‘සිලෝන්-ටී’ | දිනමිණ

‘සිලෝන්-ටී’

වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳාගත හැකි මාර්ගයකට රජය ප්‍රවේශ වී ඇත. මෙය සැලකිය යුතු කාලයක සිට සාකච්ඡාවට ලක් වූ අතර, වතු හාම්පුතුන් රුපියල් දහසක දෛනික වැටුප ගෙවීමට අකැමැත්ත පළ කිරීම නිසා රජයට වෙනත් උපායමාර්ග ඔස්සේ ගැටලුව නිරාකරණය කිරීමට සිදු වී ඇත. ඒ අනුව පඩි පාලක සභාව ඔස්සේ දහසක දෛනික වැටුප ගෙවීම සඳහා ඉදිරි කටයුතු කරගෙන යෑමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. එය කම්කරු ප්‍රජාවගේ පැත්තෙන් බලන විට සැලකිය යුතු ජයග්‍රහණයකි. ඉතා කෙටි කාලයක් තුළදී දහසක දෛනික වැටුප වතු කම්කරුවන් වෙත ලැබෙතැ’යි විශ්වාසය ගොඩනඟා ගත හැකිය. හාම්පුතුන‍්ගේ පාර්ශ්වය ගැන බලන විට ඇතැම් හාම්පුත්තු දහසක දෛනික වැටුප ගෙවීමට කැමැතිය. ඇතැම් හාම්පුත්තු අකමැතිය.

වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් දහසක් විය යුතුය යන්න දිගු කාලයක සිට සාකච්ඡා වන මාතෘකාවකි. එය ලංකා කම්කරු සංගමයේ ඉල්ලීමක් වන අතර, පොදුවේ සාධාරණ ඉල්ලීමක් ලෙස ද පිළිගනු ලැබේ. වත්මන් ආණ්ඩුව දහසක දෛනික වැටුප දීමට පොරොන්දුවක් දුන් අතර, එය ඉටු කිරීම වගකීමක් ලෙස ද පවතී. රජය එය අය වැය යෝජනාවලින් ද ඉදිරිපත් කර ඇති අතර කැබිනට් අනුමැතිය ද ගෙන ඇත. හාම්පුතුන් සමඟ මේ සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා උත්සාහයන් ගණනාවක් ගෙන තිබුණ ද ඒවා සාර්ථක වූයේ නැත. හාම්පුතුන්ගේ ප්‍රතිචාරය සුබවාදි නොවන්නේ නම්; නීති මාර්ගයෙන් කටයුතු කරමින් වතු කම්කරුවන්ට යුක්තිය ඉටු කරන බව අමාත්‍යවරයා කියා තිබිණි. එය ආරම්භ වී ඇති බව පෙනෙයි.

විදේශ විනිමය ඉපයීම හා ජාතික ආර්ථිකයේ දායකත්වය යන සාධක දෙක අනුව සලකා බැලුව හොත් වතු කම්කරුවන්ට විශේෂ වරප්‍රසාද හිමි විය යුතුය. එහෙත් වතු වගාව, නිෂ්පාදන ධාරිතාව හා ලාභය ගැන මිස කම්කරුවන්ගේ අයිතීන් ගැන සාකච්ඡා වී ඇත්තේ අඩුවෙන්ය. යටත් විජිත සමයේ ආරම්භ වූ වතු වගාව හා එහි කම්කරු සේවා ඒ අයුරින්ම දීර්ඝ කාලයක් පවත්වාගෙන ගොස් තිබේ. වතුවල අයිතිය වරින් වර වෙනස් වී ඇත. ආණ්ඩු හා පරිපාලන රටා වෙනස් වී ඇත. එහෙත් කම්කරු ප්‍රජාවගේ ජීවන තත්ත්වය වෙනස් වූ බවක් පෙනෙන්න නැත. ඔවුන්ගේ පඩිය සොච්චමකි. නිවාස ලයින් කාමරය. ළදරු අධ්‍යාපනය පුල්ලෙමඩුවේය. පාසල් පවතින්නේ ඉතා අඩු පහසුකම් යටතේය. උඩරට දෙමළ වතු කම්කරුවන්ගේ තත්ත්වය වඩාත් අවිධිමත්ය.

සී.ඩබ්ලිව්.සී. හෙවත් ලංකා කම්කරු සංගමය වැනි දේශපාලන ව්‍යාපාර රටේ ඉදිරි ගමනට හා එක්සත් භාවයට සුවිශාල දායකත්වයක් දී ඇත. එය අමතක කළ නොහැකි ඓතිහාසික කාර්යභාරයකි. උතුරේත් - නැඟෙනහිරත් දෙමළ බෙදුම්වාදය ව්‍යාප්ත‍ වෙද්දී කඳුරට දෙමළ ප්‍රජාව අතර ‘මලයනාඩු’ නමින් වෙනම රාජ්‍යයක් පිළිබඳ සංකල්පයක් ව්‍යාප්ත කිරීමට අන්තවාදීහු උත්සාහ කළහ. එවැන්නක් මුල් බැසගෙන කඳුරට දෙමළ තරුණයන් ආයුධ අතට ගත්තේ නම්; ශ්‍රී ලංකා රජයට යුද්ධ දෙකක් කරන්නට සිදු වේ. එබඳු අනතුරකින් රට බේරා ගත්තේ ලංකා කම්කරු සංගමය ඇතුළු වැදගත් ‍දේශපාලන ව්‍යාපාර බව පෙන්වා දීම යුක්ති සහගතය. උඩරට දෙමළ වතු කම්කරු ප්‍රජාව හැමවිටම පාහේ සාමයට ළැදි සරල දිවි පැවතුම් සහිත ජන කොට්ඨාසයකි. රජය ඔවුන් ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය.

වතු කම්කරුවන් සඳහා සාධාරණය ඉටු කරන්නේ නම්: වැටුප් පමණක් නොව, ඔවුන්ගේ සමාජ සුභසාධනය හා පිළිගැනීම් ගැන ද නැවත සලකා බැලිය යුතුය. නිවාස, අධ්‍යාපනය, සනීපාරක්ෂාව හා නිදහස් ජීවිතය පිළිබඳ නව ප්‍රවේශයක් වතු කම්කරු ප්‍රජාව වෙත දිය යුතුය. රජය දැන් ඊට අදාළ කටයුතු කරගෙන යයි. ළයින් කාමර වෙනුවට වතුකරයේ තට්ටු නිවාස ඉදි කිරීමට යෝජනා වී ඇත. ජනතා වතු සංවර්ධන මණ්ඩල සේවකයන්ගේ ඉඩම් ගැටලුවට කඩිනම් විසඳුම් දීම ඉතා ඉක්මනින් සිදු වන බව ද රජය කියා සිටී. මෙය ‍සාධනීය තත්ත්වයකි. වතුකරයට තට්ටු නිවාසයැයි කියුව ද එය නාගරික තට්ටු නිවාස මෙන් මහල් ගණනක නිවාස සංකීර්ණ නොවේ. ඊට අයත් වන්නේ මහල් දෙකකි. මහල් දෙකකින් යුත් ගොඩනැඟිලිවල ඉඩකඩ සහිත නිවාස ඒකක වතුකරයේ පවුල් සඳහා ලැබෙයි. ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවක ප්‍රජාවගෙන් තුන්දහසකට පර්චස් හත ගණනේ ලැබීමට නියමිතය.

ඕනෑම පවුලක අපේක්ෂාව උසස් ජීවන තත්ත්වයකි. එය ජාති, ආගම්, කුල භේද නොසලකමින් ඇති වන මානවීය අපේක්ෂාවකි. උසස් ජීවන තත්ත්වයක් සාක්ෂාත් කරගත හැක්කේ පවුලේ ආදායම, පොදු පහසුකම්, අධ්‍යාපනය හා සමාජ පිළිගැනීම වැනි සාධක මතය. වතු කම්කරු ප්‍රජාව දීර්ඝ කාලයක් තිස්සේ ජීවත් වන්නේ ඉහත සාධක අහිමි කර ගත් ජන කොට්ඨාසයක් හැටියටය. නිදහසින් පසු රාජ්‍ය පාලනයේ නිරත වූ නායකයන් ඊට වගකිව යුතුය. ඔවුන් විසින් නොසලකා හරින ලද සමාජ කණ්ඩායමක් ලෙස ද වතු කම්කරුවන් හැඳින්විය හැකිය. වරෙක උඩරට වතු කම්කරුවන් හැඳින්වූයේ කල්ලතෝනි පිරිසක් හැටියටය. මේ තත්ත්වය වෙනස් කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළ නායිකාවක ලෙස බණ්ඩාරනායක මැතිනිය හැඳින්විය හැකිය. ඉන්දියාව සමඟ වැදගත් සාකච්ඡාවක් කොට ගැටලුව නිරාකරණය කරගැනීමට මැතිනිය සමත් වූවාය. පිරිසකට ඉන්දියාවේ පුරවැසිභාවය ලැබිණි. තව පිරිසකට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලැබිණි.

පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයක් මේ වන විට නැත. උඩරට වතු කම්කරුවන් යනු රටේ රජුන් තනන්නට තීරණාත්මක සාධක සපයන ජන කොට්ඨාසයකි. අද මූලික ගැටලුව වී ඇත්තේ ජීවන තත්ත්වයයි. පිළිගත හැකි වැටුපක්, පොදු පහසුකම් හා සමාජ පිළිගැනීමක් ද ඔවුන් සඳහා විවෘත විය යුතුය. අද වන විට වතුවල හිමිකාරිත්වය ඇත්තේ හාම්පුතුන් අතේය. වතු අයිතිකාරයන් හා සේවකයන් අතර වැටුප් පිළිබඳ එකඟතාවක් ඇති කිරීම අමාරු කාර්යයකි. කම්කරු අණපනත් හා රාජ්‍ය වැඩසටහන් ඒ සඳහා යොදා ගත හැකි හොඳම උපායමාර්ගය වෙයි. ඇතැම් ආණ්ඩු කම්කරුවන්ගේ පැත්ත ගත්තේය. තව ආණ්ඩු හිමිකරුවන්ගේ පැත්ත ගත්තේය. නූතන ආර්ථික ප්‍රවණතාවලට අනුව වඩාත් සුදුසු ක්‍රමය වන්නේ දෙපාර්ශ්වය පොදු පිළිගැනීමක් කරා මෙහෙයවීමය. ආණ්ඩුව ඒ සඳහා උත්සාහ දරයි.

අනාගත ‍ලෝකය විග්‍රහ කරන ආර්ථික විශේෂඥයෝ සිඳී යන ඛනිජ සම්පත් ගැන ද ආසියාවේ නැඟී එන මානව සම්පත ගැන ද කතා කරති. ඊළඟ දසකය තුළ ආසියාවේ ධන උල්පත වන්නේ මානව සම්පතයැයි කියනු ලැබේ. ශ්‍රමිකයා මානව සම්පතේ මුල් අදියර ලෙස සැලැකිය හැකිය. අපේ රටේ වතු අංශයේ ‍ඇත්තේ පුහුණු ශ්‍රම හමුදාවකි. එකී පුහුණු ශ්‍රමය හැරෙන්නට හොඳින් තේ දලු නෙළා ගත හැකි ක්‍රමයක් නැත. හොඳින් රබර් කිරි ගත හැකි ක්‍රමයක් නැත. සැබෑවටම වතු කම්කරුවා අපේ සම්පතක් ලෙස සැලකිය යුතුය. කෙන්යාව සමඟ මෙන්ම ඉන්දියාව සමඟ ද තරග කොට ‘සිලෝන් ටී’ නම් වෙළෙඳ සන්නාමය ඉදිරියට ගෙන යා හැක්කේ එවිටය.

නව අදහස දක්වන්න