පොසිටිව් වූ මළසිරුරට යළි පීසීආර් ඉල්ලූ පෙත්සම ඉවතට | දිනමිණ

පොසිටිව් වූ මළසිරුරට යළි පීසීආර් ඉල්ලූ පෙත්සම ඉවතට

නෙල්කා මැදගෙදර

මිය ගිය පසු කළ පීසීආර් පරීක්ෂණයකින් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ යැයි කියන සිය පුතුගේ මෘත දේහය නැවත පීසීආර් පරීක්ෂාවකට ලක් කරන ලෙස ඉල්ලා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පියකු ගොනු කළ රිට් පෙත්සමෙහි වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය එම පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට ඊයේ (18) තීරණය කළේය.

පෙත්සම සම්බන්ධ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරු විසින් මේ බව ප්‍රකාශ කරන ලදි.

මොහොමඩ් ඊබ්‍රා ලෙබ්බෙ මොහොමඩ් හකීම් විසින් මේ පෙත්සම ගොනු කර තිබුණි.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා, එහි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සෞඛ්‍ය ඇමැතිවරිය ඇතුළු පස් දෙනකු මෙහි වගඋත්තරකරුවෝ වෙති.ඉතා නිරෝගීව සිටි 26 හැවිරිදි සිය පුතු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉකුත් ජනවාරි 31වැනිදා හදිසියේ මිය ගිය බව දැන ගත් බව පෙත්සම්කරු කියයි.එම මෘත ශරීර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තබා ඇති බව පෙත්සම්කරු කියයි.

පසුව මෘත දේහයට කළ පීසීආර් පරීක්ෂණ අනුව ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවට කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ රෝහල් බලධාරීන් පැවසූ බව පෙත්සම්කරු සඳහන් කර ඇත.

 

නව අදහස දක්වන්න