ක්‍රීඩාවේ අභිවෘද්ධියට දායකත්වය ලබා දෙනවා දේශීය බැඩ්මින්ටන් පිටියෙන් සමු ගනිමින් නිලූක කියයි | දිනමිණ

ක්‍රීඩාවේ අභිවෘද්ධියට දායකත්වය ලබා දෙනවා දේශීය බැඩ්මින්ටන් පිටියෙන් සමු ගනිමින් නිලූක කියයි

මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස වසර 17ක් ජාතික ශූරතාව දිනා ගත් සුපිරි ක්‍රීඩක නිලූක කරුණාරත්න පෙරේදා නිමාවට පත් වූ 68 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ඒකල විවෘත ශූරතාවත්, සිය බාල සොයුරු දිනුක කරුණාරත්න සමග එක්ව පිරිමි යුගල ශූරතාවත් දිනා ගැනීමෙන් පසු දේශීය බැඩ්මින්ටන් ක්‍රීඩාවට සමු දුන්නේය.

වසර 17ක් ජාතික ශූරයා ලෙස ඔහුගේ ආධිපත්‍යයට අභියෝග කිරීමට කිසිදු ක්‍රීඩකයකු සමත් නොවූ අතර, ඉතා ගෞරවාන්විතව සහ ආත්ම අභිමානයෙන් යුතුව දේශීය බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිලූක කරුණාරත්න ‘දිනමිණ‘ට ප්‍රකාශ කළේය.

‘ඇත්තටම මගේ බලාපොරොත්තුව වුණේ මේ අවුරුද්දේ අන්තිමට පැවැත්වෙන ජාතික ශූරතාවලියෙන් පස්සේ සමුගන්නයි. ඒත් පෙරේදා ජාතික ශූරතාව දිනාගත්තට පස්සේ මම තීරණය කළා සමුගැනීමට මේ හොඳම අවස්ථාව කියලා. මේක එකපාරටම හිතට ආපු සිතිවිල්ලක්. අනික මගේ බාල සොයුරු චාමිකත් මට කිව්වේ මේක තමයි හොඳම වේලාව කියලා. ‘ නිලූක කීවේය.

‘මම දශක දෙකකට ආසන්න කාලයක් ක්‍රීඩකයකු විදිහට ජාතික බැඩ්මින්ටන් ක්‍රීඩාවට විශාල දායකත්වයක් ලබා දුන්නා. අපේ රටේ බැඩ්මින්ටන් ක්‍රීඩාව අන්තර්ජාතික තලයට රැගෙන ගියේ මමත්, මගේ බාල සොයුරු දිනුක ඇතුළු කරුණාරත්න පවුලේ සාමාජිකයන්. ඔලිම්පික් ක්‍රීඩා උලෙළ දක්වා මම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික ගෞරවය ලබා දුන්නා.‘ ඔහු සඳහන් කළේය.

මෙරට බැඩ්මින්ටන් ඉතිහාසයේ වැඩිම අන්තර්ජාතික පදක්කම් ප්‍රමාණයක් දිනා ගත් එකම ක්‍රීඩකයා වන නිලූක අන්තර්ජාතික බැඩ්මින්ටන් තරග බිමේ රන් පදක්කම් 9ක්, රිදී 8ක් සහ ලෝකඩ 4ක් සමග දිනාගත් සමස්ත අන්තර්ජාතික පදක්කම් සංඛ්‍යාව 21කි. මීට අමතරව මෙරට ඕනෑම ක්‍රීඩාවකින් මහාද්විප 5දීම රන් පදක්කම් දිනාගත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද ඔහුය. සාෆ් තරග බිමේ රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ද ඔහු සමත් විය. වසර 2012 සැප්තැම්බරයේ සිට 2014 අප්‍රේල් දක්වා ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 34 වැනි ස්ථානයේ රැඳී සිටිමින් එවැනි ගෞරවයක් දිනූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසත්, වසර 4ක් ලොව පළමු බැඩ්මින්ටන් ක්‍රීඩකයන් සිය දෙනා අතර සිටි එකම ශ්‍රී ලංකික ක්‍රීඩකයා ලෙසත් ඔහු වාර්තාපොතට එක්වී සිටී. වසර 2006 මෙල්බර්න් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ දී එවකට ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 18 වැනි ස්ථානයේ පසුවූ ක්‍රීඩකයා පරාජය කරමින් අවසන් ක්‍රීඩකයන් අටදෙනා අතරට පිවිසි නිලූක ලොව පළමු 20 අතර සිටි ක්‍රීඩකයන් සිව්දෙනකු පරාජය කිරීමට සමත් වූ ක්‍රීඩකයෙකි.

අවුරුදු 16දී ජාතික බැඩ්මින්ටන් ශූරතාව දිනා ගනිමින් එම දස්කම පෑ ළාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තාපොතට එක්වූ නිලූක පෙරේදා 17 වැනි වරට ජාතික ශූරයා බවට පත්වූයේ 36 හැවිරිදි වියේදීය. ඒ අනුව මෙරට ජාතික බැඩ්මින්ටන් ශූරතාව දිනාගත් වැඩිමල්ම ක්‍රීඩකයා ලෙසත් ඔහු තවත් වාර්තාවක් පිහිටුවීය.

එළැඹෙන ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කිරීමේ අවස්ථාව ලබා ගැනීමේ අරමුණින් පසුවන 36 හැවිරිදි නිලූක ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉහළම දායකත්වය ලබාදෙමින් රටට සේවය කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න