අපේ වගකීම ජීවය රැක ගැනීමයි | දිනමිණ

අපේ වගකීම ජීවය රැක ගැනීමයි

චතුමී පිටිපන

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රම සහ විධි තිබේ. ප්‍රාදේශීය සභාවන් හරහා නිසි ක්‍රම වේදයන්ට අනුව කසළ කළමනාකරණය කෙරේ. 7R ක්‍රමය හෝ 3R ක්‍රමය හෝ ආරම්භ කොට කසළ වෙන් කිරීම කළ හැකිය. කොම්පෝස්ට් සෑදීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම කළ හැකිය. එවැනි ආයතන ද ශ්‍රී ලංකාව තුළ තිබේ. 

ගංගා, ඇළ, දොළ ස්වාභාවික සම්පත් ගණයට අයත් වේ. මිනිසාට සහ සත්තුන්ට ද ජලය ලැබෙන මාර්ග මොනවාදැයි ඇසුව හොත් දිය හැකි සරලම පිළිතුර වනුයේ ගංගා, ඇළ, දොළ යන්නය. එහෙත් මිනිසුන්ට ජලය ලැබෙන මාර්ග මේවා වුවද ගංගා, ඇළ, දොළ ද අපවිත්‍ර කරනු ලබන මිනිසුන් පිරිසක් ශ්‍රී ලංකාවේ වාසය කරති. මොවුන් අතර කර්මාන්ත ශාලා හිමියන් ප්‍රධාන ස්ථානයක් ගනී. ගංගා ආශ්‍රිතව ජීවත් වන ජනතාව ද, ගංගා, ඇළ, දොළ නැරඹීම සඳහා යන පිරිස් ද තමන්ගේ අපිරිසුදු දෑ මෙන්ම ප්ලාස්ටික් බෝතල්, අරක්කු බෝතල් වැනි දෑ ද ගංගාවලට දැමීම නිසා මෙම ස්වාභාවික සම්පත් අස්වාභාවික ලෙස අපිරිසුදු වේ.

ගංගාවලට දමන ලද අපද්‍රව්‍ය ගසා ගෙන ගොස් කෙළවර වන්නේ මුහුදෙනි. මේ ආකාරයෙන් දිගටම සිදුවීමෙන් මුහුද ද අපිරිසුදු වේ. උදාහරණ ලෙස සමස්ත කොළඹ ප්‍රදේශයේම ඇති වැසිකිළි අපද්‍රව්‍ය ඇතුළු සියලු අපද්‍රව්‍ය මෝදර සහ වැල්ලවත්ත ප්‍රදේශවලින් මුහුදට බැහැර වේ. මරදාන සහ බොරැල්ල වැනි ප්‍රදේශවල නිවාසවල වැසිකිළි වළවල් නොමැති අතර එම මළ අපද්‍රව්‍ය ඇතුළු සියලු අපද්‍රව්‍යයන් මෙන්ම කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය සියල්ල ද එක් තැනකට සම්බන්ධ වී පිරිපහදුවක් සිදු නොවී කෙළින්ම මුහුදට බැහැර වේ.

ගැටලුකාරිත්වය

ප්ලාස්ටික් වැනි ඝන අපද්‍රව්‍ය මෙන්ම වැසිකිළිවල මෙන්ම ආපන ශාලා සහ හෝටල්වලින් බැහැර කරනු ලබන ජල අපද්‍රව්‍ය ද මේ ආකාරයෙන් ගංගාවලට බැහැර කෙරේ. කැලණි ගංගාව ගත් විට ඒ අවට කර්මාන්ත ශාලා රාශියක් තිබෙන අතර කැලණි ගඟ අවට ජනතාව ද විශාල පිරිසක් ජීවත් වෙති. පසුගිය කාලයේ මෙම දෙකොට්ඨාසය මඟින්ම කැලණි ගඟ දූෂණය කිරීම සම්බන්ධව විශාල ගැටලුකාරි තත්ත්වයන් ඇති විණි. ඇතැම් කර්මාන්ත ශාලාවල අපජලය පොකුණු හරහා කිසිදු පිරිසුදු කිරීමකින් තොරව නල මඟින් කෙළින්ම කැලණි ගංගාවට බැහැර ලන ආකාරයක් දක්නට ලැබිණි. නිවෙස්වල වැසිකිළි මළ අපද්‍රව්‍ය ද කෙළින්ම ගංගාවට වැටෙන ආකාරයට කටයුතු සලස්වා තිබේ. රෙදි සෝදන ස්ථානවල අපජලය ද ගංගාවලට මුසු කිරීමේ විධි ක්‍රම අනුගමනය කර තිබේ. මේ නිසාම මේ වන විට මධ්‍යම පරිසර අධිකාරිය විසින් මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ආකාරයක් දක්නට ලැබේ.

මල අපද්‍රව්‍ය, ජල අපද්‍රව්‍යයන්ට අමතරම කසළ සහ කඩා ඉවත් කරනු ලබන ගොඩනැඟිලි කොටස් ද ගංගාවලට දමනු ලබයි. මෙලෙසින් ගල් සහ සිමෙන්ති ද ගංගාවලට එකතු වේ.

ජෛවීය පද්ධතියක්

ගංගාවල, මුහුදේ හෝ ඇළ, දොළවල ස්වාභාවික ජෛවීය පද්ධතියක් තිබේ. මේ ආකාරයෙන් අපද්‍රව්‍ය දැමීම හේතු කොට ගෙන මෙම ජෛවීය පද්ධතියට විශාල බලපෑමක් එල්ල වේ. ප්ලාස්ටික් බෝතල් වැනි දේ ගංගාවල පහළ කොටසට ගසා ගෙන යැමේදී ඒවා ගංගාවල පහළ තැන්පත් වේ. එවිට එම පහළ කොටසේ ජීවත් වන සතුන් සහ එහි තිබෙන ශාකයන්ට හිරු එළිය නොමැති වී යනවා සේම ඔක්සිජන් ද නැති වී යයි. එවිට එම ජීවීන් මරණයට පත් වීම පවා සිදු විය හැකිය. මීට අමතරව මාළුන් වැනි ජීවීන් මෙන්ම කුරුල්ලෝ ද මෙම ඝන අපද්‍රව්‍යයන් ආහාර ලෙස සිතා පරිභෝජනයට ගනිති. මේ ආකාරයෙන් ප්ලාස්ටික් ආහාරයට ගැනීම නිසා එම සතුන් මිය යෑමට ලක් වේ.

එමෙන්ම මෙම ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍යයන් ගංගා මඟින් අවසානයේ මුහුදට ගසා ගෙන යෑම හේතුවෙන් මුහුදු මසුන් ද මේවා ජෙලි ෆිෂ් ලෙස රැවටී ආහාරයට ගනී. මේවා දිරවීම සිදු නොවන බැවින් එම සතුන්ගේ ආහාර මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන් අවහිර වේ. එවිට අවසානයේ ඔවුන්ට ද අත්වන්නේ මරණයයි.

මෙම භෞතික හානියට අමතරව ගංගාවලට දැරිය හැකි කිසියම් පරිමාවක් තිබේ. මෙම අපද්‍රව්‍යයන් නිසා මෙම දරා සිටීමේ පරිමාව වැඩි වේ. මේ නිසා ගංගාවල වෙසෙන මාළුන්ට මෙන්ම ශාකවලට මෙය දරා ගැනීම අපහසු වේ. ඔවුන්ට ජීවත් වීම සඳහා සුදුසු වාතාවරණයක් මේ නිසා අහිම් ‍වී යයි. මේ නිසා ද එම සත්තු මරණයට පත් වේ.

ජල ප්‍රමිතිය

ගංගාවල ජලයේ ප්‍රමිතිය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය විසින් පෙන්වා දී තිබේ. එය Aquatic Water Quality Standard යනුවෙන් හඳුන්වනු ලබයි. ඊට ගැළපෙන පරිදි ද්‍රව්‍යයන් බැහැර කළ යුතු අතර ඊට වැඩි දේ දැමීම මඟින් ජලජ ජීවීන් මරණයට පත් විය හැකිය. එමෙන්ම මෙම ව්‍යසනකාරී තත්ත්වයන් මිනිසුන්ට ද බලපානු ලබයි. මිනිසුන් ද ගංගා, ඇළ, දොළ භාවිත කරයි. මිනිසුන් මේ ජලය පානය කිරීම, ස්නානය කිරීම් සහ වෙනත් ජෛවීය ක්‍රියාකාරකම් ගංගා ආශ්‍රිතව කරනු ලබයි. මෙලෙස අපිරිසිදු ජලය භාවිතා කිරීම නිසා මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ද අයහපත් වීමෙන් ඔවුන් ද රෝගිභාවයට පත් වීම සිදු වේ.

එමෙන්ම බැර ලෝහයන් ගංගාවලට දැමීමෙන් මත්සයින් මේවා ආහාරයට ගැනීමත් සමඟ, මිනිසුන් විසින් මත්සයින් ආහාරයට ගැනීමෙන් ද විවිධ රෝගාබාවලට මුහුණ දීමට මිනිසුන්ට ද සිදු වේ. උදාහරණ ලෙස ඇතැම් කලපුවල රසදිය අන්තර්ගතව තිබේ. මෙම කලපුවල ස්නානය කිරීමේ දී හිස කෙස්වල රසදිය රැඳීම ද නිරන්තරයෙන් සිදු වන බව සොයා ගෙන තිබේ. රසදිය ශරීරයට මුසු වීම මඟින් ශරීරය කෙමෙන් දිරාපත් වීම සිදු විය හැකිය. මේ ආකාරයෙන් ගංගා, ඇළ, දොළවලට කසළ අපදුව්‍ය දැමීම හේතුවෙන් මිනිසුන්ට, සතුන්ට මෙන්ම ජලජ ශාකයන්ට ද මුහුණ දීමට ඇති විපාක රාශියකි. 

මැණික් ගඟට කසළ දැමීම හේතුවෙන් යාල වනයේ සතුන්ට මෙවැනි සෞඛ්‍යමය ගැටලු රාශියක් ඇති වී තිබෙන බව පසුගිය දිනවල වාර්තා වන්නට විය. මෙයට හේතු වී ඇත්තේ මැණික් ගංගාවේ ජලය ගලා යන වේගය අඩු වීමය. ගඟේ ජලය ගලා යන වේගය වැඩි වූ විට අපද්‍රව්‍යයන් වේගයෙන් කිසියම් දුරකට ගසා ගෙන යෑමේදී එහි බලපෑම අඩු වීමෙන් ප්‍රතිවිපාකයන් අඩුය. වේගය අඩු විට ප්‍රතිවිපාක වැඩිය.

නොකළ යුතු දෑ

මුලින්ම කළ යුතු වන්නේ ගංගාවන් වැනි ජල පහරවලට මෙවැනි අපද්‍රව්‍ය දැමීම නැවැත්වීමය. එම ජල පහරවලට අපද්‍රව්‍ය දැරීමට ඉඩ දීම නුසුදුසුය. ජල පහර යනු පරිසර පද්ධතියට අයත් සම්පතකි. මින් සිදු වන්නේ ද පරිසර පද්ධතිය දූෂණය කිරීමකි.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රම සහ විධි තිබේ. ප්‍රාදේශීය සභාවන් හරහා නිසි ක්‍රම වේදයන්ට අනුව කසළ කළමනාකරණය කෙරේ. 7R ක්‍රමය හෝ 3R ක්‍රමය හෝ ආරම්භ කොට කසළ වෙන් කිරීම කළ හැකිය. කොම්පෝස්ට් සෑදීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම කළ හැකිය. එවැනි ආයතන ද ශ්‍රී ලංකාව තුළ තිබේ. මේ සඳහා රට තුළ විශාල වියදමක් දරා විශාල ව්‍යාපෘති අරඹා තිබේ. මේ වැඩපිළිවෙළට සහාය දැක්වීම සිදු කරන්නේ නම් කසළ ජලයට මුදාහැරීම කළ යුතු නොවේ. අපද්‍රව්‍ය බැහැර කරනු ලබන සෑම කර්මාන්ත ශාලාවක් විසින්ම මධ්‍යම පරිසර අධිකාරිය මඟින් EPL බලපත්‍රය (Environment Protection Licence) ගත යුතු වේ. සෑම වසරකම මෙම බලපත්‍රය අලුත් කළ යුතුය. එහිදී තම කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය කළමනාකරණය කර ගන්නා ආකාරය පිළිබඳ උපදෙස් දෙනු ලැබේ. උදාහරණයක් ලෙස පිරවුම් හල්වල ප්‍රධාන වශයෙන් පිට වන්නේ තෙල් අපද්‍රව්‍යයන් බැවින් එම බැහැර කරනු ලබන තෙල් පොකුණක දමා එයට කිසියම් රසායනික ද්‍රව්‍යයක් දමා එහි තෙල් ඉවත් කොට හොඳින් පිරිසුදු කරන ලද ජලය පරිසරයට මුදා හැරිය යුතු වේ. මේ ආකාරයෙන් සෑම කර්මාන්ත ශාලාවකටම අදාළ වන පරිදි කසළ බැහැර කිරීම සම්බන්ධ ක්‍රම වේදයන් මධ්‍යම පරිසර අධිකාරිය මඟින් දෙනු ලබයි.

බලපත්‍ර

එහෙත් මෙම EPL බලපත්‍රය පවා නොමැති කර්මාන්ත ශාලා මෙරට තුළ විශාල සංඛ්‍යාවක් තිබේ. A සහ B යන කාණ්ඩ යටතේ ඇති කර්මාන්ත ශාලාවලට පමණක් මධ්‍යම පරිසර අධිකාරිය මඟින් එම බලපත්‍ර ලබා දෙන අතර අනෙක් කර්මාන්ත ශාලාවන්ට එය දෙනු ලබන්නේ ප්‍රාදේශීය සභා මඟිනි. ප්‍රදේශීය සභාවන් ද එම බලපත්‍ර ගන්නා ලද සහ නොගන්නා ලද කර්මාන්ත ශාලා පිළිබඳව සොයා බැලිය යුතුය. එමෙන්ම අදාළ ක්‍රම වේදයන්ට අනුව කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. එසේ නොවුණ හොත් ස්වභාව ධර්මයා විසින්ම මානවයා විනාශ කිරීමක් සිදු වේ. හඳුනා නොගත් වකුගඩු රෝග ද මෙයට කදිම උදාහරණ වේ. කාලාන්තරයක් තිස්සේ අපිරිසුදු ජලය පරිහරණය කිරීමෙන් මෙම රෝගයන්ට භාජනය වීම සිදු වේ. ප්‍රධාන ප්‍රභවය ජලයය.

ජලපහරක් යනු අපද්‍රව්‍යයන් ඉතා වේගයෙන් එක් තැනක සිට තවත් තැනකට ගලා ගෙන යනු ලබන්නකි. ඊට දූෂිත දේවල් දැමීම ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාව පුරා ම දූෂණය පැතිරීමට පිටුවහලක් විය හැකිය.

නව අදහස දක්වන්න