මරණ දඬුවම් තීරණයට එරෙහි පෙත්සම් සලකා බලයි | දිනමිණ

මරණ දඬුවම් තීරණයට එරෙහි පෙත්සම් සලකා බලයි

නෙල්කා මැදගෙදර

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් බවට තීරණය කර අධිකරණය විසින් මරණ දඬුවම් නියම කරනු ලැබ සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන තිබූ තීරණයට එරෙහිව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පෙබරවාරි 11 දා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) තීන්දු කළේය.

හිටපු ජනාධිපතිවරයා ගේ එම තීරණය ක්‍රියාත්මක වීම වළක්වමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ද එදින තෙක් බලපැවැත්වෙන පරිදි දීර්ඝ කරන ලදී.

ඒ අනුව මෙම පෙත්සම් එල් .ටී. බී.දෙහිදෙණිය, විජිත් මලල්ගොඩ, ඵස් තුරේරාජා, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් යුතු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවිමට නියම කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව තීන්දු කරනු ලැබුවේ මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් පිරිසක් සහ සිවිල් ක්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අධිකරණය හමුවේ ඊයේ (22) කැඳවූ අවස්ථාවේදීය.

මෙලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරනු ලැබ ඇත්තේ දැනට මරණ දඬුවම නියමව සිටින එස්.ගනේෂ්, මොහොමඩ් මිතාර්, හනීෆා ප්‍රහීම් නවාස්, එස්.ඒ. සුරේෂ් කුමාර්, සුබ්‍රමනියම් ප්‍රනියමූර්ති, කේ.එච්. ගමගේ චන්ද්‍රදාස, එච්.කේ ජයතිලක, එන්.ඒ. නිශාන්ත අල්විස් යන නැමැත්තන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මහාචාර්ය සී. ගුණරත්න, ආචාර්ය කළණ සේනාරත්න යන සිවිල් ක්‍රියාකාරීන් විසිනි.

නව අදහස දක්වන්න