසරක පමණ කාලයක් නිවෙස්වල සිටි පාසල් දරුවන් සඳහා දැන් පාසල් විවෘත කර තිබේ. දිගින් දිගටම පාසල් වසා තැබීම ප්‍රායෝගික නොවන අතර කඩඉම් විභාග කල්යෑම ජීවිතය පසුපසට තල්ලු වීමට හේතුවකි. රටක් ලෙස අප ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය ලැබීමට හුරුවූයේ කොවිඩ් වසංගතයත් සමඟිනි. ලෝකයේ දියුණු රටවල් මෙම ක්‍රමය කොවිඩ් තර්ජනය එල්ල වීමට පෙර සිටම භාවිත කිරීම නිසා අලුතින් ඒ සඳහා යොමු වීමට ඔවුන්ට සිදු නොවිණි. ඔන්ලයින් අධ්‍යාපනය අපට ආගන්තුකය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වරක් පැවසුවේ පසුගිය මාර්තු මාසය වන විට එකදු ඔන්ලයින් පන්තියක් හෝ විශ්වවිද්‍යාල මට්ටමින් සිසුන් වෙනුවෙන් පවත්වා නොතිබුණු බවයි. විශ්වවිද්‍යාල සිසුන්ටද මෙය ආගන්තුක වත්දී පාසල් දරුවන්ට එය ආගන්තුක වීම අරුමයක් නොවන්නේය. පළමු පාසල් වාරය ආරම්භ කරමින් පාසල් යන බොහෝ දරුවන් දැන් ඔන්ලයින් අධ්‍යාපනය පිළිබඳ යම් දැනුම් ඇත්තන්ය. පන්ති කාමරය තුළ ගුරුතුමා ඉදිරියේ අකුරු ඉගෙන පුරුදු අපට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලැබීම තරමක් නුහුරු විය. භාවිතය ඇසුරෙන් ඊට යම් ප්‍රමාණයකට හුරුව සිටියදී පාසල් ආරම්භ කළ බැවින් දැන් යළිත් තමන් කැමැති පෙර අධ්‍යාපනය ලැබූ ක්‍රමයට දරුවන්ට හුරුවීමට පුළුවන. එසේ සිදු වුවහොත් එය අප කරගන්නා වරද්දා ගැනීමකි. පාසල්වලට ළමයි පැමිණි අවස්ථාවේ පන්ති කාමරය තුළ තාක්ෂණය භාවිත කිරීමට ගුරුවරු උනන්දු විය යුතුය. ඉදිරියේදී මේ ආකාර අර්බුද ලෝකයේ ඕනෑ තරම් ඇති වීමට පුළුවන. ඒ නිසා ඔන්ලයින් තාක්ෂණය සම්බන්ධව ලැබූ දැනුම හා එය භාවිත කිරීමට ළමයින් තුළ ඇතිව තිබෙන පෙළඹවීම නැති වීමට ඉඩ නොහැරීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමය.

 

සංචාරක ව්‍යාපාරය

මෙරට මිලියන තුනක පමණ පිරිසක් සංචාරක ව්‍යාපාර අංශය හා සම්බන්ධව සිටිති. සංචාරකයින් නොපැමිණීම නිසා ඔවුන් සියල්ලන් අද පත්ව සිටින්නේ දරුණු ආර්ථික ගැටලුවලට ය. හෝටල් බොහොමයක් වසා දමා තිබෙන අතර සේවකයින් රැසකට රැකියා අහිමි වී තිබේ. පාස්කු ප්‍රහාර එල්ල වීමට පෙර මෙරට සංචාරක ව්‍යාපාරය ඉතා හොඳ තත්ත්වයක පැවතිණි. ඉන් පසු එහි යම් කඩා වැටීමක් ඇති වුණත් කොවිඩ් අර්බුදය එන්නට ආසන්න කාලයේදී සංචාරක අංශය යළි පිබිඳීමකට ලක්වෙමින් තිබිණි. මේ නිසාම එම අංශය සඳහා අයෝජන කිරීමට බොහෝ පිරිස් උනන්දු වූහ. එහෙත් තත්ත්වය උඩු යටිකුරු කරමින් කොවිඩ් වසංගතය ලොව පුරා පැතිර යාමත් සමඟ මෙරට සංචාරක කර්මාන්තය බින්දුවටම ඇද වැටිණි. කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යන සිටි බස් සේවාව සඳහා සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් මුදල් අයෝජනය කර සුඛෝපභෝගි බස් රථ මිලට ගත් පුද්ගලයින්ට අයත් අද සංචාරකයින් නොමැති නිසා පැත්තකට දමා බස් රථ යොදා ගැනීමට රජය තීරණය කිරීම යහපත් ප්‍රවණතාවකි. ආර්ථික අතින් කඩා වැටී සිටින අය වෙනුවෙන් රජය ඒ අකාර සැලසුම් ක්‍රියාත්මක කිරීමත් මගී ජනතාවට හොඳ පොදු ප්‍රවාහනයක් ඇති කිරීමට ඒ ඔස්සේ මඟ පෑදීමත් අගය කළ යුතුය.

ගුවන් තොටුපොළ විවෘත කිරීමත් සමඟ අපට ඉදිරියේදී ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන බව තේරුම් ගත යුතුය. එකක් නම් කොවිඩ් ආසාදිත පුද්ගලයින් රටට පැමිණීමය. විදේශගතව රැකියා කරමින් විශාල ලෙස රටට විදේශ විනිමය ලබාදුන් ශ්‍රී ලාංකිකයින්ට රටේ දොරටු විවර විය යුතුය. රැකියා අහිමිවීම තුළ තවත් ඔවුන්ට විදේශ රටවලට වී කල් ගෙවීමට හැකියාවක් නැත. පසුගිය වසර මැද භාගයේ සිට ඔවුන් ප්‍රකාශ කළේ තමන්ව මව් රටට ගෙන්වා ගන්නා ලෙසයි. දැන් ඒ සඳහා අවශ්‍යය පියවර රජව විසින් ගනු ලැබ තිබේ. මේ එන්නේ විදේශ රටවල රැකියා කළ පිරිස් බවත් ඔවුන් පැමිණෙන්නේ රැකියා අහිමිව බවත් අප තේරුම් ගත යුතුය. අනෙක් පසින් ලංකාවේ හෝටල් ක්ෂේත්‍රය ඇතුළු අංශ ගණනාවක සේවය කළ විශාල පිරිසකට රැකියා අහිමිවී ඇත. ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යෑමට අවශ්‍යය මුදල් උත්පාදනය නොවීම නිසා සේවක කප්පාදු ක්‍රියාත්මක කිරීමට ව්‍යාපාරිකයින්ට සිදුව තිබේ. විදේශ රටවල සිට පැමිණෙන පිරිස් මෙරට රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කිරීමත් සමඟ රැකියා සඳහා දැඩි තරඟාකාරීත්වයක් නිර්මාණය වනු ඇත. ඒ තුළ වෘත්තිය මට්ටම් සඳහා තීරණය වී තිබෙන වැටුප් ප්‍රමාණ පහළ යෑමට පුළුවන. විරැකියාව වැඩිවීම නිසා සමාජ අසහනය ඉහළ යෑමේ අවදානමක්ද මතුවීමට පුළුවන. මේ සියලු කාරණා කෙරෙහි අවධානය යොමු කරමින් තීන්දු තීරණ ගැනීමටත් හැකි තරම් ජනතාවට ජීවිතය ගොඩනගා ගැනීම සඳහා ඇති අවස්ථා පුළුල් කිරීමටත් රජය විසින් සැලසුම් කළ යුතුය.

මෙම පසුබිම තුළ අලුතින් යමක් හිතන්නට අපට සිදුව තිබේ. ඒකාකාරී ජීවන ක්‍රියාවලියෙන් බැහැරට ගොස් නිර්මාණශීලීව තීන්දු තීරණ ගැනීමෙන් අනාගත අභියෝග ජය ගැනීමට මඟ සලසා ගත හැකිය. කළ යුත්තේ නිකන් නො සිට ඒ සඳහා උත්සාහ කිරීමය. කොවිඩ්-19 ලෝක ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් ලෙස නව ව්‍යාපාර අවස්ථා ගණනාවක් බිහි කිරීමට සමත්ව තිබේ. පවතින ව්‍යාපාර නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීම පවතින අර්බුදයෙන් ගැලවීමට ඇති හොඳ මඟකි. ඒ සඳහා ව්‍යාපාර විවිධාංගීකරණයකට ලක්විය යුතුය. සංචාරකයින් නොමැතිව වසා දමා තිබෙන හෝටල් කෘෂි නිෂ්පාදන ක්ෂේත්‍රය හා සම්බන්ධ කළ හැකිය. විශේෂයෙන්ම රජය විසින් ලබාදෙන සහන පොලී ණය මුදල් යොදා ගෙන ලෝකයේ ප්‍රචලිත කෘෂි ක්‍රමවේද වන තිරස් වගා බිම් තාක්ෂණය (Vertical Farming Technology) හෝටල් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට පුළුවන. අඩු ඉඩකඩ ප්‍රමාණයක ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි පිරිමැසුම් දායක මෙම ක්‍රමය අද වනවිට ලෝකයේ රටවල් රැසක ක්‍රියාත්මක වෙමින් තිබේ. මුහුදු මට්ටමේ සිට මීටර 1500 උස් ප්‍රදේශ හා සෙවණ වැඩි ප්‍රදේශයන්හි පිහිටා තිබෙන හෝටල් වල කිරි අල වැනි බෝග වගාවන් කළ හැකිය. මෙය ආර්තාපල්වලට ආදේශකයක් ලෙස යොදා ගැනීමෙන් විදේශ විනිමයක් පිටතට ගලායෑමද වළක්වා ගැනීමට මඟ පෑදෙයි.

 

කෘෂි ප්‍රගමනය

මෙහිදී හොඳින් කෘෂිකර්මාන්ත කටයුතු වල නිරත වන ව්‍යවසායකයින්ට කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුව මඟින් ගැප් (Good Agriculture Practice) සහතිකය පිරිනමා ඔවුන්ව දිරිමත් කළ හැකිය. අහිතකර බලපෑම්වලට ලක්වූ තවත් ආර්ථික කණ්ඩායමක් නම් සංචාරක මඟ පෙන්වන්නන්ය. මෙහිදී බලපත්‍රලාභී සංචාරක මඟ පෙන්වන්නන්ට තම භාෂා දැනුම උපයෝගි කරගෙන භාෂා දැනුම ලබා ගැනීමට කැමැති අයට කුඩා පාඨමාලා දියත් කිරීමේ හැකියාව ඇත. කාර්මික විප්ලවයේ හතරවන අදියරයට පාතබමින් සිටින මොහොතක තාක්ෂණික ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කිරීම සඳහා වත්මන් පරපුර යොදා ගැනීමට පුළුවන. අතීතයේ මෙන් තරුණ පරපුර ගල්කටස් රැගෙන විප්ලව සිදු නොකරන අතර ඔවුන්ගේ විප්ලවය වී ඇත්තේ තාක්ෂණය ඔස්සේ ඩිජිටල් හා සයිබර් අවකාශයේ සිදුකරන විප්ලවයයි. අවුරුදු 20 සිට 25 දක්වා වයස්වල පසුවන තරුණ ප්‍රජාව පරිගණක සාක්ෂරතාවෙන් ඉහළ තත්ත්වයක සිටින අතර වෙඩ් අඩවි, ව්‍යාපාර සලකුණු (Bussiness Logo) නිර්මාණය කිරීම වැනි දෑවලට එම තරුණ කොටස් වල නිර්මාණශීලී දැනුම යොදා ගැනීමට පුළුවන. වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාදෙන එක් ප්‍රධාන ව්‍යාපාරයක් ලෙස මුහුණු පොත (facebook) හඳුන්වා දිය හැකිය. එය නිර්මණය කරන ලද මාක්ස් සකර්බර්ග් අන්තර්ජාලය හරහා බිහිවූ නිර්මාණශීලී තරුණ ව්‍යවසායකයෙකි.

එසේම අන්තර්ජාලය ඔස්සේ වෙළෙඳ කටයුතු සිදු කරනු අලි බාබා ව්‍යාපාරයේ හිමිකරු වන චීන ජාතික ජැක් මා ද අන්තර්ජාලය මඟින් බිහි වූ තවත් නැගී එන ව්‍යවසායකයෙකි. ඩිජිටල් තාක්ෂණය හා සයිබර් අවකාශය තුළින් තරුණ ව්‍යවසායන් බිහිකරන නවෝත්පාදනවලට බුද්ධිමය දේපොළ යටතේ ආවරණයක් ලබා දීමට ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා දායක වන ආයතන ක්‍රියා කළ යුතුය. භූමිකම්පා වැනි ස්වභාවික ව්‍යසන, පළවුන හා දෙවන ලෝක යුද්ධ වැනි දේශපාලන අර්බුද හමුවේ රටක් ලෙස දැඩි අසීරුතාවන්ට මුහුණ දුන්නද ජපානයේ හොන්ඩා, සෝනි, කුබෝටා වැනි සමාගම් අභියෝග ජයගෙන ලෝකයේ දියුණුතම සමාගම් බවට පත්විය. මහඟු කැපවීම, අධිෂ්ඨානය, විශ්වාසය වැනි ව්‍යවසායකයෙකුට තිබිය යුතු ගුණාංග මුළු ලෝකයටම විදහාපාමින් නැවුම් ක්‍රියාමාර්ග ඔස්සේ තම ව්‍යාපාර කටයුතු ඔවුහු මෙහෙයවූහ. අපටද ඒ අකාරයෙන් මේ අර්බුදය ජය ගැනීමට පුළුවන. තිබිය යුත්තේ වුවමනාව හා කැපවීමය. ඒ සඳහා වන අවස්ථා බිහිකර දීම බලධාරින්ට පැවරෙන කාර්යයකි.

 

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න