බයිඩන් යුගය ඇරඹේ | දිනමිණ

බයිඩන් යුගය ඇරඹේ

ධම්මික සෙනෙවිරත්න

'ජනවාරි මාසයේ අද දවසේ මගේ මුළුමහත් ආත්මීය හඬ අමෙරිකා ජනතාව එකට එකතු කිරීම වෙනුවෙන් අපේ ජාතිය එක්සත් කිරීම වෙනුවෙන්. ඒ සඳහා මා සමඟ එක්වන මෙන් මම සියලු අමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටිනවා...'

-අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පළමුවරට ජාතිය අමතමින්...

අභියෝගාත්මක මෙන්ම අර්බුද සමයක් ලෙස ඉතිහාසයට එක්වනු ඇති වකවානුවක අමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් ඉකුත් බදාදා දිවුරුම් දුන්නේ නව පරිච්ඡේදයක ඇරඹුම සටහන් කරමිනි. අමෙරිකා ඉතිහාසයේ 59 වැනි ජනපති දිවුරුම් දීමේ උලෙළ එවැනි අන් අවස්ථාවලට වඩා විශේෂ වූ බව පෙනිණි. කොවිඩ් -19 වසංගතය හමුවේ ලොව වැඩිම ආසාදිතයන් ගණන සහ මරණ සංඛ්‍යාව වාර්තා වන රට බවට පත්ව තිබියදී සීමිත සහභාගිත්ව‍යකින් යුතුව එම උලෙළ පැවැත්වීම ඊට එක් හේතුවකි. වසංගතයෙන් මියගිය හාරලක්ෂයක් දෙනා සිහිකරමින් අමෙරිකා ධජ දෙලක්ෂයක් ප්‍රදර්ශනය වූ අතර, හිස් අසුන් තබා තිබීම ද විශේෂය. ඉකුත් 06 වැනිදා කැපිටල් හිල් හිදී රිපබ්ලිකන් ආධාරකරුවන් ඇති කළ කලබගෑනියත් සමඟ මෙදින ද කලබල ඇතිවනු ඇතැයි ආරක්ෂක අංශ අපේක්ෂා කළ පසුබිමක 25000 කට වැඩි භට පිරිසක් ආරක්ෂාව සඳහා යොදා තිබීම තවත් හේතුවකි. එරට ඉතිහාසයේ වසර 150කට පසුව ධුරයෙන් නික්ම යන ජනාධිපතිවරයා නව ජනාධිපති දිවුරුම් දෙන උලෙළට සහභාගි නොවීම ද මෙවර දැකිය හැකි විය. ජනාධිපති ට්‍රම්ප් සිය අනුප්‍රාප්තිකයාට සුබ පැතුම් පණිවිඩයක් තබා ධවල මන්දිරයෙන් නික්ම ගොස් තිබිණි. සමුගැනීම පිණිස ජාතිය අමතමින් ට්‍රම්ප් කියා සිටියේ, තමන් යළිත් පැමිණෙන බවය. ඇන්ඩ්‍රෲස් ගුවන් කඳවුරේදී පැවැති සමුගැනීමේ උළෙලට පසුව ඔහු 'එයාර් ෆෝස් වන්' ගුවන් යානයෙන් ෆ්ලොරිඩාව බලා නික්ම ගියේ මෙලනියා ට්‍රම්ප් ද සමඟය.

දිවුරුම් දීමේ උ‍ෙලළේදී සම්ප්‍රදායානුකූලව පළමුව දිවුරුම් දුන්නේ උප ජනාධිපතිනි කමලා හැරිස්ය. ඇය, එරට පළමු උප ජනාධිපතිනිය මෙන්ම එම ධුරයට පත් පළමු ආසියානු අමෙරිකන් ජාතිකයා ද වේ. අනතුරුව 78 හැවිරිදි ‍ ජෝ බයිඩන් අගවිනිසුරුවරයා ඉදිරිපිට දිවුරුම් දුන්නේ බයිබලය මත අත තබාය. ජිල් බයිඩන් එය දරා සිටි අතර,

ඔවුන්ගේ දරුවෝ පසෙකින් වූහ. අමෙරිකා ව්‍යවස්ථාව අනුව නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමෙන් පසු එළැඹෙන ජනවාරියේ 20 වැනිදා ඔහු හෝ ඇය දිවුරුම් දීම කළ යුතුය. නව ජනාධිපති තේරී පත්වන්නේ සිවු වසරක ධුර කාලයක් සඳහාය.

දිවුරුම් දීමේ උලෙළට හිටපු ජනාධිපතිවරුන් වන ‍ජෝර්ජ් ඩබ්. බුෂ්, බිල් ක්ලින්ටන් සහ බැරක් ඔබාමා සහභාගි වූහ. ජාතික ගීය ගායනා කළේ බයිඩන්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ද ක්‍රියාකාරීව කැපී පෙනුණු ලේඩි ගගාය. දිවුරුම් දීමෙන් අනතුරුව ලින්කන් ස්මාරකය අසල පැවැති 'සෙලිබ්‍රේටින් අමෙරිකා' ප්‍රසංගයේදී සුප්‍රකට ගායන තරු කිහිපයක්ම දිස්විය. ජනාධිපති බයිඩන් සහ පළමු කත ජිල් බයිඩන් ධවල මන්දිරය වෙත සම්ප්‍රාප්ත වූයේ රථ පෙරහරකිනි. ධවල මන්දිරයේ විචිත්‍ර ගිනිකෙළි සංදර්ශනයක් ද පැවැත්විණි.

දිවුරුම් දුන් දිනයේම නව ජනාධිපති බයිඩන් නිල වශයෙන් රාජකාරි ඇරැඹීය. ඔහුගේ පළමු කාර්යය වූයේ හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ විධායක නියෝග ගණනාවක් අවලංගු කරමින් නව විධායක නියෝග සඳහා අත්සන් යෙදීමය. එම නියෝග බොහොමයක් පසුගිය ට්‍රම්ප් පාලන සමයේ, දැඩි ලෙස අවධානයට මෙන්ම වාද-විවාදවලට ලක් වූ කාරණාවලට අදාළය.

ජනාධිපති බයිඩන්ගේ ජයග්‍රහණයට කොවිඩ්-19 වසංගතයත් සමඟ අමෙරිකාව මුහුණ දුන් සමාජ හා ආර්ථික බිඳවැටීම ද හේතු පාදක විය. වසංගතය නිසි අයුරින් කළමනාකරණය කිරීමට ජනාධිපති ට්‍රම්ප් අපොහොසත් වූ බව ඔහුට එරෙහිව බලපෑ ප්‍රබල සාධකයක් වූ බව පෙනිණි. බලයට පත්වීමත් සමඟ ධවල මන්දිරය දක්වා මාර්ගය තැනූ එම සාධක ජයගත යුතු ප්‍රමුඛ අභියෝග ලෙස බයිඩන් ඉදිරිපිට තිබේ. රාජකාරි ඇරැඹු පළමු දිනය තුළම ඔහු ඒ ගැන අවබෝධයකින් යුතු බව මෙම විධායක නියෝග මඟින් පැහැදිලිය.

ඒවා කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම, දේශගුණික විපර්යාස අර්බුදයට මුහුණදීම, සංක්‍රමණික ප්‍රශ්නයට විසැඳුම් සෙවීම වැනි ප්‍රමුඛ කාරණාවලට අදාළව විය. එක් නියෝගයකින් කියැවෙන්නේ සියලුම ෆෙඩරල් ගොඩනැගිලි සහ භූමිය තුළ මුව ආවරණ පැලැඳීම හා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ගැනය. ඒ සමඟම 'දින 100 මුව ආවරණ අභියෝගය' නමින් නව ක්‍රියාන්විතයක් ද දියත් කෙරිණි. දින 100ක් තුළ රෝග ව්‍යාප්තිය පාලනය කරගැනීම ඉන් අරමුණු කෙරේ. එය සාර්ථක වුවහොත් ජනාධිපතිවරයාගේ පළමු දින 100 තුළ වසංගතය පාලනය කිරීමට අදාළව සිය සාර්ථකත්වය පෙන්වීමට ඔහුට හැකිවනු ඇත. කොවිඩ්-19 පාලනය කිරීමේදී නව සම්බන්ධීකාරක තනතුරක් තවත් විධායක නියෝගයකින් ඇති කර තිබේ. වසංගතය පාලනය කිරීමට දියත්වන එන්නත් වැඩසටහන ඇතුළු රජයේ සියලු ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය ඊට පැවරේ. මෙම සම්බන්ධීකරණ නිලධාරියා ජනාධිපතිවරයාට සෘජුව වාර්තා කළ යුතුය.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ යළි එක්වීම සඳහා තවත් නියෝගයකට අත්සන් තැබිණි. හිටපු ජනාධිපති ට්‍රම්ප් ඉන් ඉවත්වූයේ, ඉකුත් සැප්තැම්බරයේදීය. ඔහුගේ චෝදනාව වූයේ කොවිඩ්-19 සහ සෙසු සෞඛ්‍ය අර්බුද හමුවේ නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමට එය අපොහොසත්ව ඇති බවය. කෙසේ වුවද මෙම නව නියෝගය ක්‍රියාත්මක වන්නේ ජූලි 06 වැනිදා සිටය. අමෙරිකාවේ ප්‍රධාන වසංගත විද්‍යාඥ වෛද්‍ය ඇන්තනී ෆෝසි මේ පිළිබඳ WHO සමඟ ජනාධිපතිවරයා පත්වූ දිනට පසුදිනම සාකච්ඡා කරන බව වාර්තා විණි.

වසංගත තත්ත්වය යටතේ උද්ගතව ඇති ආර්ථික අපහසුතා මධ්‍යයේ, රෝග වැළැක්වීමේ හා පාලනය කිරීමේ මධ්‍යස්ථානවලින් විමසීමක් කරමින් පිටවීම සඳහා පනවා ඇති තහංචි මාර්තු මස අවසානය තෙක් දීර්ඝ කිරීමට ද ජනාධිපතිවරයා අදහස් කරන බව වාර්තා වේ. එම තහනම මේ මස අගදී අවසන්වීමට නියමිතය. එසේම ශිෂ්‍යයන් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම සැප්තැම්බර් 30 දක්වා අත්හිටුවීමට ද අධ්‍යාපන දෙපාර්තමේන්තුවට දැනුම් දෙනු ඇතැයි පැවසේ.

ට්‍රම්ප් පාලනයේ සංක්‍රමණික ප්‍රතිපත්ති හා වෙනස් කරමින් තවත් විධායක නියෝගයක් ප්‍රකාශයට පත්විය. මේ යටතේ සංක්‍රමණිකයන් සමඟ රටට පැමිණෙන ළමයින් දෙස සහනශීලීව බැලීමට නියමිතය. ප්‍රධාන පෙළේ මුස්ලිම් රටවල් 7කින් අමෙරිකාවට ඇතුලුවීම වළක්වා තිබූ නියෝගය ද නව නියෝගය මඟින් අහෝසි වේ. අමෙරිකා - මෙක්සිකෝ දේශසීමාවේ සංක්‍රමණිකයන් ඇතුල්වීම වැළැක්වීම සඳහා ඉදිකරන පවුර තවදුරටත් ඉදිනොකර නවත්වනු ලැබේ.

දේශගුණික විපර්යාස පිළිබඳ අර්බුදයට ප්‍රතිචාර දක්වමින් බයිඩන් අත්සන් ක‍ළ විධායක නියෝග ද වැදගත්ය. මේ යටතේ පැරිස් දේශගුණික සම්මුතිය සමඟ අමෙරිකාව යළි එක්වනු ඇත. මහජන සෞඛ්‍යයට හා පරිසරයට හානිකර ලෙස ගතවූ සිවු වසර තුළ ප්‍රාන්ත ආණ්ඩු මඟින් ගනු ලැබූ සියලු තීරණ හා එම ක්‍රියාමාර්ග අක්‍රීය කිරීම ද නව නියෝග මඟින් සිදු වේ. ට්‍රම්ප් පාලනය මඟින් 2017 වසරේදී ඉදිකිරීම් සඳහා අවසර දුන් XL නළ මාර්ග ව්‍යාපෘතිය ද අවලංගු කර ඇත. එය පාරිසරික තර්ජනයක් බවට හඬ නැඟිණි.

වාර්ගික වශයෙන් හා ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත පදනම්ව වෙනස්ව සැලැකීමට එරෙහිව සමානාත්මතා පදනමකින් ක්‍රියා කිරීමට ද නව නියෝගයක් අත්සන් කිරීම සිදු විය. වාර්ගිකත්වය මත පදනම් වෙමින් අයුක්ති සහගත ලෙස සැලකූ ඉතිහාසය අමෙරිකාවෙන් මකා දමනු ඇතැයි ජනාධිපති බයිඩන් ප්‍රකාශ කර ඇත.

නව ජනාධිපතිවරයා ලෙස ලබාගෙන ඇති ආරම්භය සමස්තයක් ලෙස සුබදායී වනු ඇති බව පෙනෙන්නට තිබේ. සිය පාලනයේ මුල් දින 100 තුළ ඔහුගේ ක්‍රියා කලාපය ඉදිරි සිවු වසර පිළිබඳ අනුමාන කිරීමට ඉඩ ප්‍රස්ථා සලසනු ඇත. ඔහුට ඉදිරියට යාමට සිදුව ඇත්තේ ගෝලීය වසංගතයකට මුහුණ දෙමිනි. රට තුළ එම අභියෝගය ජය ගැනීම මෙන්ම ලෝකයත් සමඟ එක්ව එය පරාජය කිරීමට කළ හැකි කාර්යභාරය කිරීම ඔහු ඉදිරිපිට ඇත. ඒ අතරට ජනාධිපතිවරණයෙන් පසුව රට තුළ ඇති වූ දරුණු බෙදීම (රිපබ්ලිකන් - ඩිමොක්‍රටික්) සමනය කිරීමට ද ඔහුට සිදුවනු ඇත. සිවිල් යුද්ධයෙන් පසු එරට ඇති වූ දරුණුම බෙදීම මෙය බව විශ්ලේෂකයන්ගේ අදහසය.

ලෝකයට වැදගත් වනු ඇත්තේ ද බලපානු ඇත්තේ ද බයිඩන් පාලනය යටතේ අන්තර්ජාතිකයත් සමඟ ගනු-දෙනු කරනු ඇත්තේ කෙසේ ද යන වගය. ට්‍රම්ප්ගේ ඇතැම් ක්‍රියා කලාප හා තීරණ විවේචනයට මෙන්ම මතභේදයට තුඩු දුන්න ද මෑත දශක ගණනාවක ඉතිහාසයේ යුද්ධයක් ඇරැඹුවේ නැති අමෙරිකා ජනාධිපති වශයෙන් ඔහු ඉතිහාසයට එක්විය. තමන් ඒ ගැන ආඩම්බර වන බව ට්‍රම්ප් සිය සමුගැනීමේ කතාවේදී ද සිහිපත් කළේය. බයිඩන්ට ද සිවු වසරකට පසු එලෙස කීමට හැකිවනු ඇති දැයි ඉදිරි කාලයේ තීරණය වනු ඇත. මෑත ඉතිහාසයේ බැරක් ඔබාමා බලයට පත්වන විට ද ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වන විට ද වෙනස ගැන විශාල අපේක්ෂා දැල්වී තිබිණී. මෙවර බයිඩන් පිළිබඳ ද එය එලෙසමය. කෙසේ වුව ද, අමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපතිවරයකු පත්වුව ද ඩිමොක්‍රටික් ජනාධිපතිවරයකු පත්වුව ද විශාල ප්‍රතිප්තිමය වෙනසක් නැති බව ඉතිහාසය පිළිබිඹු කර තිබේ. වෙනසක් දැකගත හැකි වුවහොත් ඒ, එම නායකයාගේ ශෛලිය අනුවය. ඒ වෙනස ‍ ජෝ බයිඩන් කෙරෙන් දිස්වනු ඇති දැයි අපි බලා සිටිමු.

නව අදහස දක්වන්න