අඳුරෙන් වැසුණු වතුකරයට නව අරුණැල්ලක් | දිනමිණ

අඳුරෙන් වැසුණු වතුකරයට නව අරුණැල්ලක්

වත්තට වතු ලැයිම්  කාමරයට සීමා වී ඇති වතු කම්කරුවන්ගේ ජන ජීවිතය ශක්තිමත් කිරීමට  වර්තමාන ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කළ යුතුය. විශේෂයෙන් වතුවල ජීවත් වන වර්තමාන තරුණ පරපුරටත් ළමා පරපුරටත් අධ්‍යාපනයෙන් ඉහළට යෑමට ඇති අවස්ථාව ඔවුන්ට මේ රජයෙන් උරුම කර දී ඇති මහඟු  අවස්ථාවකි.

ශ්‍රී ලංකාවේ වතු වගාව ආරම්භ වීමත් සමඟ ප්‍රධාන වැවිලි භෝගය බවට පත් වූයේ කෝපි වගාවයි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් කෝපි වගාවට හටගත් දිලීරයත් සමඟ කෝපිවලට තිබූ ඉල්ලුම ශීඝ්‍රයෙන් පහළට ගමන් කළේය. 1824දී පළමු වතාවට බ්‍රිතාන්‍ය ජාතිකයකු තේ පැළයක් ලංකාවට ගෙනැවිත් එය පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ රෝපණය කළේ වාණිජ ඉලක්කයක් මුල් කරගෙන නොවේ. එහෙත් කල් ගත වෙද්දී තේ වගාව වාණිජ වගාවක් ලෙස ආරම්භ කළේ ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර්ය. 1852 මහනුවර ලූල්කඳුර වතුයායේ පදිංචි වූ ටේලර් 1867දී ඉන්දියාවට ගොස් කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස අක්කර 19ක මුලින්ම තේ වගාව ආරම්භ කොට ඇත. 1872දී පළමු තේ කර්මාන්ත ශාලාව ද ලූල්කඳුර වතුයායේම ජේම්ස් ටේලර් ආරම්භ කළේය. විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ තේ වගාවට උචිත භූගෝලීය පිහිටීමක් පැවැතීම එහි ව්‍යාප්තියට ප්‍රබල හේතුවක් විය. මීදුම සහිත ශීත දේශගුණය සාරවත් තේ වගාවකට අවැසි මංපෙත් විවර කළේය. විශේෂයෙන් සුදු ජාතිකයන්ගේ රස නහර පිනායන උණුසුම් තේ කෝප්පයක පහස ලබාදීමට උඩරට කඳුකරයේ වගා කළ නැවුම් තේ දල්ල සමත් විය.

සිලෝන් ටී (CEYLON TEA) යනුවෙන් හැඳින්වූ ශ්‍රී ලංකාවේ තේ පළමුවෙන්ම ලන්ඩන් තේ වෙන්දේසියේදී පැකැට් මිලියනයක් අලෙවි වූ අතර, කිලෝග්‍රෑම් 1කට පවුම් 36.15ක් වූ වාර්තාගත මිලක් ලබාගැනීමට සමත් වී ඇත. ක්‍රම ක්‍රමයෙන් ලන්ඩන් තේ වෙළෙඳපොළේ තරග කිරීමට පුංචි ශ්‍රී ලංකාවට ආර්ථික ශක්තියක් මෙන්ම සිලෝන් ටීවලට ලෝකයේ ඉහළ ඉල්ලුමක් ලබාගැනීමට වැඩිකල් ගත නොවීය. ඒ අනුව අන්තර්ජාතිකව තේ වෙළෙඳාම ප්‍රචලිත වීමත් සමඟ ලංකා තේ වෙළෙඳුන්ගේ සංගමය වාණිජ මණ්ඩලය, කොළඹ තැරැව්කරුවන්ගේ සංගමය ආදී සංවිධාන හරහා ලෝක තේ වෙළෙඳපොළට අපේ ලංකාවේ තේ අලෙවිය විධිමත් අයුරින් වෙළෙඳාම් කිරීමට කටයුතු සම්පාදනය කළේය. 1925දී තේ පර්යේෂණායතනය පිහිටුවා 1927 වන විට ලංකාවේ තේ නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 100000 ඉක්මවූ අතර, එය සම්පූර්ණයෙන්ම පාහේ අපනයනය කරන ලදී. 1958 රාජ්‍ය වැවිලි සංස්ථාව බිහිවීමෙන් අනතුරුව 1960දී හෙක්ටයාර් 200000ක් ඉක්මවා නිෂ්පාදිතයක් සිදු කරන තත්ත්වය දක්වා වර්ධනය විය.

 

වතු ජනසතුව

1963දී ශ්‍රී ලංකාව තුළ ක්ෂණික තේ සහ පැකැට් අපනයනය ආරම්භ විය. 1965දී අ‍පේ පුංචි ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන තේ අපනයනකරුවා බවට පත්වීම අමතක නොකළ යුත්තකි. 1970දී බ්‍රිතාන්‍ය සමාගම් සතුව පැවැති තේ වතු ජනසතු කිරීම් ආරම්භ කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් පත්වූ සමඟි පෙරමුණු ආණ්ඩුවයි. මේ දක්වා තේ වගාවෙන් ජයගැනීමට හැකි වූයේ හොඳ ශ්‍රම බළකායක් මේ වතු ආශ්‍රිතව ජීවත්වීම නිසාය. විශේෂයෙන් ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයා වතුවල පදිංචි කිරීම ආරම්භ කළේ තේ වගාව ආරම්භයේ සිටමය. දකුණු ඉන්දියානු දෙමළ ජනයා අඩු වැටුපකට අඩු වියදමකින් නඩත්තු කිරීමට හැකිවීම බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ වතුවල සේවයට ඔවුන්ට තිබූ එකම සුදුසුකම විය. විශේෂයෙන් ඉඩකඩම් හිමි සිංහල ජනයා වතුවල සේවය කිරීමට දැක්වූයේ මැළිකමකි. අනෙක කෘෂිකාර්මික අර්ථ ක්‍රමයේ ගොඩ ගොවිතැන සහ මඩ ගොවිතැන ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කළේය. මෙවැනි හේතූන් මත වතුවල කම්කරුවෙකු ලෙස සේවය කිරීමට සිංහල ජනයා ප්‍රතික්ෂේප කිරීමත් අඩු වැටුප් මත වැඩි සේවයක් ලබා ගැනීමේ හැකියාව මත බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන්දීය දෙමළ ජනයා වතුවල වැඩට ඉන්දියාවේ සිට රැගෙන ආවෝය. දත් මැදලා දමන දැහැටි දඬු මෙන් ඔවුන්ගේ සේවය උපරිමයෙන් ලබාගෙන පැත්තකට ඇද දැමීමේ ප්‍රතිපත්තිය මිස කිසිදු අයිතියක් හිමි නොවූ පිරිසක් ලෙස ඔවුහු වතුවල සේවය කළ පසුබිමක පැරණි වමේ ව්‍යාපාරයෙන් ඔවුන්ට නව පණක් ලබාදීමට ක්‍රියා කළේය.

එහිදී මුල්ඔය වතු කම්කරු සටන ආදිකොටගත් වතු වෘත්තීය සමිති හරහා ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනීම ආරම්භ කළේ ලංකා සමසමාජ පක්ෂය බව අමතක නොකළ යුතුය. සිරිමා ශාස්ත්‍රි ගිවිසුම යටතේ වුවද සිදු වූයේ සියලු දෙනා ඉන්දියාවට පිටත්කර හැරීම නොව කොටසකට පුරවැසිකම ලබාදෙන අතරේ තවත් කොටසක් ඉන්දියාවට පිටත් කර හැරීම පමණෙකි. විශේෂයෙන් 1955දී බදුරලියේ මොහොමදියාවත්තේ කම්කරු සටන පවා අනිල් මුණසිංහයන් ආරම්භ කළේ වතුකම්කරුවාට සිය අයිතිවාසිකම් රැකදීමටයි. 1972දී එවකට වැවිලි කර්මාන්ත ඇමැතිවරයා වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ යෝජනාවකට අනුව වතු පාසල් ජනසතු කිරීම ආරම්භ කළේ ද වතු දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමටය.

වතු වෘත්තීය සමිති යනු ද ධන උල්පතකි. මුට්ටි කාසි යනුවෙන් හඳුන්වන මෙම මුදල්වලින් වතු මිලටගත් වෘත්තීය සමිති නායකයෝ ද සිටිති. ඔවුන් ක්‍රියා කළේ වතු කම්කරුවාගේ අයිතිවාසිකම්වලට වඩා ඔවුන්ගේ දේශපාලන ඕනෑ එපා කම් සඳහා බව දන්නෝ දනිති. 1977 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සියලුම වතු කම්කරුවන්ට ඡන්ද අයිතිය ලබා දුන්නේ මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවේ යන සංකල්පයට අනුවයි. එය එජාපයේ 17 වසරක දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් ඉතාම පහත් අයුරින් යොදවා ඇතැම් පුවත්පත්වලින් 'රජුන් තනන්නා' යනුවෙන් විරුදාවලිය ලබන්න තරම් එය ප්‍රබල සාධකයක් කළේය.

1992 වසරේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මේ සියලුම වතු පෞද්ගලිකරණය කරද්දී මහා වෘත්තීය සමිති නායකවරු ඇමැතිවරු කසාය බිවූ ගොළුවන් සේ මුනිවත රැක්කහ. වතු කම්කරුවන් වෙනුවෙන් හඬ නඟන්න කිසිවෙකු සිටියේ නැත. කොටගල ප්ලාන්ටේෂන්, වටවල ප්ලාන්ටේෂන්, නමුණුකුල ප්ලාන්ටේෂන්, ඇල්පිටිය ප්ලාන්ටේෂන් බවට මේ සියලු වතු පත්වෙද්දී මීක් නොගෑවේ ප්‍රේමදාසගේ කුරිරු හස්තයට ඇති බිය නිසාය. වෘත්තීය සමිති නායකවරුද එම ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් වූ නිසාය. රාජ්‍ය වැවිලි සංස්ථාව ඉතාම ලස්සනට පිළිවෙළට නිසි කළමනාකාරීත්වයෙන් තබාගත් ලාභ ලබන වතු කුණු කොල්ලයට ප්‍රේමදාස මහතාගේ ගජ මිතුරන්ට ලබාදීම වතු ආර්ථිකයට කණකොකා හැඬූ ඉතාම සංවේගජනක සිද්ධිය විය. වතු සමාගම්කරුවන්ට ලැබුණේ ධන උල්පතකි. බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ කාලයේ පටන් වතු බංගලාවල තිබූ වටිනා භාණ්ඩ අතුරුදන් කළේය. වතුවල තිබූ වටිනා විශාල රූස්ස ගස් කපා බිම හෙළමින් මුදල් බවට පත් කළේය. සමහර වතු බංගලාවල පැවැති ඉපැරණි අකුණු සන්නායක පවා අතුරුදන් වූ අවස්ථා එමට ඇත. රාජ්‍ය අංශයෙන් ශක්තිමත් කළ වතු ආර්ථිකය ප්‍රේමදාස යුගයේ විනාශයට පත් කළේ සිත් පිත් නැති මෘගයන් සේය. වසා දැමූ තේ කර්මාන්තශාලා ප්‍රමාණය ඉතා ඉහළය. ඒවායේ තිබූ යන්ත්‍රසූත්‍ර පවා විකුණා දැමුවේ වතු සමාගම්කරුවන්ට රිසි අයුරිනි.

වතු පෞද්ගලිකරණය කිරීමෙන් වතු සමාගම්වලට එහි කළමනාකාරීත්වය හිමිවීමෙන් වතුකම්කරුවන්ට සිදු වූ සෙතක් නැත. හැටන්, තලවකැලේ, නුවරඑළිය වැනි පළාත්වල ඉතාම ලස්සනට තිබූ තේ වතු අද කැලෑවට ගොස් ඇති අයුරු දකින්නට ඇත. වර්තමානයේ ප්‍රධාන තේ වගාකරුවා බවට පත්ව ඇත්තේ කුඩා තේ වතු හිමියන්ය. කුඩා තේ වතු හිමියන්ගෙන් ලැබෙන අමු දලු තේ කර්මාන්තශාලා හිමියන් මිල දී ගෙන තේ කර්මාන්තය පවත්වාගෙන යන්නේය. විශේෂයෙන් නැවත තේ වගාව සිදු නොකිරීම හේතුවෙන් විශාල වතුවල තේ වගාව දැඩි අර්බුදයකට ලක් විය. තේ වගාව නිසා මධ්‍යම කඳුකරයේ සිදු වූ සෝදාපාළුව දැඩි විය. නිසි කානු පද්ධතිය ඇති කර තිබුණත් අහසින් වැටෙන ජලය රඳා පැවැතීම හේතුවෙන් කාලාන්තරයක් තිස්සේ ඇති වූ දැඩි සෝදාපාළුව නායයෑමක් දක්වා වර්ධනය විය. බුලත්කොහුපිටිය සාමසර කන්ද නායයෑම, හපුතලේ බලන්ගොඩ, තලවකැලේ පාරවල් පවා මේ පස් කඳු කඩා වැටී නායයෑමට ලක් වූ බව මීට කදිම නිදසුන්ය. එහෙත් මෙවැනි ඛේදවාචකයන්වලට කිසි දිනෙක විසඳුමක් ද නොමැතිවීම කනගාටුවට කරුණකි. වතු සමාගම්කරුවන් තේ වගාවට වඩා ආදායම් සෙවීමට පුළුවන් බව පවසා ඇති කළ කටුපොල් වගාව පරිසරයට සිදු කරන විනාශය ඉතා විශාලය. ජල මූලාශ්‍රය විනාශ කරමින් පස නිසරු කරමින් වැඩෙන කටුපොල් ගස තේ වගාවට වඩා බෙහෙවින් හානිදායකය.

 

දහසේ වැටුප

ප්‍රේමදාස මහතා විසින් පෞද්ගලිකරණය කරන ලද වතු සමාගම්කරුවන් කම්කරුවන්ට මාසිකව දීමට පොරොන්දු වූ රුපියල් දාහක (1000) දෛනික වැටුප පවා ලබාදීමට අදිමදි කරති. වර්තමාන රජය ජනතාවට වගකිවයුතු රජයක් වශයෙන් වතුකම්කරුවන්ට රුපියල් දාහක වැටුප ලබාදීමට සෘජුවම මැදිහත් වූ බව නොරහසකි. වතු හාම්පුතුන්ගේ ක්‍රියා කලාපයෙන් අසරණ වතුකම්කරුවාට හිමි රුපියල් දාහක වැටුප පමා වී ඇත. අවුව වැස්ස නොබලා විශාල කඳුවල නඟිමින් තේ දලු නෙළන කතුන් මෙන්ම තේ ගස් අවට සුද්ධ කරමින් සේවයේ නිරත වී සිටින පිරිමි කම්කරුවන් මේ මහා පොළො‍ව මත හෙළන දහදියවලට සාධාරණය ඉටු කිරීම වතු හාම්පුතුන් සතු වගකීමකි.

වර්තමාන ආණ්ඩුව වතු කම්කරුවන් වෙනුවෙන් කළ යුතු මෙහෙවර ඉටු කිරීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිරතුරුවම ප්‍රකාශ කළේය. විශේෂයෙන් වතු කම්කරු ජනතාව ජීවත්වන ඉතා ප්‍රාථමික තත්ත්වයේ ඇති ලැයිම් කාමර වෙනුවට පර්චස් 7ක ඉඩමක හොඳ තත්ත්වයේ නිවෙසක් උරුමකරදීම රජයේ අපේක්ෂාවයි. ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, නළ ජලය, විදුලිය ඇතුළු පහුසකම් ඒ නිවස තුළ ස්ථාපිත කර ඇත. වතුවල සිටින තරුණ පිරිසට ස්වයංරැකියා සඳහා ණය යෝජනා ක්‍රමයක් ද ඇති කොට තිබීම ඔවුන්ගේ ජන ජීවිතය ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට දෙන මහඟු අත්වැලකි.

විශේෂයෙන් වතු පාසල් අංග සම්පුර්ණ පාසල් බවට පත් කිරීම අගය කළ යුත්තකි. නවීන ලෝකයට අවශ්‍ය පරිගණක තාක්ෂණය ද එයට ඇතුළත් කොට ඇත.

 

කම්කරු සුබසාධනය

වතු කම්කරු ජනයාගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට වතු ඩිස්පෙන්සරි වතු රෝහල් බවට පත් කොට ඇත. පළාත් සභාවෙන් නොව මධ්‍යම රජයෙන් පාලනය වන රෝහල් බවට වතු රෝහල් පත් ‍කරන බව සෞඛ්‍ය ඇමැතිවරිය වරෙක ප්‍රකාශ කළාය. වත්තට වතු ලැයිම් කාමරයට සීමා වී ඇති වතු කම්කරුවන්ගේ ජන ජීවිතය ශක්තිමත් කිරීමට වර්තමාන ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කළ යුතුය. විශේෂයෙන් වතුවල ජීවත් වන වර්තමාන තරුණ පරපුරටත් ළමා පරපුරටත් අධ්‍යාපනයෙන් ඉහළට යෑමට ඇති අවස්ථාව ඔවුන්ට මේ රජයෙන් උරුම කර දී ඇති මහඟු අවස්ථාවකි. වතු කම්කරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීමට වතු රෝහල් ඇති කිරීමෙන් නීරෝගි වතු කම්කරුවන් පිරිසක් බිහිවීම තුළින් අපේ රටේ වතු ආර්ථිකය ශක්තිමත් කිරීමට පුළුවන. වතු කම්කරු ජනයාට ස්වයංරැකියා සඳහා ණය යෝජනා ක්‍රමයක් ඇති කිරීමෙන් ඔවුන්ගේ පවුලේ සමෘද්ධියට ආණ්ඩුවෙන් ලබාදෙනුයේ ප්‍රබල දායකත්වයකි. හෙට දිනයේ වතු කම්කරුවාගේ ජන ජීවිතය සුඛිත මුදිත ජන ජීවිතයක් බවට පත් කිරීම වර්තමාන ආණ්ඩුවේ ඒකායන පරමාර්ථයයි.

 

නව අදහස දක්වන්න