බුද්ධගයා මාවතේ රක්ෂිත කොටස් දෙකක් බලහත්කාරයෙන් අල්ලාගෙන | දිනමිණ

බුද්ධගයා මාවතේ රක්ෂිත කොටස් දෙකක් බලහත්කාරයෙන් අල්ලාගෙන

අනුරාධපුර බුද්ධගයා මාවතේ පිහිටි ස්ථාන දෙකක රක්ෂිත කොටස් දෙකක් බලහත්කාරයෙන් සිය ව්‍යාපාර ස්ථානවලට ඈදා ගැනීමට අනුරාධපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු කටයුතු කර ඇතත් වගකිවයුතු අංශ ඊට කිසිදු පියවරක් නොගන්නා බව පවසමින් බුද්ධගයා මාවත සුරැකීමේ පදනම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

බුද්ධගයා මාවතේ පදිංචිකරුවන් හැටපස් දෙනකු සිය විරෝධය පළ කරමින් අත්සන් යෙදු පෙත්සමක් බුද්ධගයා මාවත සුරැකීමේ පදනමේ කැඳවුම්කරු නන්දන රත්නවීර මහතා ආණ්ඩුකාරවරයාට යොමුකර තිබේ. එම ස්ථානයේ අපද්‍රව්‍ය කානු පද්ධතියේ නළ මාර්ග හා විදුලි ට්‍රාන්ස්ෆෝමරයේ (එර්ත්) වයර් පොළවට සම්බන්ධ කර තිබෙන ස්ථානයක් බවත් නිරීක්ෂණය කර ගැනීමට හැකිවිය.

මෙම ස්ථානයේ දශක ගණනාවක සිට මගී ආවරණයක් පැවති අතර එය අබලන් වීම නිසා අලුත්වැඩියාවට ගැලවූ අවස්ථාවේ පෞද්ගලික වෙළෙඳ ආයතනයක් ඉදිකරන ව්‍යාපාරිකයා එම කොටස කඩිනමින් ඉන්ටර්ලොක් ගල් අල්ලා බලහත්කාරයෙන් අල්ලාගෙන තිබේ. ඊට විරෝධය පළ කරන බුද්ධගයා මාවත සුරැකීමේ පදනමේ සාමාජිකයන් පිරිසක් මෙසේ පැවසූහ.

‘‘මේ ව්‍යාපාරිකයා මයිලගස්හන්දියේ තිබ්බ විදුලි ට්‍රාන්ෆෝමරය කොටසත් බලහත්කාරයෙන් අල්ලාගෙන ඉන්ටර්ලොක් ගල් අල්ලලා. ව්‍යාපාර ස්ථාන ඉස්සරහින් පදිකයන් යන පාරේත් ඉන්ටර්ලොක් ගල් අල්ලලා. පාර අයිනේ කිසිම කෙනෙකුට වාහනයක් නවත්වන්න බෑ. අපේ ආයතනයේ කොටසක් කියලා කෑගහනවා. මේකේ ඉන්න රාජ්‍ය නිලධාරීන් බහුතරය පිටින් ආපු මිනිස්සු. ඒ මිනිස්සුන්ට මේ නගරය විනාශ වුණාට කිසිම ප්‍රශ්නයක් නෑ. සේවා කාලය අවසන් කරලා ගම් රටවල්වලට යයි. නමුත් අපේ දරුවෝ මුණුපුරෝ මේකේ ජීවත් වෙන්න ඕන. ඒ නිසා අදාළ බලධාරීන් මේ ක්‍රියාවන් වහාම නවත්වන්න පියවර ගන්න ඕන.’’ යනුවෙන් ඔවුහු පැවසූහ.

බී. මහේෂ් විජේ­සුූ­රිය - අනු­රා­ධ­පුර මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න