‘Cinnamon දේශය’ යන කීර්ති නාමය යළි රැගෙන ආ හැකියි | දිනමිණ

‘Cinnamon දේශය’ යන කීර්ති නාමය යළි රැගෙන ආ හැකියි

අනූෂා නිෂ්පාදන නිමැවුම්කරු සමීර බණ්ඩාර

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන කුළුබඩු භෝග හෙවත් අපනයන කෘෂි භෝග අතරින් කුරුඳුවලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒ වගේම ඉහළ මිලක්. ලෝකයේ ඉස්තරම්ම කුරුඳු වැවෙන්නේ මේ පුංචි ශ්‍රී ලංකාවේ. මේ කුරුඳු රසයෙන් වගේම ගුණයෙන් ඉතා ඉහළයි. කුරුඳු අමුද්‍රව්‍යයක් ලෙස වෙෙළඳපොළට ඉදිරිපත් කරනවාට වඩා අගය එකතු කළ නිෂ්පාදන කිරීමෙන් වැඩි ආර්ථික ලාභයක් උපයන්න පුළුවන්.

කුරුඳු ඇසුරෙන් නිෂ්පාදන බොහොමයක් නිමැවුම් කරන අපූරු තරුණ ව්‍යාපාරික මහතකු අපට පසුගියදා හමු විය. ඔහු අලව්ව - ආඬියාදෙණියේ පදිංචි සමීර බණ්ඩාර මහතායි. ‘අනූෂා නිෂ්පාදන‘ නමින් වෙළෙඳපොළට ඉදිරිපත් කරන ඔහුගේ කුරුඳු නිෂ්පාදන ගැන අප සමඟ පැවසුවේ මෙලෙසින්. 

“කුරුඳු වගා කිරීමෙන් ඉහළ ආදායම් ලබන්න පුළුවන් බව මට රූපවාහිනි වැඩසටහනකින් දකින්න ලැබුණා. මේ පිළිබඳ වැඩි විස්තර දැන ගන්න මම අලව්ව ගොවිජන සංවර්ධන කාර්යාලයට ගිහින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති නිලධාරි හමුවෙලා උපදෙස් ලබා ගත්තා”

එලෙස කුරුඳු වගාවට යොමු වූ සමීර මහතාට මුහුණදීමට වූයේ නොසිතූ අභියෝගයකටයි. එනම් කුරුඳු වගාවේදී වගාකරුවන් මුහුණ දෙන කුරුඳු තැළීම සඳහා පුහුණු සේවකයන්ගේ හිඟයයි. ඒත් කුරුඳු කර්මාන්තයෙන් ජීවිතය දිනන්නට කුරුඳු තැළීම අත්‍යවශ්‍ය නොවන බව තරුණ සමීර මහතාට කියා දුන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි. කුරුඳු තැළීම පසෙකලා කුරුඳු මඟින් අගය එකතු කළ නව නිෂ්පාදන කිරීමෙන් අතමිට සරු කර ගත හැකි බවට ඒ අනුව ඔහුට මඟ පෙන්වීම් ලැබුණි. රටේ සුපිරි පැලැන්තිය ඉලක්ක කර ගනිමින් කුරුඳු පවුඩර්, කුරුඳු තේ, කුරුඳු මිශ්‍ර මී පැණි, කුරුඳු තෙල් ආදිය පමණක් නොව නිවෙසේ මැසි මඳුරුවන් පලවා හරින්නට සමත් කුරුඳු තෙල් දාහකයක් (පහනක්) ද ආකර්ෂණීය ලෙස නිමවන්නට ඔහු සමත් වී ඇත. මේ සඳහා වත්මන් දේශීය වෙළෙඳපොළේ ඇත්තේ ඉහළ ඉල්ලුමකි.

“කුරුඳු සහ මී පැණි ආශ්‍රිත නිෂ්පාදන සඳහා මී මැසි ජනපද කිහිපයකුත් මම පවත්වා ගෙන යනවා. වඩාත් පිරිසිදුව විශ්වාසවන්තව මී පැණි ලබා ගන්න ඒ නිසා හැකියාව තිබෙනවා. බිරියත් එක්ක එකතු වෙලා ලොකු කැපවීමකින් මේ කටයුතු කරගෙන යන්නේ. අපි ලබන ලාභය වගේම පාරිභෝගිකයා ගැනත් නිතරම හිතනවා. මේ නිෂ්පාදන බොහොම සෞඛ්‍යාරක්ෂිතව තමයි සකස් කරන්නේ. නමුත් මේ වනවිට වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න අපහසුයි. මේ සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර උපකරණ ආදිය ගැනීමට මුදල් නැතිකම තමයි ඒ සඳහා බලපා තිබෙන්නේ. බැංකුවකින් ණය මුදලක් ගැනීමත් කියන තරම් පහසු නැහැ. ඒ නිසා රජයෙන් හෝ බැංකු වැනි ආයතන මඟින් හෝ අපි වැනි කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන කරන නිෂ්පාදකයන්ට, ව්‍යවසායකයන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් දෙනවා නම් මේ කර්මාන්තය තව දුරටත් දියුණු කළ හැකියි. ඉදිරියේදී විදේශ වෙළෙඳපොළටත් මේ නිෂ්පාදන ඉදිරිපත් කරන්න අදහසක් තිබෙනවා ” යැයි බලාපොරොත්තු සහගත දෑසින් පැවසූ සමීර බණ්ඩාර මහතා තමාට අතහිත දුන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ස්තූති කරන්නටද අමතක නොකළේය.

“අපනයන කෘෂි භෝග හෙවත් කුළුබඩු ඇසුරෙන් අගය එකතු කළ නිෂ්පාදන සඳහා රටේ ජනතාවට තාක්ෂණික දැනුම හා මඟ පෙන්වීම ලබාදීම සිදු කරන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ පිහිටි මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයයි. එහි සහකාර අධ්‍යක්ෂ තුෂාරී ලියනගේ මහත්මියට විශේෂයෙන් ස්තුතිය පුද කරන්න කැමතියි. මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයෙන් අවශ්‍ය අයට මේ පුහුණුව නොමිලේ ලබා ගෙන තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. මෙහිදී නිෂ්පාදන ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සකස් කරන ආකාරය, ලියාපදිංචි කිරීම, ආදායම් වියදම් කළමනාකරණය කර ගැනීම, ඇසුරුම් ආකර්ෂණීය ලෙස දේශීය හා විදේශීය වෙළෙඳපොළට ගැළපෙන ලෙස සකස් කිරීම, සහතිකකරණය ආදී බොහෝ කරුණු කාරණා සඳහා උපදෙස් , මඟ පෙන්වීම නොමඳව ලබා දෙනවා. ” යැයි පැවසුවේ අතමිට සරු දිරිය මිනිසුන් තනන්නට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැදී පැහැදී සිටින බව පසක් කරමිනි.

දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු 
මාධ්‍ය හා සන්නිවේදන අංශය 
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

නව අදහස දක්වන්න