‘මියන් කුමාර‘ ඇත් පැටවා මුදාහරින්නැයි පෙත්සම සලකා බැලීම මාර්තු 5 දාට | දිනමිණ

‘මියන් කුමාර‘ ඇත් පැටවා මුදාහරින්නැයි පෙත්සම සලකා බැලීම මාර්තු 5 දාට

බෙල්ලන්විල රාජ මහා විහාරයට මියන්මාර් රජයෙන් පරිත්‍යාග කරන ලද ‘මියන් කුමාර‘ නම් ඇත් පැටවා නැවත කැලයට මුදාහැරීමට යටත්ව උඩවලව අලි අනාථාගාරයට බාර දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් මාර්තු මස පස් වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (22) තීරණය කළේය.

එම ඇත් පැටවාට කෲර ලෙස වධ හිංසා පැමිණවීම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි. එහිදී වගඋත්තර කාර පාර්ශ්වයට නැවත නොතීසි දන්වා යවන ලෙස පෙත්සම්කරු ට අධිකරණය නියම කළේය. විනිවිද පෙරමුණේ මහ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරිය බණ්ඩාර, පොලිස්පති චන්දන වික්‍රමරත්න, බෙල්ලන්විල රජ මහ විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හිමි මෙහි වගඋත්තරකරුවෝ වෙති.

මියන්මාර් රජය විසින් 2013 වසරේ දී මියන් කුමාර නම් ඇත් පැටවා බෙල්ලන්විල රජ මහ විහාරයට පරිත්‍යාග කළ බව පෙත්සම්කරුවෝ කියති.

කුඩා අවධියේ පටන් කෲර වධ හිංසාවලට ලක් වූ එම ඇත් පැටවා 2018 වසරේ දී එවකට සිටි විහාරාධිපති හිමියන්ට පහර දුන් බව මාධ්‍ය මගින් වාර්තා වූ බව පෙත්සමෙහි සඳහන් වේ.

මෙම ඇත් පැටවාට හින්සා කරන අයුරු දැක්වෙන වීඩියෝ පට ලොව පුරා ඇති අතර එය මෙරට කීර්ති නාමයට ද හානියක් බව පෙත්සම් කරු කියයි. මේ පිළිබඳ විරෝධය එල්ල කිරීමෙන් පසුව රඳවා සිටි ස්ථානයෙන් එම ඇත් පැටවා ඉවත් කර වෙනත් ඇත් පැටවකු එහි රඳවා ජනතාව රැවටීමට උත්සාහ කරන බව ද පෙත්සමෙහි සඳහන් වේ.

මෙම ඇත් පැටවාට කෲර ලෙස වධ හිංසා පැමිණවීම වැළැක්වීමට සියලු දෙනා පියවර ගත යුතු බව සඳහන් කරන පෙත්සම් කරු ඒ වෙනුවෙන් මෙම පෙත්සම ඉදිරිපත් කළ බව පවසයි.

එබැවින් ඉතිරි ජීවිත කාලය නිදහසේ ගත කිරීමට සුදුසු අවස්ථාවේදී කැලයට මුදාහැරීමට යටත් ව උඩවලව අලි අනාථාගාරයට මෙම ඇත් පැටවා බාර දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බල කෙරෙන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත.

නව අදහස දක්වන්න