කෝටි 143ක වංචා සිද්ධිය: ක්‍රිකට් විචාරක බ්‍රයන්ට ඇප | දිනමිණ

කෝටි 143ක වංචා සිද්ධිය: ක්‍රිකට් විචාරක බ්‍රයන්ට ඇප

සිරන්ජනි කුමාරි

කෝටි එකසිය හතළිස් තුනක මුදල් වංචාවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ (18) නියෝග කළේය.

රුපියල් 25,000ක මුදල් හා ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදෙස් ගමන් තහනම් කළේය.

ව්‍යාපාරිකයකු වන දිනේෂ් සාෆ්ටරි මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පසුගිය 2019 මාර්තු මස 20 වැනි දින කරනු ලැබූ පැමිණිල්ලක් මත මේ විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ප්‍රසිද්ධ නිමි ඇඳුම් සමාගමක ආයෝජනය කිරීමට අතරමැදියකු වශයෙන් සිටිමින් පැමිණිලිකරුගෙන් රුපියල් කෝටි එකසිය හතළිස් තුනක මුදලක් වංචා කළ බව එම පැමිණිල්ලේ සඳහන්ය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ අසෝක වීරසූරිය මහතා පෙනී සිටිමින් සඳහන් කළේ පැමිණිලිකාර ආයතනය යම් යම් ව්‍යාපෘතීන් සඳහා ආයෝජන කරන බවත් ඒ අනුව මේ සැකකරු දැන හඳුනාගෙන ප්‍රසිද්ධ රෙදි පිළි ආයතනයක නිමි ඇඳුම් ගෙන් වන අතරමැදියකු ලෙස කටයුතු කරන බව දැනුම් දීමෙන් පසු ඔහු සමඟ සම්බන්ධ වී කටයුතු කළ බවය.‍

ඒ අනුව කෝටි සියයකට අධික මුදලක් මේ සැකකරු විසින් පැමිණිලිකරුට වංචා කර ඇති බව නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

සැකකරු 1996 දී ද ක්‍රීඩකයන් පිරිසකගෙන් විවිධ හේතු මත මුදල් අය කර ගෙන වංචා කර ඇති බවත් කූට ලේඛන පෙන්වා පුද්ගලයන් 15කගේ පමණ මුදල් වංචා කර ඇති බවත් මේ සැකකරු පිළිබඳ වෙනත් අධිකරණයකද නඩුවක් පවතින අතර මොහුට හැඳුනුම්පත් දෙකක්ද ඇති බව නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු අනාවරණය කළේය.

එසේම සැකකරු පිළිබඳ තව දුරටත් විමර්ශන කරන අතර සැකකරුව ඇප පනතේ 14 වගන්ති ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇප දීමට විරුද්ධ විය.

සැකකරු මේ වන තෙක් විමර්ශන සඳහා සහාය දී ඇති බැවින් ඔහු කිසි විටෙකත් අධිකරණය මඟ නොහරින බවත් ඔහුගේ වයස හා කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන සුදුසු ඇපයක් නියම කරන මෙන් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප දීමට නියෝග කළේය.

නව අදහස දක්වන්න