පාක්ෂිකයන්ට නොසලකා හැරීම එක්සත් ජාතික පක්ෂයේ වත්මන් තත්ත්වයට හේතුවක් | දිනමිණ

පාක්ෂිකයන්ට නොසලකා හැරීම එක්සත් ජාතික පක්ෂයේ වත්මන් තත්ත්වයට හේතුවක්

නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

'පාක්ෂිකයන්ට නොසලකා හැරීමත්, එදා බලය තිබියදී පාක්ෂිකයන්ගේ ප්‍රශ්න කියන්න සිරිකොතේ කිසිවෙක් නොසිටීමත් එක්සත් ජාතික පක්ෂයේ වත්මන් තත්ත්වයට හේතු වුණා. එදා ප්‍රාදේශීය සභා, පළාත් සභා මන්ත්‍රීවරයකුට ඇමැති කෙනෙක් හමුවන්න අවස්ථාව ලැබුණේ නෑ. පාක්ෂිකයන්ගේ මතයට, ඉල්ලීමට සවන් දුන්නේ නෑ. එහි ප්‍රතිඵලය අද පක්ෂයක් ලෙස බුක්ති විඳිමින් සිටිනවා.' යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු බලගැන්වීමට මාතර නූපේ සණස ශාලාවේදී පෙරේදා (21) පැවති පාක්ෂිකයන්ගේ හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද කීය.

'අපේ රජය යටතේ පාක්ෂිකයන්ට අසාධාරණයක් සිදු වුණා. එදා පාක්ෂිකයන්ට අසාධාරණයක් වුණාම ඒ ගැන කතා කරන්න, ඒ ගැන අහන්න කෙනෙක් සිටියේ නෑ. කෙනෙක් ඉදිරිපත් වුණේ නෑ. එදා අපට බලය තිබෙන කාලයේ සිරිකොතට ගියාම පාක්ෂිකයන්ට හමු වෙන්න කෙනෙක් සිටියේ නෑ. මේවා වැරදි. අප එය පිළිගන්න ඕනෑ. ඒ නිසා තමයි පසුගිය මහ මැතිවරණයේදී අපේ පක්ෂයට මේ දේ සිදු වුණේ.

අද ජනතාව මේ ඉදිරිපත් කරන්නේ ඔවුන් මුහුණ දුන් ප්‍රශ්න. ඒවා එදා බලය තිබියදී අහන්න කිසිවෙක් සිටියේ නෑ. ඒවා පිළිබඳ ගණන් ගත්තේ නෑ. පසුව පාක්ෂිකයන් ඒ කලකිරීමෙන් පක්ෂයට පාඩමක් කියා දුන්නා. අප අවංකවම මේ තත්ත්වය තේරුම් ගත යුතුයි. එසේ වුවොත් තමයි පක්ෂය යළි ගොඩනඟා ජනතාවාදී ගමනක් යන්න අවස්ථාව ලැබෙන්නේ.'

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා

'පක්ෂයේ විනයක් නොමැති වීමෙන් එක්සත් ජාතික පක්ෂයට වත්මන් තත්ත්වය උදා වූණා. ඒ නිසයි නායකයාට නියෝජ්‍ය නායකයා විරුද්ධව කටයුතු කළේ. එදා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පවත්වා එළියට ඇවිත් නියෝජ්‍ය නායකයා ඇතුළු කණ්ඩායම ගේට්ටුව ළඟදී මාධ්‍යයට ප්‍රකාශ කළේ මොනවාද? පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන. එයින් පක්ෂයේ විනයට දිගින් දිගටම බාධා එල්ල වුණා. නායකයා විවේචනය කරන්න පටන් ගත්තා.

දැන් අප යළි පක්ෂයක් ලෙස ගොඩනැඟෙමින් ශක්තිමත් වෙමින් ඉන්නවා. පක්ෂයෙන් ඉවත්ව වෙනත් කණ්ඩායම් සමගඟ එක් වූ පිරිස් සඳහා ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගන්නවා. ඇතැම් අයගේ ක්‍රියාකාරකම් පාක්ෂිකයන් පක්ෂයෙන් ඈත් කරන්න හේතු වූණා. ඉදිරියේදී පාක්ෂිකයන්ගේ අදහස්වලට කන් දෙමින් ප්‍රජාතාන්ත්‍රික වැඩපිළිවෙළ කින් පක්ෂය යළි ජයග්‍රාහී මාවතකට ගෙන ඒමට කටයුතු කරනවා.'

ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ

නව අදහස දක්වන්න