ශ්‍රී ලංකාව අද මානව හිමිකම් සැසිය අමතයි | දිනමිණ

ශ්‍රී ලංකාව අද මානව හිමිකම් සැසිය අමතයි

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන චෝදනාවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාව අද (23) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි නිත්‍ය සැසි වාරය ඇමැතීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සඳහා ද පිළිතුරු ලබාදෙමින් විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා වේලාවෙන් අද පස්වරු 4.45 ට පමණ සමුළුව ඇමතීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ දී මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව තුළ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර ඊට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකාවේ ස්ථාවරය පිළිබඳව විදේශ කටයුතු ඇමැතිවරයා විසින් අන්තර්ජාලය ඔස්සේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් දැනුම්දීමට නියමිතයි.

එක්සත් රාජධානිය, කැනඩාව, මොන්ටිනීග්රෝ, උතුරු මැසිඩෝනියාව සහ මලාවි යන රටවල් ඒකාබද්ධව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙනඒමට සැලසුම් කර ඇති අතර ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන චෝදනා සඳහා සාර්ථකව මුහුණදීමට මේ වනවිටත් සැලසුම් සකස් කර ඇති බවද විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුවද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා සැසිවාරයට යොමු කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙන බව සඳහන් කළ ඇමැතිවරයා ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රධාන කණ්ඩායම කොළඹ සිට සැසිවාරය අමතන බවද කියා සිටී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවර දී ඊයේ (22) ආරම්භ වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) අන්තර්ජාලය ඔස්සේ ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතයි.

ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමැතිවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල, සරත් වීරසේකර සහ රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහත්වරුන්ගෙන් යුත් ශ්‍රී ලංකාව නියෝජනය කරන කමිටුව අන්තර්ජාලය ඔස්සේ මෙවර සමුළුවට සහභාගිවීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් පිළිබද මහකොමසාරිස් මිචෙල් බැචලෙට් සකස් කළ විශේෂ වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබදව 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ හෙට (24) දිනයේ වන අතර මේ සැසිවාරය එළඹෙන මාර්තු මස 23 දා දක්වා පැවැත්වෙනු ඇත.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න