රටට අවශ්‍ය ජනතාවත් මාතෘ භූමියත් දිනවන ආණ්ඩුවක් | දිනමිණ

රටට අවශ්‍ය ජනතාවත් මාතෘ භූමියත් දිනවන ආණ්ඩුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක

තවදුරටත් මේ පාලනය සහ පාලකයන් ගැන කතා කිරීමෙන් පලක් නෑ. දැන් අවශ්‍ය වී තිබෙන්නේ ජනතාවත් මාතෘ භූමියත් දිනවන ආණ්ඩුවක් හදා ගැනීමයි. රටට දැන් අවශ්‍ය වෙලා තිබෙන්නේ ජාතික මැතිවරණයක්.' යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ පසුගියදා 20 නුගවෙලදී පැවති සංවාදශීළී සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද කීය.

'වසර 77ක පැරණි යුගය අවසන් කර නව යුග පෙරළියක් අපේ රටට අවශ්‍යයි. කුඩා කුඩා ප්‍රතිසංස්කරණවලින් එක එක නායකයන්, මැජික්කරුවන්, ඉන්ද්‍රජාලිකයන් ගෙනත් මේ රට ගොඩ ගන්න බෑ. ජනතාව වසර 73ක්ම බලාගෙන සිටියේ ඉන්ද්‍රජාලික­‍ෙයක් ඇවිත් මේ රට හදයි කියලා. අපට මතකයි 88/89 ප්‍රේමදාස මහත්තයා ආවා දුප්පතාගේ හිතවතා කියලා. ඒ නව ඉන්ද්‍රජාලිකයා අපේ රට ගොඩ ගනියි කියලා බලාපොරොත්තු වුණා. අසාර්ථකයි. 1994 නැවත ඉන්ද්‍රජාලිකාවක් ගෙනාවා විහාරමහා දේවි කියලා. රට බේරා ගනීවි කියලා හිතුවා. 2005දී අපේක්ෂා කළා ගිරුවාපත්තුවේ ඉපදිලා වෙල් ඉපනැල්ලේ හුළං වැදුණු නායකයෙක් ඇවිත් අපේ රට හදයි කියලා. 2015 ජනතාව අපේක්ෂා කළා තවත් අලුත් වර්ගයේ ඉන්ද්‍රජාලිකයෙක්. පොළොන්නරුවෙන් ඇවිත් ඔහුගේ දියණිය කියන පරිදි මහ පොළොවෙන් උපන් මිනිසා. ජනතාව අපේක්ෂා කළා ඇවිත් රට හදයි කියලා. වසර පහක් යන විට ඔහුගේ පාලනය ද ඔහුගේ කෙරුවාව ද ඔප්පුවී හමාරයි. ඊට පසුව 2019 අපේක්ෂා කළා වැඩ කරන විරුවා ඇවිත් රට හදයි කියලා. රටේ ජනතාව අසරණයි.

අපේ රටේ දේශපාලනය කියන්නේ අතිශය වරප්‍රසාද ලත් තනතුරක්. දේශපාලනය අතිශය ලාභ ලබන ව්‍යාපාරයක්. ලාභයෙන් ස්ථාවරයි. අනෙක් සෑම ව්‍යාපාරයකින් ලැබෙන ලාභය අවිනිශ්චිතයි. හැබැයි ස්ථාවර විශාල ලාභයක් උපයනවා දේශපාලනයෙන්. එනිසා අපේ රටේ දේශපාලනය ව්‍යාපාරයක්. මේ රට ජයග්‍රහණය කළ හැකි වන්නේ මේ රටේ ව්‍යාපාරයක් බවට පත් වී තිබෙන දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්තනය කිරීමෙන් පමණයි.

මේ රට කොතැනටද මේ පාලකයන් ගෙනි යන්නේ. මෙහෙම දේශපාලන සංස්කෘතියක් ඕනෑද? අපේ රටට අර්බුදයක් ආවාම ඒ අර්බුදයට විද්‍යාත්මක ප්‍රවේශය කියලා දෙන ආණ්ඩුවක් ඕනෑ. අන්න ඒ දේශපාලන පරිවර්තනය අප කරනවා.

ඩෙන්මාර්කයේ මාධ්‍යවේදියෙක් ඇහුවා රටේ අග්‍රාමාත්‍යවරයාගෙන් ඔබ කොවිඩ් එන්නත ගත්තාද කියලා. එවිට අග්‍රාමාත්‍යවරයා කියනවා මා ඉන්නේ ලිස්ට් එකේ ගොඩක් පහළින් කියලා. ඒ වුණාට අපේ අනුපිළිවෙළක් නෑ. ටීම් එකම උඩින්. අප කිවුවේ පාර්ලිමේන්තුව නියෝජනය කළාට එන්නත ගැනීමේද අප ඉන්නේ ගොඩක් පහළින් කියලා. එම නිසයි මා ඇතුළු පක්ෂයේ අය එන්නත ගැනීම ප්‍රතික්ෂේප කළේ. කොවිඩ්වලට දෙන එන්නත වරප්‍රසාදයක් නොවෙයි. මන්ත්‍රීවරුන්ට දෙනවා කියන්නේ ඒක වරප්‍රසාදයක්. සීනි ගනුදෙනුවෙන් කෝටි 1500ක් භාණ්ඩාගාරයට අහිමි වී තිබෙනවා. රටේ ජනතාවගෙන් සියයට හැත්තෑවකට එන්නත මිලදී ගන්න යන්නේ කෝටි දාහයි. සීනි බද්දෙන් විතරක් ඒක දීලා ඉතිරිත් වෙනවා. කෝටි එක්දහස් පන්සියයක් තමන්ගේ ගජමිතුරන් ලබනවා. වැක්සින් එක ගේන්න සල්ලි නෑ කියලා කොඳුරනවා.'

 එස්. ජී. විජේරත්න - කටුගස්තොට සමූහ

නව අදහස දක්වන්න