මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුර 49,879ක් වෙයි | දිනමිණ

මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුර 49,879ක් වෙයි

සුභාෂිණී සේනානායක
රක්ෂණ ශ්‍රියන්ත

- නව ආසාදිතයෝ 674යි 
- මුළු ආසාදිතයෝ 53749යි
- 45,819ක් සුව වෙති 
- මරණ 270 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 674 දෙනකු ඊයේ (19) උදෑසන වන විට අලුතෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

හඳුනාගත් ආසාදිතයන් අතරින් පුද්ගලයන් 47 දෙනකු විදේශගතව සිට මෙරට පැමිණි පුද්ගලයන් වන අතර, ඉතිරි පුද්ගලයන් 627 දෙනා මෙරටදී හඳුනා ගත් අසාදිතයෝ වෙති.

හඳුනා ගත් ආසාදිතයන් අතරින් වැඩිම ආසාදිතයන් පිරිස වන 197දෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 165ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 54ක් හා අනෙකුත් ආසාදිතයන් 211දෙනා සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.

ඊයේ (19) උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළෙඳපොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් වයිරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයන් සංඛ්‍යාව 49,879ක් වේ. මේ වන විට ඉන් පුද්ගලයන් 43,062 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (19) උදෑසන වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ සම්පූර්ණ ආසාදිතයන් සංඛ්‍යාව 53,749ක් වන අතර ඉන් පුද්ගලයන් 45,819ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (19) උදෑසන වන විට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයන් 7660ක් තව දුරටත් ප්‍රතිකාර ලබති.

ඊයේ (19) උදෑසන 6න් අවසන් පැය 24 තුළ රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයන් 649ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. වයිරසය ආසාදිත වීමෙන් පුද්ගලයන් 6 දෙනකු මිය ගොස් ඇති අතර, ඔවුන් උතුරු කළුතර, කොළඹ 15, මෝදර, කොළඹ 3, දෙහිවල, රත්නපුර යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බව වාර්තා වේ. ඒ අනුව ඊයේ (19) උදෑසන වන විට මෙරටින් කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් සිදුවූ සම්පූර්ණ මරණ සංඛ්‍යාව 270ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (19) දිනයේදී ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 92ක් තුළ පුද්ගලයන් 8,198 දෙනකු නිරෝධායනය වෙමින් සිටිති. පෙරේදා (18) දිනය තුළ පමණක් පීසීආර් පරීක්ෂණ 14,984ක් සිදුකර ඇති බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කළේය.

නව අදහස දක්වන්න