වන්නියලැත්තන්ගේ පෙත්සම මාර්තු 5 සලකා බැලේ | දිනමිණ

වන්නියලැත්තන්ගේ පෙත්සම මාර්තු 5 සලකා බැලේ

නෙල්කා මැදගෙදර

දිනමිණ හෙළි කළ රඹකැන්ඔය ඉඩම් පැවරීම:

මහියංගණය රඹකැන්ඔය ආශ්‍රිත වනාන්තරයේ ඇති සිය පාරම්පරික නිජ භූමියට අයත් අක්කර පන්දහසකට අධික ඉඩම් ප්‍රමාණයක් මහවැලි සංවර්ධන අධිකාරියට පවරාගෙන බඩ ඉරිඟු වගා කිරීම සඳහා මහා පරිමාණ පෞද්ගලික සමාගම්වලට දීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ ඇතුළු තිදෙනකු ගොනු කළ රිට් පෙත්සම ලබන මාර්තු මස 05 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (19) තීරණය කළේය.

මේ රඹකැන් ඔය ආශ්‍රිත වනානත්රයේ ඇති ආදි වාසීන්ගේ පාරම්පරික නිජ බිම් මහා පරිමාණ පෞද්ගලික සමාගම්වලට බඩඉරිඟු වගා කිරීම සඳහා පවරා ගැනීම සම්බන්ධයෙන් මුල් වරට කරුණු අනාවරණය කරන ලද්දේ දිනමිණ පුවත්පත මඟිනි.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔවුන් වෙත නොතිසි නැවත දන්වා යවන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියම කෙරිණ.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන් හමුවේ මේ පෙත්සම කැඳවනු ලැබිණි.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඩී. හේමන්ත සිසිර කුමාර මහතා මෙහි සෙසු පෙත්සම්කරුවෝ වෙති.

මධ්‍යම පරිසර අධිකාරිය, එහි අධ්‍යක්ෂ ජෙනරාල් පී. බී. හේමන්ත ජයසිංහ, මහවැලි සංවර්ධන අධිකාරිය, එහි අධ්‍යක්ෂ ජෙනරාල් බී. ඒ. සුනිල් එස් පෙරේරා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, වන ජීවී දෙපාර්තමේන්තුව, එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

මෙරට ආදිවාසි ජනතාව සිය ජීවිකාව සපයා ගැනීම සඳහා පොල්බැද්ද රඹකැන් ඔය ආශ්‍රිතව ඇති වනාන්තරය භාවිත කරන බව පෙත්සමෙහි සඳහන් වේ.නීති විරෝධී ලෙස මහා පරිමාණයෙන් වනාන්තරය එළි පෙහෙළි කර මෙලෙස දීම වන සංරක්ෂණ පනත සහ වෘක්ෂ සහ තුරුලතා ආඥා පනත උල්ලංඝනය කිරීමක් බවද පෙත්සමෙහි සඳහන් වේ. මේ කටයුත්තේදී අලිමංකඩ එළිපෙහෙළි කිරීමක්ද සිදු වන අතර අලින්ට එහා මෙහා යෑමට බාධක ඇති වීම නිසා වන අලි ගම් වැඳීමේ අවදානමක් ඇති බවද පෙත්සම මඟින් පෙන්වා දී ඇත.

 

නව අදහස දක්වන්න