කෙළ මාස්ටර් හිරේ ගිය හැටි ! | දිනමිණ

කෙළ මාස්ටර් හිරේ ගිය හැටි !

රංජන් රාමනායක කට නිසා වසර හතරකට හිරේ ගියේය. ඒ බරපතළ වැඩ සහිතවය. අටුලුගම ප්‍රදේශයේ හාදයෙක් කෙළ නිසා වසර හයකට හි‍ෙර් ගියේය. ඒත් බරපතළ වැඩ සහිතවය. මෙයින් උගත හැකි පාඩම නම්; අත-පය-කට ආදී ඉන්ද්‍රියයන් නිසි පරිදි හැසිරවිය යුතු බව හා කෙළ-සෙම්-සොටු ආදී බහිශ්‍රාවී ද්‍රව්‍යයන් නිසි පරිදි බැහැර කළ යුතු බවය. කට ඇත්තේ හිතට එන සියල්ල දෙසා බෑමට නොවේ. කෙළ ඇත්තේ මිනිසුන්ගේ ඇඟට ගසා දමන්නට නොවේ. ඉහත සිද්ධි දෙකෙහි යටිපෙළින් මතුකරන්නේ විනය, අධ්‍යාපනය හා සදාචාරය පිළිබඳ ප්‍රශ්නය යථෝක්ත පුද්ගලයන් දෙදෙනා වෙතින්ම මතුවන බවය. ඒ කෙසේ වුව නීතිය ‍කාටත් පොදුය. එහි ඇති වගන්ති නිසි ලෙස ක්‍රියාත්මක නොකොට ශීලාචාර සමාජයක් බිහි කිරීම අපහසුය.

විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන තුන උත්තරීතර බව කියැවේ. රාජ්‍ය සේවය හා රාජ්‍ය ආයතන ද ගෞරවනීය ස්ථාන වෙයි. ඒවායෙහි කාර්යයන්ට බාධා කිරීම, අවහිර කිරීම හා විරෝධය පෑමත් වරදකි. එහෙත් අපේ සමහරුන් විධායකය ආමන්ත්‍රණය කිරීමට දන්නේ නැත. ව්‍යවස්ථාදායක සභාව තුළ හැසිරීමට දන්නේ නැත. අධිකරණය ඉදිරියේ හැසිරිය යුතු ආකාරය දන්නේ නැත. නීතිය නොදැන සිටීම ද නීතියට ගරු නොකිරීම ද නීතියට අවනත නොවීම ද වරදකි. රංජන් රාමනායක නීතිය නොදන්නාකම නිසා හෝ නීතියට ගරු නොකරන නිසා හෝ අධිකරණයට අපහාස කර ඇතැ'යි සිතන්නට පුළුවන. එහෙත් එය සමාව දීමට සාධකයක් නොවේ. එබැවින් ඔහු දඬුවම් විඳියි. අටුලුගම හාදයාගේ තත්ත්වය ද එසේමය. ඔහුට ද දඬුවම් ලැබිය යුතුය.

අටුලුගම හාදයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරී ඇති අතර, ඉන් නොනැවතී නිලධාරීන්ට තර්ජනය කරමින් ඔවුන්ගේ මුහුණට කෙළ ගසා ඇත. චුදිතයා කොවිඩ් රෝගියකු වන අතර, ඔහුගේ උත්සාහය වී ඇත්තේ රෝගය පැතිරවීමය. එය තවත් වරදකි. අටුලුගම හාදයා ඉහත සිද්ධිය තුළ හැසිරෙන ආකාරය වීඩියෝ ගත කර තිබිණි. එම දර්ශන නරඹන කෙනකුට පෙනී යන්නේ චුදිතයා චණ්ඩියකු සේ හැසිරෙන ආකාරයයි. ඔහු සරම ඔසොවාගෙන අඩ නිරුවතින් නිලධාරීන්ට තර්ජනය කරයි. ඔහු එම මොහොතේ හැසිරෙන්නේ අධිකරණය, නීතිය, සෞඛ්‍ය සේවාව හා සෙසු සමාජය තුට්ටුවකට මායිම් නොකරන ආකාරයකටය. එය අතිශය නරක හැසිරීමකි. සමාජයේ සෙසු පුද්ගලයන් ද මෙලෙස හැසිරුණහොත් රටක් ඉතිරි වන්නේ නැත.

අධිකරණය ක්‍රියාත්මක වන අවස්ථාවක එකී ශාලාවක් තුළ බුලත්විට කෑම තහනම්ය. නුසුදුසු ඇඳුමකින් උසාවි ශාලාවකට ඇතුළුවීම ද තහනම්ය. ප්‍රසිද්ධ ස්ථානවල බුලත් කෙළ ගසන පුද්ගලයන්ට දඩ ගැසිය හැකි නීතියක් රටේ තිබේ. දියුණු රටවල එම නීති අකුරටම ක්‍රියාත්මක කරයි. එබැවින් දියුණු රටවල ප්‍රසිද්ධ ස්ථාන පිරිසුදුය. අපේ එවැන්නක් නැත. පූජනීය ස්ථානවල පවා බුලත් කෙළ සටහන් තිබේ. තවත් මනුෂ්‍යයකුගේ ඇඟට කෙළ ගැසීම ඉහත සඳහන් සියල්ලටම වඩා අශික්ෂිත ක්‍රියාවකි. එවැන්නක් කළ හැක්කේ පිස්සකුට හෝ සමාජ විරෝධී පුද්ගලයකුට හෝ පමණි. අටුලුගම හාදයාගේ හැසිරීමෙන් පෙනී යන්නේ ඔහු දැඩි ද්වේෂයකින් පසුවන සමාජ විරෝධී පුද්ගලයකු බවය. මේ තැනැත්තා නිලධාරීන්ගේ මුහුණට කෙළ ගසන‍්නේ නුඹලාටත් කොවිඩ් හදනවා යන වහසිබස් දොඩමින්ය.

නීතියේ ආධිපත්‍යය ගැන ද අධිකරණ ක්‍රියාවලියේ ප්‍රමාදයන් ගැන ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. පාර්ලිමේන්තුව තුළ ද ඊට අදාළ සංවාද පැවැත්වේ. ඉන් ගම්‍ය වන වැදගත් අදහසක් වන්නේ නීතිය අකුරටම ක්‍රියාත්මක වන රටක් කෙරෙහි මහජනයාගේ අපේක්ෂාවක් ඇති බවය. වැරැදිකරුවන් නිදැල්ලේ හැසිරෙන විට නීතිය ගැන සැකයක් ද පොලිසිය ගැන කෝපයක් ද මහජනයාට ඇති වෙයි. අටුලුගම සිද්ධියට සම්බන්ධ චුදිතයා දින කිහිපයක් නිදැල්ලේ හැසිරුණු අතර, ඔහු අත්අඩංගුවට ගෙන නිරෝධායනයට නොයවන්නේ මන්දැ'යි බොහෝදෙනා ප්‍රශ්න කළහ. කොවිඩ් තත්ත්වය තුළ එය සිදු වූයේ යම් ප්‍රමාදයක් සහිතවය. නිරෝධායනයෙන් පසු චුදිතයා අධිකරණය වෙත යොමු කර තිබේ. මේ තීන්දුව ඓතිහාසිකය.

කොවිඩ් 19 වැනි ලෝක වසංගතයකදී නිරෝධායන නීති අකුරටම ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවුණහොත් රට ම විනාශ මුඛයට යනු ඇත. අමෙරිකාව වැනි රටවල් නීතිය ක්‍රියාත්මක කිරීම අතින් අලස ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයා ද නිරෝධායන නීති හා සෞඛ්‍ය පිළිවෙත් ගණන් ගත්තේ නැත. ඔහු ප්‍රසිද්ධ වේදිකාවකදී මුව ආවරණය ගලවා වීසි කළේය. කොවිඩ් යනු උණ රෝගයක් යැයි වහසිබස් දෙඩුවේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ් රෝගියකු වූ අතර, මුළු රටම එහි ගොදුරක් බවට පත් විය. ලෝක බලවතා වූ අමෙරිකාව කොවිඩ්වලට වැඩියෙන්ම ගොදුරු වූ රට බවට පත් විය. මෙය නරක ආදර්ශයකි. අමෙරිකාවේ නව ජනාධිපතිවරයා නිරෝධායන නීති අකුරටම ක්‍රියාත්මක කිරීමටත් සෞඛ්‍ය පිළිවෙත් රැකීමටත් නව වැඩසටහනක් හඳුන්වා දී ඇත.

කොවිඩ් සමඟ සෙල්ලම් කිරීම හෝ එය හෑල්ලුවට ගෙන ක්‍රියා කිරීම හෝ සුදුසු දෙයක් නොවේ. අමෙරිකාව, බ්‍රසීලය වැනි රටවල් අපට එම පාඩම කියා දී තිබේ. අතීත ශ්‍රී ලාංකික ගැමියෝ ස්වයං විනයක් ඔස්සේ නිරෝධායනය පවත්වාගෙන ගියහ. ඒ අනුව වසංගත රෝග ව්‍යාප්තිය වැළකිණි. අටුලුගම මිනිසා මේ එකක්වත් නොදන්නා හිස් මිනිසකු විය හැකිය. එහෙත් ඔහුට සමාවක් දිය නොහැකිය. නීති-රීති නොසලකා හිතුවක්කාරී ලෙස හැසිරෙන පුද්ගලයන් සමාජයෙන් වෙන් කර තැබිය යුතුය. ඊට හොඳම විසඳුම නීතිය ක්‍රියාත්මක කිරීමය. නීති පොතේ ඇති සියලු වගන්ති ක්‍රියාත්මක වන්නේ නැති බව සැබෑවකි. එහෙත් අවශ්‍ය අවස්ථාවලදී ඒවා ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවුණහොත් නීතියෙන් වැඩක් නැත.

අටුලුගම හාදයාට ලැබුණු දඬුවම ගැන රටේ බහුතරය සතුටු වන බව පැහැදිලිය. සමාජය චුදිතයාගේ හැසිරීම ගැන වරක් නොව කිහිප වරක්ම සිතා බලනු ඇත. ශිෂ්ට සමාජයක හැසිරීම පිළිබඳ වැදගත් පාඩමක් මේ තීන්දුව තුළ තිබේ.

නව අදහස දක්වන්න