සමඟි ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න පුළුවන් ස.ජ.බ. පා.ම. අශෝක අබේසිංහ | දිනමිණ

සමඟි ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න පුළුවන් ස.ජ.බ. පා.ම. අශෝක අබේසිංහ

මේ රටේ රාජ්‍ය ආදායමෙන් 60%ක් වැටුප් ගෙවන්න  වියදම් වෙනවා.  එහෙම තිබියදීත් රැකියා දෙන්න යනවා. එහෙම දෙන රැකියාවලින් රාජ්‍ය ආදායමට තියෙන  දායකත්වය මොකක් ද?

සමඟි ජන බලවේගය කියන්නේ මෑතක පිහිටුවා ගත් දේශපාලන පක්ෂයක්. වත්මන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයත් ඔබේ පක්ෂය. විපක්ෂයේ කාර්යභාර්ය ඔබ පක්ෂය ඉටු කරනව ද?

මේ රටේ ප්‍රධාන විපක්ෂය කියන්නේ ඊළඟට පත්වන ආණ්ඩුව. විපක්ෂ නායකයා කියන්නේ ඊළඟට පත්වන රාජ්‍ය නායකයා. ඒ නිසා රටේ උද්ගතවෙලා තියෙන තත්ත්වයත් එක්ක අපේ පක්ෂය දැන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු සූදානම් කරගෙන යනවා. ඊට කලින් පළාත් සභා මැතිවරණය හෝ පළාත් පාලන මැතිවරණය තියෙන්න පුළුවන්. ඒ මැතිවරණවලට මුහුණ දෙන්නත් අපි සංවිධාන කටයුතු කරගෙන යනවා. ලංකා ඉතිහාසයේ ඉතා කෙටි කාලයකින් ජනතා අප්‍රසාදයට පත් වූ රජය තමයි වත්මන් රජය. ඊළඟ මැතිවරණයේ දී මේ රජය වෙනස් කරලා සමඟි ජන බලවේග ආණ්ඩුවක් හදන්න පුළුවන්.

 

කොවිඩ් වසංගතය ලෝකය ම හු‍ෙදකලා කරමින් ආර්ථික අර්බුදයකට තල්ලු කළා. මේ අවස්ථාවේ අපේ රටත් මුහුණ දෙන්නෙ දරුණු අර්බුදයකට. ඒවාට මුහුණ දෙනවා කියන්නේ එතරම් ලෙහෙසු පහසු දෙයක් නොවන බව මම පැවසුවොත්, ඔබේ අදහස මොකක් ද?

වසංගතය ලෝකය පුරා ම පැතිරිලා තියෙන බව කවුරුත් පිළිගන්න කාරණයක්. නමුත් 2019දී ජනපතිවරයා ජයග්‍රහණය කරනවිට කොවිඩ් වසංගතය තිබුණේ නැහැ. 2020 මාර්තු වෙනතුරු අපේ රටට බලපෑමක් තිබුණෙත් නැහැ. ඒත්, 2020 වසරේ පළමු කාර්තුව අපේ රටේ ආර්ථිකය වාර්තා කළේ සෘණ 1.6ක අගයක්. 2019 වසරේ අවසන් කාර්තුවේ ධන 2.9ක් ව තිබුණා. කොවිඩ් වසංගතය නැතුවත් බලයට පත්වුණ රජයේ පළමු කාර්තුව වාර්තා කළේ සෘණ අගයක්. කොවිඩ් වසංගතයත් එක්ක අපේ රටේ ආර්ථිකයේ දෙවන කාර්තුව වාර්තා කළේ සෘණ 16.9ක අගයක්. කොවිඩ් වසංගතය රටට ඇතුළු වෙන්න කලින් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ මෙවැනි වසංගතයක් රටට ඇතුළු වීමේ අවදානමක් තියෙනවා, ඊට කලින් ගුවන්තොටුපළ සහ ලංකාවට ඇතුළු විය හැකි ස්ථාන වසා දමන්න කියලා. එදා ඒවා නොකර වෙනත් කතා කිව්වා. අන්තිමට පළමු රැල්ලේ දී මරණ 13ක් වාර්තා වුණා. ඊට පස්සේ එතුමලා ලෝකයේ කොවිඩ් මර්දනය කරපු හොඳම රට අපි කියලා කියන්න ගත්තා. එතැනදීත් අපි කිව්වා දෙවැනි රැල්ල එනවා, ඊට මුහුණ දෙන්න වැඩපිළිවෙළක් හදන්න කියලා. ඒත් මොකුත් කළේ නැහැ. ඊළඟට දෙවැනි රැල්ල ඔක්තෝබරේ ආවා. ගෙවුණේ මාස 4යි. ආසාදිතයෝ පනස් දහ ඉක්මවලා යනවා. මරණ දෙසීය පනහ ඉක්මවලා ගිහින්. නමුත්, තාම ඒ අය කියනවා මේ වසංගතය සමාජගත වෙලා නැහැ කියලා. දැන් ලංකාවේ දිස්ත්‍රික්ක 25න් ම ආසාදිතයෝ වාර්තා වෙනවා. දිනකට හයසීයක් හත්සීයක් ආසාදිතයෝ වාර්තා වෙනවා. මරණ හතරක් පහක් සිදු වෙනවා. මේ රෝගය ව්‍යාප්ත වන රෝගයක් වුණත් හැදෙන ප්‍රමාණයෙන් 95%ක් විතර සුවවන තත්ත්වයකුත් තියෙනවා. අපේ රට ඝර්ම කලාපීය රටක් නිසාත්, නිදහස් සෞඛ්‍ය සේවාවක් තියෙන නිසාත් මරණ අනුපාතය අවම කරගන්න පුළුවන් වෙලා තියෙනවා.

 

2015දී ඔබලා ආණ්ඩු බලය ලබා ගත්තේ හොරු අල්ලනවා කියලා. අවුරුදු පහක් ගත වෙනකොට රටේ අභ්‍යන්තර ගැටුම් උග්‍ර වුණා. පැවැති යහපාලන රජය පෙරළා දැමුවේ ඒ නිසා නේ ද?

රන්ජන් රාමනායක මහත්තයා කිව්වා කුඩුකාරයෝ 5ක් ඉන්නවා කිව්වා. එතනෝල් ගෙන්වන අය 5ක්, වැලි පර්මිට් තියෙන 75ක්, බාර් පර්මිට් තියෙන අය 100ක් ඉන්නවා කියලත් එතුමා කිව්වා. සරත්. ප්‍රශ්නය තියෙන්නේ හොරුන්ට ඡන්දෙ දෙන ජනතාවගෙ අතේ. ඔය කියන හැමෝට ම ඡන්දෙ දුන්නේ මේ රටේ මහජනතාව. මේ ළඟදි කමල් අද්දරආරච්චි කියලා තිබුණා අවුරුදු හතරකට කලින් හොරු වංචාකාරයෝ කියලා කියපු අය ඊළඟ සැරේදී ඡන්දෙ දීලා පත්කර ගන්නවා කියලා. එහෙම රටක් මේක. 2015දී ජනතාව හොරු එළෙව්වා. එහෙම හදපු ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා මාස කිහිපයක් යනකොට මහ බැංකු හොරකම කළා. අද මොකද වෙලා තියෙන්නේ ඡන්දෙට ගිහින් අන්ත පරාජයට පත් වෙලා. එක මන්ත්‍රීධුරයක් හිමිවෙලා ඒකත් පත් කරගන්න බැරිව දඟලනවා.

 

ඉන්දීය විදේශ ඇමැතිවරයා පසුගිය දිනක ලංකාවට පැමිණියා. ඔහුගේ පැමිණීමත් සමඟ නැවත වරක් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මතභේද මතුවෙන්නට ගත්තා. නමුත්, මේ රටේ බොහෝ දෙනෙක් කියන්නෙ පළාත් සභා අවශ්‍ය නෑ කියලයි. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

මේ පළාත් සභා ගෙනාවේ 13 වැනි සංශෝධනයෙන්. ඒකට ප්‍රධාන හේතුව තමයි පැවැති යුද්ධය. නමුත් දැන් යුද්ධය නැහැ. වත්මන් ජනපතිතුමා පළාත් සභා ක්‍රමයට වැඩි කැමැත්තක් නොමැති බව පේනවා. ආණ්ඩුවේ ම සමහර පාර්ශ්ව පළාත් සභා එපා කියනවා. නමුත්, මේක ව්‍යවස්ථාවේ තියෙනවා. පළාත් සභා අවශ්‍ය නැත්නම් අලුත් ව්‍යවස්ථාවක් ගෙනත් පළාත් සභා අහිමි කරන්නට ඕනෑ. ව්‍යවස්ථාවේ පළාත් සභා තියෙනවා නම් ඒ දේ කරන්න ඕනෑ. පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වන්න ඕනෑ කියලා පනතක් සම්මත කරගෙන තියෙනවා. සියයට 50ක් සමානුපාතිකවත් සියයට 50ක් කොට්ඨාස ක්‍රමයටත් තියන්නට ඕනෑ කියලයි එතැන තියෙන්නේ. රජයේ ම කොටසක් කියනවා පරණ ක්‍රමයට තියන්න කියලා. එහෙම තියනවා නම් පනත වෙනස් කරන්නට ඕනෑ. නමුත් 1978 ව්‍යවස්ථාවට අනුව පළාත් සභා තියෙනවා. පළාත් සභාව තියනවා ද නැද්ද කියලා තීරණය කරන්න ඕනෑ ආණ්ඩුවයි. අපි ඉන්නෙ විපක්ෂයේ. අපි සමඟි ජන බලවේගය විදිහට පළාත් සභා මැතිවරණය පැවැත්වුවොත් තරග කරනවා.

 

පාර්ලිමේන්තුවේ ඉන්නෙ හොරු කියලා රන්ජන් රාමනායක මහත්තයා කිව්වට එතුමා අධිකරණයට අපහාස කළ වරදට දඬුවම් විඳිනවා. එතකොට එතුමා හරියි කියල ද කියන්නේ?

එතුමා කළ දේ හරියි කියලා මම කියන්නේ නැහැ. නමුත් කවුරු හරි එක්කෙනෙක් ඇත්ත කියන්නට ඕනෑ. රටේ ජනතාව කියනවා 225ම දියවන්නාවේ ගිලිලා මැරෙන්න ඕනෑ කියලා. 225ම කොවිඩ් හැදිලා මැරෙන්න ඕනෑ කියලත් ජනතාව කියනවා. ඇයි එහෙම කියන්නේ. ඔයගොල්ලන්ගේ පත්තරවල දේශපාලනඥයා මගෝඩිස් කියලයි හඳුන්වන්නේ. හැම දේශපාලනඥයාම මගෝඩිස්ලද? නෑ නේද? නමුත් එහෙම ඉන්න පිරිසකුත් ඉන්නවා. කිසිම දෙයක් නැතිව ඇවිත් දේශපාලනයෙන් මුදල් හම්බ කරන්නෙ කොහොම ද? අපි කොහොම කිව්වත් මිනිස්සු ඒ අයට ඡන්දෙ දෙනවා. ඒ නිසා මේ රටේ මහජනතාව මේ වෙලා තියෙන දේවල්වලට පළමුවෙන් ම වගකියන්න ඕනෑ.

 

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය විකුණනවා කියලා ඔබලා කියනවා. එහි ඇත්ත නැත්ත ගැන ඔබේ පැහැදිලි කිරීම මොකක් ද?

2017 දෙසැම්බර් 8 වැනිදා පාර්ලිමේන්තුවට හම්බන්තොට වරාය බදු දෙන්න ගැසට් එක නිකුත් කරපු වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ ඒකට ඡන්දයක් ඉල්ලුවා. වත්මන් ආණ්ඩුව එවකට ඒකාබද්ධ විපක්ෂය විදිහට පාර්ලිමේන්තුවේ හිටියා. ඒ ඡන්දය පැවැත්වුණ වෙලාවේ ඒකට විරුද්ධව ඡන්දය භාවිතා කළේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු විතරයි. දැන් ඔය කෑ ගහන මන්ත්‍රීවරු කිසි කෙනෙක් ඡන්දෙ දුන්නෙ නැහැ.

 

පසුගිය කාලේ මත්තල ගුවන්තොටුපළ සංකීර්ණයේ වී ගබඩා කළා. එදා පාලක පක්ෂයේ හිටියේ ඔබතුමාලා. ඔබ කියන්නේ ඒ කළ දේ හරියි කියල ද?

මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කළේ නැහැ. වී ගබඩා කළේ මීටර් 500ක් විතර ඈතින් තියෙන ගබඩාවක. ගබඩා තියෙන්නෙ මොකට ද? එදා ගුවන්තොටුපළ සක්‍රීය වෙලා තිබුණේ නැහැ. එදා හම්බන්තොට වී අස්වැන්න අතිරික්තයක් තිබුණා. වී අලෙවි මණ්ඩලය එදා ඉල්ලීමක් කළා, වී ගබඩා කරන්න තැනක් දෙන්න කියලා. ඊට පස්සෙ වී තොග ඉවත් කළා ම තිබුණ විදිහට ම බාර දෙනවා කියලත් කිව්වා. ඒ කිව්ව විදිහට ම එදා ගබඩාව බාර දුන්නා. හැබැයි මෙයාලා කියන්නේ අපි පර්යන්තයේ වී ගබඩා කළා වගේ.

 

මේ රටේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවත්, දේශීය කර්මාන්ත බොහොමයක් වැසී යන්නෙත් පැවැති දුර්වල පාලන නිසයි. වත්මන් රජය මේවා නිවැරැදි කරන්න පියවර ගනිමින් ඉන්නවා නේද?

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර්මාන්ත ශාලා අසූ හය දහසක් තිබෙනවා. දැන් තිස් පන් දහසක් විතර වැහිලා. එතකොට රාජ්‍ය දෙපාර්තමේන්තුවල අකාර්යක්ෂමතාව ගැන කියලා වැඩක් නැහැ. ලෝකයේ තියෙන රටවල් දෙසීයකම වාගේ රාජ්‍ය සේවයේ ඉන්නේ රටේ ජනගහනයෙන් 350ට එක්කෙනක් වගේ. අපේ රටේ හැම පහළොස් දෙනෙකුටම එක් අයෙක් රජයේ සේවකයෙක්. ඒ හින්දා මේ රටේ රාජ්‍ය ආදායමෙන් 60%ක් වැටුප් ගෙවන්න වියදම් වෙනවා.

එහෙම තිබියදීත් රැකියා දෙන්න යනවා. එහෙම දෙන රැකියාවලින් රාජ්‍ය ආදායමට තියෙන දායකත්වය මොකක් ද? අද වෙන කොට ඩොලරයේ මිල ඉහළ ගිහින්. ආකාරයක්ෂම පාලන ක්‍රම නවත්වන්නට ඕනෑ. එහෙම නැතිව රට ඉස්සරහට අරන් යන්න බැහැ.

 

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කර්මාන්ත නඟා සිටුවීමට අවශ්‍ය වන්නේ කුමක් ද? ඒ සඳහා රජය ගන්නා ඉදිරි පියවර මොනවාද සහ විපක්ෂය නඟන චෝදනාවලට රජයක් ලෙස දක්වන ප්‍රතිචාර කවරක් ද යන්න වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගෙන් ද, ආණ්ඩුව අසමත් යැයි පවසන්නේ කවර හේතු නිසා ද? පැවැති පාලනය ජනතාව ප්‍රතික්ෂේප කරන්නට හේතු වූයේ කුමක් ද? පළාත් සභා පවත්වාගෙන යා යුතු ද යන්න ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතාගෙන් ද විමසමින් කළ සංවාදයකි මේ.

දුමින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න