පත්තර මහගෙදර නිර්මාතෘ ඩී.ආර්. වි‍ජයවර්ධන 135 වන ජන්ම සමරුව අදයි | දිනමිණ

පත්තර මහගෙදර නිර්මාතෘ ඩී.ආර්. වි‍ජයවර්ධන 135 වන ජන්ම සමරුව අදයි

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නිර්මාතෘ ඩී. ආර්. වි‍ජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 135 වැනි ජන්ම සංවත්සරය අදට (23) යෙදී තිබේ.

සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් රටේ නිදහස ලබාගැනීමට, ජාතික වාත්සල්‍යය සුරැකීමට දේශමාමක දේශප්‍රේමීන් තම මෙහෙය කාර්යක්ෂම ලෙස ඉටුකරද්දී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පත් අරඹා ඒ මඟින් ජාතික චින්තනයක් ඇතිකර රටට නිදහස ලබාගැනීම සඳහා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මහඟු මෙහෙයක් ඉටු කළ ඩී.ආර්. විජයවර්ධනයන් පත්තර මහගෙදර ලෙස 1926 දී ලේක්හවුස් ආයතනය පිහිටුවමින් මෙරට වාණිජ මහා පරිමාණ පුවත්පත් කර්මාන්තයේත් පුවත්පත් ඡායාරූප ශිල්පී කර්මාන්තයේත් පමණක් නොව වාණිජ පුවත්පත් කලාවේද නිර්මාතෘවරයාණන් වන්නට සමත්විය.

මෙරට වාණිජ පුවත්පත් කර්මාන්තයේ නියමුවා ලෙස අලුත් පුවත්පත් ඇරැඹූ ඩී.ආර්. විජයවර්ධනයන් ස්වකීය තීක්ෂණ ව්‍යාපාරික ඥානයත්, සංවිධිත පරිපාලනමය හැකියාවත්, සම්පත් කළමනාකරණයත්, අද්විතීය කාර්ය ශූරත්වයත් ඒකරාශි කරගෙන දිනමිණ, සිළුමිණ, ඩේලි නිවුස්, තිනකරන් පුවත්පත් පළකර ශ්‍රී ලංකාවේ සියලු ජනකොටස් ඇමැතීමේ අද්විතීය වරම ලබා ගත්තේය. එමඟින් ලෝ දසත පුවත් බෙදාහදා දී දිළිඳු මානසිකත්වයේ සිටි ජනතාව දැනුවත් සවිචාරක ජනතාවක් බවට පත්කිරීමේ යෝධ පියවරක් ඉදිරියට තැබීය.

1886 පෙබරවාරි 23 වැනිදා උපන් මෙතුමාගේ පියාණන් වූයේ දොන් පිලිප් විජයවර්ධන මහතා ය. මව හෙලේනා විජයවර්ධන මහත්මියයි. මෝදර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ එතුමා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලැබ මවු රටට පැමිණියේ අධිනීතිඥවරයකු ලෙසිනි. ගැඹුරු සංස්කෘතික චින්තනයක් ද, විශද දේශපාලන බුද්ධියක් ද, සාහිමානි ජාතික චින්තනක් ද ඇතිව දේශ සේවයේ යෙදුණු ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් 1950 වසරේ ජූනි මස 13 දා අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකාවේ අද්විතීය ලේක්හවුස් ආයතනය ඩී.ආර්. විජයවර්ධන සිරිමතුන්ගේ අධිෂ්ඨාන ශීලීත්වයේත්, ජාති මාමකත්වයේත් කලා රසිකත්වයේත් ප්‍රතිමූර්තිය ලෙස ප්‍රෞඪ ලීලාවෙන් අදත් විරාජමාන වන්නේය.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න