අපි 69 ලක්ෂයක ජනමතයක් ඇති වගකිව යුතු ආණ්ඩුවක් රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර | දිනමිණ

අපි 69 ලක්ෂයක ජනමතයක් ඇති වගකිව යුතු ආණ්ඩුවක් රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර

වෙනදා ලෝකෙට කිඹුහුමක් ‍යන‍ කොට අපට නිව්මෝනියාව හැදෙනවා කියල හිතුවේ. එහෙම තමයි වෙනත් ආණ්ඩුවලදී වුණේ. අපට අභියෝග තිබෙනවා. ඒවා ඉතාමත් නිවැරැදිව කළමනාකරණය කර ගෙන ඉදිරි ගමන යනවා.

 ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ක්‍රියාත්මක කිරීමට යන අලුත් වැඩසටහන් ගැන පැහැදිලි කළොත්?

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළේ සඳහන් වෙලා තියෙනවා ග්‍රාමීය කර්මාන්තවලට අදාළ අමුද්‍රව්‍ය හිඟයට පිළියම් යෙදිය යුතුයි කියලා. එහි පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා වේවැල් හිඟයට ‍පිළියම් යෙදිය යුතුයි කියලා. ඒ දැක්මත් සමඟම ජනාධිපතිතුමා මා වෙත පැවරූ වගකීමක් වශයෙන් වේවැල් හිඟයට පිළියම් වශයෙන් වාණිජ වේවැල් වගාව ආරම්භ කළා. ලෝකයේ වෙනත් රටවල වාණිජමය වේවැල් වගාව තිබුණත් මීට පෙර ශ්‍රී ලංකාවේ වාණිජමය වශයෙන් වේවැල් වගාවක් කරලා තිබුණේ නැහැ.

 

වේවැල්, මැටි, ආදී කර්මාන්ත සඳහා ඇති ගැටලු හඳුනාගෙන තිබෙනවා ද?

සෑම ග්‍රාමීය කර්මාන්තයක්ම මගේ විෂය පථයට අයත්. ඒ සියලු කර්මාන්ත සඳහාම ඇති දුෂ්කරතා පිළිබඳ සොයා බැලීම මගේ වගකීමක්. අමුද්‍රව්‍ය හිඟය තමයි ශිල්පීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව.

මීට අමතරව හඳුනාගත් තවත් ප්‍රශ්න තිබෙනවා. මැටි කර්මාන්තයේ පැවැති ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මැටි ප්‍රවාහනය පිළිබඳ ගැටලුව. මීට පෙර මැටි ප්‍රවාහනය ඉතාම අපහසු කාර්යයක් වුණා. මම මැදිහත් වෙලා මැටි ප්‍රවාහනය කිරීමේ ගැටලුවට පිළියම් දී තිබෙනවා. උදාහරණයක් විදිහට දැන් මැටි ප්‍රවාහනයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මැටි කියුබ් 7ක් දක්වා ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ‍දෙනවා. ඊට වැඩියෙන් ප්‍රවාහනය කිරීම සඳහා බලපත් අපේ අමාත්‍යාංශය හරහා ලබා ගත හැකියි.

 

ශ්‍රි ලංකාවේ මැටි කර්මාන්තය වළං හා විසිතුරු භාණ්ඩවලට සීමා වෙලා. ජපානය වගේ රටවල් මැටි ආශ්‍රිත කර්මාන්තයේ විශාල දියුණුවක් ලබලා තියෙනවා. ශ්‍රී ලංකාවේ මැටි කර්මාන්තය ඒ තත්ත්වයට ගන්න පුළුවන් ද?

දියුණු තාක්ෂණය එකතු නොවීම අපේ රටේ මැටි කර්මාන්තයේ තිබෙන තවත් ගැටලුවක්. පළමුවෙන්ම මැටි කර්මාන්තයට තාක්ෂණය එකතු කළ යුතුයි. එසේ කළොත් තමයි තරුණ පරම්පාරව මේ කර්මාන්තයට එකතු වෙන්නෙ. මේ නිසා නව තාක්ෂණය මැටි කර්මාන්තයට එකතු කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා. මැටි කර්මාන්තයට තිබෙන තාක්ෂණික ගැටලුවලට පිළියම් ලබා දෙන්න මොරටුව විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය ආදී තවත් ආයතන ගණනාවක, විෂය පිළිබඳ ප්‍රවීණයන් එකතු කරලා වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. තාක්ෂණික ගැටලුවලට සොයා ගන්නා පිළියම් ශිල්පීන් වෙත ලබා දෙන්නත් ජාතික ශිල්ප සභාව කටයුතු කරගෙන යනවා.

 

වේවැල් නිෂ්පාදන වගේ දේවල් ජනතාව අතර එතරම් ප්‍රචලිත වෙලා නැහැ. ප්ලාස්ටික් නිෂ්පාදන වෙනුවට වේවැල් නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කරන්න වැඩසටහනක් තියෙනවා ද?

ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා තරගයක් ලබා ‍දීමට නම් අපි ආදේශක හඳුන්වා දිය යුතුයි. එයට හොඳම ආදේශකය වන්නෙත් වේවැල්. වේවැල් භාණ්ඩ පරිභෝජනය කිරීමේ මූලික පියවරක් වශයෙන් තමයි වනාතවිල්ලුවෙන් වේවැල් වගාවට මුල පුරන්නේ. වේවැල් වගාව මෙන්ම, වනාතවිල්ලුවේ පවතින අක්කර අසූ අටක ස්වාභාවික වේවැල් භූමිය ආශ්‍රිත ප්‍රමිතියෙන් යුතු වේවැල් නිෂ්පාදනය කිරීමට මධ්‍යස්ථානයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. විදෙස් රටවලින් ආනයනය කරන වේවැල්වල ප්‍රමිතියට සමාන වේවැල් නිෂ්පාදනය කිරීම තමයි අපේ අරමුණ වෙන්නේ. ඊට අදාළ තාක්ෂණය ශ්‍රී ලංකාවේ තිබෙනවා. මේ කාර්ය සඳහා අවශ්‍ය නායකත්වය මම ලබා දෙනවා.

 

ග්‍රාමීය කර්මාන්තකරුවන් වෙනුවෙන් ඔබ අමාත්‍යාංශය හරහා සැපයෙන සේවාවන් මොනවා ද?

විදාතා නිලධාරීන් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සේවය කරනවා. ඔවුන් තමයි ගමට තාක්ෂණය රැගෙන ගියේ. ඔවුන් හරහා විෂයන් 81ක් යටතේ ග්‍රාමීය කර්මාන්ත ක්‍ෂේත්‍රය පුළු‍ල් වෙලා තිබෙනවා. යමෙකුට කර්මාන්තයක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ‍සේවය කරන විද්‍යා හා තාක්ෂණ නිලධාරීන් මුණ ගැහිලා තමන්ගේ යෝජනා අදහස් ඉදිරිපත් කරගෙන ඒ වැඩ කටයුතු ආරම්භ කර ගන්න පුළුවන්.

 

මොන තරම් අලුත් වැඩ පටන් ගත්තත් අපේ රටේ ඒක ටික දවසකින් මන්දගාමි වෙලා අකර්මණ්‍ය වෙලා යනවා කියල මහජන අදහසක් තිබෙනවා. මේ ආරම්භ කරන ව්‍යාපෘතිය ‍එහෙම නොවෙයි කියල ඔබට සහතික කරන්න පුළුවන් ද?

අපේ අමාත්‍යාංශයට අයවැයෙන් මිලියන 2184ක වගේ විශාල මුදලක් වෙන් වෙලා තියෙනවා. කිසිදු ආණ්ඩුවකින් ග්‍රාමීය කර්මාන්තය සඳහා මෙතරම් මුදලක් වෙන් වෙලා නෑ. රටේ ජනතාව ආර්ථික වශයෙන් දිරි ගැන්වීමටයි මේ ප්‍රතිපාදන වෙන් වුණේ. මේ ප්‍රතිපාදන ජනතාව අතරට යවන්න අපි ඉතා හොඳ සැලැස්මක් හදලා තිබෙනවා. උදාහරණයක් විදිහට ශිල්ප ගම්මාන සීයක් ගොඩනැඟීමට සැලැස්මක් තිබෙනවා. ඒ සඳහා මිලියන 500ක් ‍වෙන් කරලා තිබෙනවා. මේ වැඩපිළිවෙළ වසර කිහිපයක් තිස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වෙනකොට ඒ ගම්මාන ආර්ථිකමය වශයෙන් ස්ථාවර වෙනවා.

 

තිරසර පැවැත්මක් තහවුරු කරමින් ග්‍රාමීය කර්මාන්ත දියුණු කිරිමේ වැඩපිළිවෙළ මොකක් ද?

පන්, උණ, වේවැල් මැටි ආදී මේ සියල්ල ස්වාභාවික පරිසරයේ පවතින සංවේදී අංශ. වේවැල්, උණ ආදිය නිසි කලදී ප්‍රයෝජනයට ගත්තේ නැත්නම් ඒවා ස්වභාවිකව විනාශ වෙලා යනවා. පරිසරයට හානියක් නොවන පරිදි මේ අමුද්‍රව්‍ය ලබා ගැනීම කරනවා. නිලධාරීන් මේවා අධීක්ෂණය කරනවා. ජනතාවත් දැනුවත් කරනවා.

 

රටක ආණ්ඩුව වගේම විපක්ෂයත් වැදගත්. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ භූමිකාව, පරිණතභාවය පිළිබඳ ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරයෙක් ලෙස සෑහීමකට පත් වෙන්න පුළුවන් ද?

පුද්ගලයකුගේ පරිණතභාවය තීරණය වෙන්නේ ඔහුගේ ක්‍රියාකාරිත්වය මත. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ ක්‍රියාකාරීත්වය මේ රටේ ජනතාව පිළිගත් අයුරු අපි දැක්කා. ඉතිහාසයේ ඔහු කළ වැඩවලට සමාජය දුන් පණිවිඩය අපි දැක්කා. එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම විනාශ කළේ සජිත් ප්‍රේමදාස. ජාතික නායකත්වය අවශ්‍ය පරිචය ඔහු තුළින් මම නම් දකින්නේ නෑ. අතිගරු ජනාධිපතිතුමා ගම්වලට ගොසින් ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා. නමුත් විපක්ෂනායකවරයා ගම්වලට ගිහින් විහිළු සපයනවා. ඔහු කියනවා දුප්පත් ජනතාව‍ගේ සියලුම ප්‍රශ්න ජාතික ප්‍රශ්න කියලා. ජාතික ප්‍රශ්නයක් මොකද්ද කියල හඳුන ගන්න බැරි විපක්ෂ නායකවරයෙක් අපට ඉන්නේ.

 

එක්සත් ජාතික පක්ෂය අලුත් විදිහට එන්න සූදානම් වෙනවා. එය ආණ්ඩු පක්ෂයට අභියෝගයක් ලෙස භාර ගන්නවාද?

කිසිම අභි‍යෝගයක් නෑ. තනතුරු ටික පත් කරගන්න බැරි එක්සත් ජාතික පක්ෂය මොන අභියෝගයක් ද? එකම මන්ත්‍රී ධූරයට මේ වන තුරු නියෝජිතයා තෝරා ගන්න බැරි එක්සත් ජාතික පක්ෂය යන්නේ වළ පල්ලට.

 

ආණ්ඩුව සම්බන්ධ විවේචන එල්ල වෙමින් තිබෙනවා. කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය විදෙස් රටවලට විකුණනවා කියලා පසුගිය කාලයේ විශාල චෝදනාවක් එල්ල වුණා?

අපේ ආණ්ඩුව 69 ලක්ෂයක ජනමතයක් ඇති වගකිව යුතු ආණ්ඩුවක්. අපි විවේචනවලට ඉතා කැමතියි. නමුත් ඒවා සාධාරණ සහ නිවැරැදි විවේචන විය යුතුයි. ඒ වගේ විවේචන අපි භාර ගන්නේ ශක්තියක් විදිහටයි. නමුත් බොරු සියල්ල විවේචනවලට ඇහුම්කන් දිය යුතු නැහැ. නැඟෙනහිර ජැටිය විකුණනවා, පරිසරය‍ විනාශ කරනවා කියලා කට කතා පැතිරුණා. අපි කට කතාවලට මේ රටේ දිශානතිය වෙනස් කරන්න ඉඩ තියන්නේ නැහැ.

 

කොරෝනා පැණියක් පිළිබඳ ආණ්ඩුව විසින් සමාජගත කරවමින් කොරෝනා එන්නත් ගෙන්වීම පිළිබඳ සාකච්ඡාවක්වත් කරන්නේ නෑ කියලා විපක්ෂය චෝදනා කරනවා?

අපේ රටේ ආයුර්වේදයේ සාධනීය කාරණා අපි දැකලා තියෙනවා. අපි හිතන්නේ නෑ දේශීය වෙදකම ඇතුළේ ඖෂධ නැතැයි කියලා. නමුත් ආණ්ඩුව කුමන වෙලාවකවත් පැණිය මාර්කට් කරන්න ගියේ නෑ. විවිධ කණ්ඩායම් ඔවුන්ගේ අදහස් අනුව විවිධ දේ කරා. හැබැයි ජනතාව උනන්දුවෙන් මේ පිළිබඳ බලා සිටියා. මගේ පෞද්ගලික අදහස නම් දේශීය වෙදකමේ සාධනීය කරුණු තිබෙනවා. නිරීක්ෂණ නිගමන ඔස්සේ එම සාධනීය කරුණු පිළිගත යුතු වෙනවා. එන්නත මිලදී ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය මොකක්ද කියල සඳහන් කරලා තියෙනවා. වඩාත් හොඳම එන්නත පිළිබඳ සොයා බැලීමට, ජනාධිපතිතුමා එතුමාගේ උපදේශකවරයාට උපදෙස් දී තිබෙනවා. ජනාධිපතිතුමා පෞද්ගලිකවම චීනයට, ඉන්දියාවේ රාජ්‍ය නායකයන්ට කියලා තියෙනවා ඔවුන්ගේ එන්නත් සාර්ථක වූ වහාම අපේ රටට ලබා දෙන්න කියලා. විෂය භාර අමාත්‍යතුමිය ප්‍රකාශ කළා පෙබරවාරි වෙද්දි එන්නත ගේනවා කියලා.

 

කොවිඩ් 19 වසංගතය ලෝකයටම බලපා තිබෙන අර්බුදයක්. මේ තත්ත්වය හමුවේ ඔබට ග්‍රාමීය කර්මාන්තය සාර්ථකව දියුණු කළ හැකි වෙයි ද?

‍කොවිඩ් වසංගතය තිබුණත්, එදිනෙදා ගොවිතැනෙන් හේනෙන් ජීවත් වෙන මිනිස්සු වැටුණේ නෑ. ග්‍රාමීය කර්මාන්ත කඩා වැටුණේ නෑ. ආණ්ඩුව ඊට ඍජුව මැදිහත් වුණා. ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න ග්‍රාමීය ආර්ථිකය දැවැන්ත අඩිතාලමක් කර ගැනීම සෞභාග්‍යයේ දැක්මෙහි ප්‍රධාන අරමුණක්. ග්‍රාමීය ආර්ථිකය අපි ශක්තිමත් කර ගෙන යනවා. වෙනදා ලෝකෙට කිඹුහුමක් ‍යන‍ කොට අපට නිව්මෝනියාව හැදෙනවා කියල හිතුවේ. එහෙම තමයි වෙනත් ආණ්ඩුවලදී වුණේ. අපට අභියෝග තිබෙනවා. ඒවා ඉතාමත් නිවැරැදිව කළමනාකරණය කර ගෙන ඉදිරි ගමන යනවා.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කර්මාන්ත නඟා සිටුවීමට අවශ්‍ය වන්නේ කුමක් ද? ඒ සඳහා රජය ගන්නා ඉදිරි පියවර මොනවාද සහ විපක්ෂය නඟන චෝදනාවලට රජයක් ලෙස දක්වන ප්‍රතිචාර කවරක් ද යන්න වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගෙන් ද, ආණ්ඩුව අසමත් යැයි පවසන්නේ කවර හේතු නිසා ද? පැවැති පාලනය ජනතාව ප්‍රතික්ෂේප කරන්නට හේතු වූයේ කුමක් ද? පළාත් සභා පවත්වාගෙන යා යුතු ද යන්න ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතාගෙන් ද විමසමින් කළ සංවාදයකි මේ.

 

රසිකා හේමමාලි

නව අදහස දක්වන්න