කොදෙව් යන්න ඔන්න මෙන්න තිබියදී වේග පන්දු යවන ළහිරු කුමාරට කොරෝනා | දිනමිණ

කොදෙව් යන්න ඔන්න මෙන්න තිබියදී වේග පන්දු යවන ළහිරු කුමාරට කොරෝනා

සුරංග ලක්මාල් කණ්ඩායම ඇතුළට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට කොරෝනා වයිරසය ආසාදනය වෙයි. අද අලුයම ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා කටුනායක ගුවන් තොටුපොලෙන් පිටත්ව ගිය අතර, ඊයේ දිනයේ ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාව අනුව ළහිරු කුමාරට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන ගියේය.

කොදෙව් බලා යෑමට සිටි ළහිරු කුමාර වෙනුවට ශ්‍රී ලංකා වේග පන්දු බල ඇණියට සුරංග ලක්මාල් එක් කිරීමට අවසන් මොහොතේ තීරණය විය.

කොරෝනා ආසාදනයවූ ළහිරු කුමාරගෙන් සමීප ආශ්‍රිතයකු වාර්තා නොවන අතර, ශ්‍රී ලංකා පිලේ අනෙකුත් සියලු ක්‍රීඩකයන්ගේ පීසීආර් පරීක්ෂණ වාර්තා යහපත් මට්ටමක තිබී ඇත.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පැය 72කට පෙර ක්‍රීඩකයන්ට හා සියලු නිලධාරීන්ට පීසීආර් පරීක්ෂණ කිරීමට පියවර ගෙන තිබූ අතර, එම වාර්තා ලැබුණු පසු ළහිරු කුමාරට කොරෝනා වයිරසය ආසාදනය වූ බව දැනගන්නට ලැබී තිබිණි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඇන්ටිගුවාහී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩකයින් 18කගෙන් යුත් සංචිතයක් තෝරාගෙන තිබූ අතර, එයට ළහිරු කුමාර ඇතුළත්ව සිටියද සුරංග ලක්මාල් ඇතුළත්ව නොතිබුණි.

කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා පිල මුලින්ම විස්සයි 20 තරග 3ක් ක්‍රීඩා කරන අතර, එම තරග මාර්තු 3, 5 සහ 7 යන දිනවල ඇන්ටිගුවා හි කූලිජ් ක්‍රිකට් පිටියේදී පැවැත්වේ.

අනතුරුව එක්දින තරගාවලිය ඇන්ටිගුවා නෝර්ත් සවුන්ඩ් හී සර් විවියන් රිචර්ඩ් ක්‍රීඩාංගණයේදී මාර්තු 10, 12 සහ14 දිනවල පැවැත්වෙන අතර, ටෙස්ට් තරග දෙක මාර්තු 21 සහ මාර්තු 29 දිනවලදී ඇන්ටිගුවා ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

කොරෝනා තර්ජනය හේතුවෙන් ඇන්ටිගුවා හි ජෛව සුරක්ෂිත පරිසරය යටතේ කණ්ඩායම් දෙකම ක්‍රීඩා කරනු ඇත.

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න