අපට තිබෙන්නේ පාස්කු දා ප්‍රහාරය ගැන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමණයි | දිනමිණ

අපට තිබෙන්නේ පාස්කු දා ප්‍රහාරය ගැන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමණයි

ඇමැති චමල් රාජපක්ෂ

'නිකන් බොරුවට කෑ ගහලා ඇති වැඩක් නෑ. මේක ගිය ආණ්ඩුවෙන් කළ මඟුලක්. මේ පාස්කු දා ප්‍රහාරය සිදු වුණේ ගිය ආණ්ඩුව කාලයේ. අපට තිබෙන්නේ ඒ පිළිබඳව සොයා බලා නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමණයි.' යනුවෙන් වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (21) හම්බන්තොට සිංගප්පූරු ශාලාවේ 'සිව් දෙස සුරැකි සිව් වසර' මැයෙන් පැවති තිස්සමහාරාම ආසනයේ තරුණ නියෝජිත සම්මේලනයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

'අද බොහෝ දෙනකුට අමතක වෙලා මේ පාස්කු දා ප්‍රහාරය ඇති වුණේ කාගේ කාලයේ ද කියලා. අද අපේ කාලයේ අප කළ දෙයක් වගේ අපට බණිනවා. මේ වන විට මේ සම්බන්ධයෙන් වන වාර්තාවක් ඇවිත් තිබෙනවා. ඒ ලැබී තිබෙන වාර්තාව පිළිබඳව සොයා බලා කටයුතු කරන්න පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කර තිබෙනවා. මා එම කමිටුවේ සභාපතිවරයා. තවම මේ වාර්තාව අප අතට පත් වෙලා නෑ. පළමුවෙන්ම මේක කියවා බලන්න ඕනෑ. පාර්ලිමේන්තුවට පිටපත් තුනක් ඉදිරිපත් කරන්න ඕනෑ. මෙතැන රජයට කරන්න වැඩ කොටසක් තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවටත් කරන්න වැඩ කොටසක් තිබෙනවා. මේ සියල්ල පිළිබඳව අවධානය යොමු කිරීම කළ යුතුයි. රජය පැත්තෙන් අපට තිබෙන්නේ මේ සම්බන්ධයෙන් සාක්ෂි විමසීමේදී මොකද වුණේ ආදී කරුණු පිළිබඳව සොයා බලා ගත යුතු කරුණු ගෙන බැහැර කළ යුතු කරුණු තිබේ නම් ඒවා බැහැර කිරීමයි. මේ සියල්ල කරන්න අපට තිබෙන්නේ දින 15ක් විතරයි. ඒ නිසා රජය පැත්තෙන් කළ යුත්තේ කුමක්ද කියන කාරණය විතරයි අප සොයා බලන්නේ. නීතිය පැත්තෙන් විය යුතු සියල්ල බලන්නේ නීතිපති දෙපාර්තමේන්තුව.

මෙහිදී අගරදගුරුතුමන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එතුමන්ට සාධාරණ හේතුවක් තිබෙනවා මේ ගැන කතා කරන්න. මොකද එතුමාගේ ආගමේ විශාල පිරිසක් මේ ප්‍රහාරය නිසා මිය ගිහින් තිබෙනවා. ආබාධිත වෙලා තිබෙනවා. මේ සිදු වීම වෙලා දැන් අවුරුදු දෙකක් විතර. විවිධ කොමිෂන්වල කතාබහ වෙනවා මිසක් තවම ඒක කළ අයට කිසිදු දඬුවමක් දී නෑ. මැරිච්ච අයට තවම වන්දියක් ලැබී නෑ. මේ නිසා උන් වහන්සේට ලොකු වේදනාවක් තිබෙනවා. ඒ වගේම කියන්න ඕනේ උන් වහන්සේ කිව්ව ආකාරයට මේ වාර්තාවේ තිබෙන දේවල් හංගන්නවත් යටගහන්නවත් නොවෙයි මේ කමිටුවක් පත් කර තිබෙන්නේ. මේ කමිටුවෙන් බලාපොරොත්තු වෙන්නේ රජය පාර්ශ්වයෙන් මොනවාද කරන්න තිබෙන්නේ කියන දේ සොයා බැලීමයි.'

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත, අජිත් රාජපක්ෂ, වෛද්‍ය උපුල් ගලප්පත්ති මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයෝ ද එක්ව සිටියහ.

සුරියවැව විශේෂ - නුවන් ජයසේකර

නව අදහස දක්වන්න