ක්‍රීඩාවෙන් සහ දේශපාලනයෙන් පාකිස්තානය ඉහළට ඔසවා තැබූ අභීත නායකයා ඉම්රාන් ඛාන් | දිනමිණ

ක්‍රීඩාවෙන් සහ දේශපාලනයෙන් පාකිස්තානය ඉහළට ඔසවා තැබූ අභීත නායකයා ඉම්රාන් ඛාන්

අප්‍රතිහත ධෛර්යයත්, නොපසුබසිනා උත්සාහයත් මැදින් ජීවිතය සාර්ථක කරගත් අන්තර්ජාතික පුද්ගලයන් අතර පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. හෙතෙම දූෂණ වංචාවලට හසුවී බන්ධනාගාරගතවීමට හෝ ප්‍රතිවාදී පාර්ශ්වයකින් එල්ල වන වෙඩි පහරකින් හෝ බෝම්බ ප්‍රහාරයකින් ජීවිත හානි සිදුවීමට වැඩි ඉඩකඩක් ඇති පාකිස්තානයේ ව්‍යාකූල දේශපාලන පිටියේ සිය ආධිපත්‍ය පතුරුවමින් එරට කෝටි සංඛ්‍යාත ජනතාවගේ හදවත් දිනා ගැනීමට සමත් වූ මානව හිතවාදියෙකි. ඔහු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ඔසවා තැබූ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. එක්දින ලෝක කුසලානය දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම මෙහෙයවූ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් නායකයෙකි.

වසර 1986 පෙබරවාරියේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඉම්රාන් ඛාන්ය. එවකට 34 හැවිරිදි වියෙහි පසුවූ ඉම්රාන් මහනුවරත් (අස්ගිරිය), කොළඹත් (සීසීසී සහ එස්එස්සී) ටෙස්ට් තරග තුනකට ක්‍රීඩා කිරිමෙන් පසු ඔහු එම වසරේදිම අප්‍රේල් මාසයේ කොළඹ පැවති ජෝන් ප්ලේයර් ගෝල්ඩ් ලීෆ් ආසියානු කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තාන කණ්ඩායම මෙහෙයවීය. මාස තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටි ඉම්රාන් ඛාන්ගේ ක්‍රීඩා විලාශය මෙරට ජනතාවට දැක බලා ගැනීමට ලැබුණු පළමු හා එකම අවස්ථාව එය විය. වසර 35කට පසු අද ශ්‍රී ලංකාවට ගොඩ බසින්නේ වඩාත් වගකීම් සහිත රාජ්‍ය නායකයකු ලෙසින් රාජ්‍ය මට්ටමේ ගෞරවය සහිතව දෙදින නිල සංචාරයකටය.

පාකිස්තානයේ අගමැති පදවියට පත්වීමෙන් පසු ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර, කොවිඩ් වසංගතයෙන් පසු මෙරට සංචාරය කරන පළමු රාජ්‍ය නායකයා ද වේ. එදා මෙදා තුර ගතවූ දීර්ඝ කාලපරිච්ඡේදය තුළ ක්‍රීඩා ජීවිතයෙත්, පෞද්ගලික ජීවිතයෙත් විවිධ හැල හැප්පීම් ගණනාවකට මුහුණ දුන් මේ නිර්භීත මිනිසා ඒ සියළු බාධක මැදින් සිය ඉලක්කය කරා ගියේ ලොව සෙසු දේශපාලන නායකයන්ට කදිම ආදර්ශයක් සපයමිනි.

ක්‍රීඩාවත්, දේශපාලනයත් එකට යා කළ 69 හැවිරිදි මේ ජන නායකයා සිය ජීවිතයෙන් වසර 25ක් ක්‍රීඩාව වෙනුවෙන් වැය කළ අතර, ඉන් වසර 10ක් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන්නේය. ඔහු අවස්ථා කිහිපයකදීම ක්‍රීඩාවෙන් සමුගත්ත ද, එවකට එරට රාජ්‍ය නායකයන්ගේ දැඩි ඉල්ලීම මත නැවත පිටියට පිවිසි අතර, 1992 ලෝක කුසලානය දිනා දීමෙන් පසු ඔහු නැවත පිටියට පා තැබුවේ නැත.

‘මගේ ලෝකයේ සිහින දෙකක් තිබුණා. එකක් පිළිකා රෝගයෙන් මෙලොව හැර ගිය මගේ ආදරණීය මව වෙනුවෙන් ජනතාවට පිළිකා රෝහලක් ඉදි කරදීම. අනික මගේ නායකත්වයෙන් පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානයක් අත්කර දීම. මේ සිහින දෙකම මගේ ජීවිතයේ සැඳෑ සමයේදී සැබෑ කරගැනීමට මට හැකියාව ලැබුණා.‘

මීට වසර 28කට පෙර එනම් 1992 මාර්තු මාසයේ 25 වැනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී එක්දින ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ඔහු මිලියන ගණනාවක ක්‍රීඩාලෝලීන් හමුවේ එසේ ප්‍රකාශ කළේය.

ලෝක ක්‍රිකට් පිටියේ බිහිවූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයකු ලෙසත්, පාකිස්තානයෙන් බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් නායකයා ලෙසත් ගෞරවයට පාත්‍රවූ මේ අසහාය ක්‍රිකට් වීරයාගේ ක්‍රීඩා දිවිය ආරම්භ වන්නේ ද ඔහුගේ දේශපාලන ජීවිතය මෙන්ම දැඩි පසුබෑමකට ද ලක් වෙමිනි.

වසර 1971 පාකිස්තාන පිලේ එංගලන්ත සංචාරයේදී කෝඩුකාරයකු ලෙස කණ්ඩායමට එක්වූ එවකට 19 හැවිරිදි වියේ පසුවූ ඉම්රාන් ඛාන් එලිසබෙත් මහ රැජනට කණ්ඩායම හඳුන්වා දුන් අවස්ථාවේදී එවකට පාකිස්තාන පිලේ නායකයා ලෙස කටයුතු කළ ඉන්තිකාබ් අලාම්ට ඔහුගේ නම අමතක වීම ඔහු දැඩි අපහසුතාවට පත් කළ සිදුවීමක් විය. එහෙත් ඊට වසර කිහිපයකට පසු සමස්ත එංගලන්තයට අමතක නොවන නමක් බවට පත් කිරිමට ඔහු සමත් වූයේ පන්දුවෙන් හා පිත්තෙන් විශිෂ්ට දස්කම් පෙන්නුම් කරමිනි.

සිය තාරුණ්‍යය එහෙම පිටින්ම එංගලන්තයේ ගත කරමින් ක්‍රීඩාවෙන් පමණක් නොව අධ්‍යාපනයෙන් ද එරට කැපී පෙනෙන විදේශිකයා බවට පත්වීමට පසුකාලිනව ඔහු සමත් වූ අතර, ඒ කාලය තුළ බ්‍රිතාන්‍ය රජ පවුලේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා බවට ද පත් වූයේය. තම ජීවිතයේ වඩාත්ම ප්‍රියජනක දේවල් කුමක්දැයි වරක් මාධ්‍යවේදියකු එලිසබෙත් රැජනගේ ලේලිය වූ ඩයනා කුමරියගෙන් විමසා සිටි මොහොතේ ඇය පැවැසූයේ යෝගට්, චාල්ස් කුමරුගෙන් ඉවත්ව සිටිම සහ ඉම්රාන් ඛාන් පන්දු යැවීමට දිව එන විලාශය ඇගේ ප්‍රියතම දේවල් බවය.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් දර්ශනය, දේශපාලනය හා ආර්ථිකය පිළිබඳ උපාධිධාරියකු වන ඉම්රාන් ඛාන් එවකට අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සිටි එකම උපාධිධාරියා ද වූයේය. ක්‍රීඩාවට මෙන්ම ඉගෙනුමටත් උපන් හපනකු වූ අඩි හයකුත්, අඟල් 2ක් උසැති මේ කඩවසම් ක්‍රීඩකයාට ලොව පුරා විවිධ රටවල රූමත් තරුණියන්ගේ ආකර්ශනයෙන් කිසිදු අඩුවක් නොතිබිණි. වරක් ඔහු සිය කණ්ඩායම සමග ඉන්දියාවේ කළ සංචාරයක් අතරතුර බොලිවුඩ් සිනමාවේ රංගනයට එක්වන්නැයි ඇරියුම් කළ චිත්‍රපට නිශ්පාදකවරුන් ද අපමණ සිටියහ. ඒ සියළු ඇරියුම් ඔහු ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ‘ඇයි ඉන්දියාවට නළුවන්ගේ අඩුවක් තිබෙනවාදැයි‘ සරදම් කරමිනි.

ඉම්රාන් ඛාන්ගේ ක්‍රිකට් ජීවිතයේ වැදගත්ම සිදුවීම වන්නේ 1992 එක්දින ලෝක කුසලානය දිනා ගැනීමය. එවකට කණ්ඩායමේ සිටි බොහෝ ක්‍රීඩකයන් ඔහුට වඩා වයසින් බෙහෙවින් ළාබාල අය වූ අතර, ඉම්රාන් 40 හැවිරිදි වියෙහි පසුවිය. එබැවින් කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන්ට ඉම්රාන් ගෞරවාන්විත වැඩිමල් සොයුරකු බඳු විය. ඉම්රාන්ගේ ක්‍රිකට් ජීවිතයේ සමීපතම සගයා වූයේ පාකිස්තානයෙන් බිහිවූ තවත් විශිෂ්ට පිතිකරුවකු වූ ජවේඩ් මියැන්ඩාඩ් ය. එක්ව ක්‍රීඩා කරද්දී ජයග්‍රහණය සැමරීමට ඉම්රාන්ගේ කර වටා අතක් දමා ගැනීමට හැකියාව සහ නිර්භීතභාවයක් තිබූ එකම ක්‍රීඩකයා ද මියැන්ඩාඩ් පමණි.

1992 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී නායකත්වයෙන් ඉනිමක් ක්‍රීඩා කළ ඉම්රාන් ලකුණු 72ක් රැස් කළේ සෙසු තරුණ ක්‍රීඩකයන්ට කදිම ආදර්ශයක් ගෙන දෙමිනි.

‘එතකොට කණ්ඩායමේ හැමෝම වගේ ගොඩාක් තරුණ අය. මට එතකොට අවුරුදු 40යි. ඒ නිසා හැමෝම වගේ මට බයෙනුයි හිටියේ. ‘ ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු 25 වැනි සංවත්සරය සැමරීමට එක්වෙමින් ඔහු එසේ ප්‍රකාශ කළේය.

තම රටෙහි ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාතික අධිකරණයේ විත්තිකරුවකු වූ එකම ක්‍රීඩකයා ද ඉම්රාන් ඛාන් ය. 90 දශකයේ මැද භාගයේදී ඔහු විසින් ‘ඉන්ඩියා ටුඩේ‘ සඟරාවට දුන් සම්මුඛ සාකච්ඡාවකදී එංගලන්ත ක්‍රීඩකයන් වන ඇලන් ලෑම්බ් සහ ඉයන් බෝතම් අරභයා කරනු ලැබූ ප්‍රකාශයක් හේතුවෙන් එම ක්‍රීඩකයන් දෙදෙනා මේ නඩුව ගොනු කර තිබූ අතර, එය ලන්ඩන් රාජකීය උසාවි සංකීර්ණයේ අංක 13 දරණ විනිශ්චය ශාලාවේ දී විභාගයට ගැනුණේ ඉම්රාන් ඛාන් විත්තිකරු කරමිනි. පාකිස්තාන වේගපන්දු යවන්නන් පන්දුව පළුදු කරන බවට බෝතම් සහ ලෑම්බ් විසින් කරනු ලැබූ ප්‍රකාශ හෙළා දකිමින් ඉම්රාන් විසින් ඉන්දීය සඟරාවට කරනු ලැබූ ප්‍රකාශයෙන් තමා ජාතිවාදීන් ලෙස හඳුන්වා දී ඇතැයි කියමින් එම නඩුව ගොනු කර තිබිණි.

සති තුනක් පුරා ඇදී ගිය මේ නඩු විභාගය එවකට ලොව පුරා දැඩි ආන්දෝලනයකට තුඩු දුන් අතර, තමා නිරතුරුවම පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිය වෙනුවෙන් පෙනී සිටින බව ලන්ඩන් උසාවි සංකීර්ණයේ විත්ති කූඩුවේදී ඉම්රාන් ඉතා නිර්භීතව කියා සිටියේය.

‘පන්ති මට්ටම මූලික කොටගත් සමාජයක මොනයම් ආකාරයකවත් උසස් බවක්, ගෞරවනීය බවක් ඇත්තේ නැතැයි තම පියා ඉගැන්වු බව උසාවියට ප්‍රකාශ කළ ඉම්රාන් ‘පාකිස්තානය ශ්‍රේෂ්ඨ ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන ජාතියක්‘ යැයි කියා සිටියේය.

තමා කිසිවිටෙකත් බෝතම් සහ ලෑම්බ් ජාතිවාදීන් ලෙස ලේබල් ගත නොකළ බව උසාවිය හමුවේ ඉතා පැහැදිලි හා ව්‍යක්ත ඉංග්‍රීසි බසින් ඉම්රාන් විසින් කරනු ලැබූ ප්‍රකාශය ජූරි සභිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට තරම් ප්‍රබල එකක් විය. ඉම්රාන්ගේ නිදොස් භාවය වෙනුවෙන් කරුණු කියා පෑමට ලොව අග්‍රගණයේ විචාරකයන් සහ ක්‍රීඩකයන් රැසක් උසාවි සංකීර්ණයට පැමිණ සිටියහ. ඒ අතර බෝතම් සහ ලෑම්බ් නියෝජනය කළ එංගලන්ත පිලේ හිටපු ක්‍රීඩකයන් රැසක් ද සිටීම විශේෂත්වයක් විය.

අවසානයේදී මේ අපහාස නඩුව නිමාවට පත්වූයේ ඔක්ස්ෆර්ඩ් උපාධිධාරී ඉම්රාන්ට පක්ෂව ජූරි සභිකයන් 12 දෙනකුගෙන් 10 දෙනකුම ඡන්දය භාවිත කිරිමෙනි.

පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් එවැනි කැපකීරීම් ගණනාවක් සිදු කළ ඉම්රාන් ඛාන් දේශපාලන කරළියට එක් කරගැනීමට ඔහු ක්‍රීඩාවේ නිරතව සිටි කාලයේදී එරට විවිධ දේශපාලන පක්ෂ රැසක් උත්සාහ ගනු ලැබුවත් ඉම්රාන් ඒ සියළු ඇරියුම් ප්‍රතික්ෂේප කළේය. එහෙත් ඉන් පසු සිය ජීවිතයේ අවසන් භාගය ද එරට ජනතාව වෙනුවෙන් කැප කරමින් 1996 දී පාකිස්තාන තරීක් ඊ ඉන්සාෆ් දේශපාලන පක්ෂය බිහි කරමින් ක්‍රියාකාරි දේශපාලනයට එක් විය.

‘මම කිසිම දෙයකට බය නෑ. මරණයට හෝ පරාජයට කිසිම බයක් ඇත්තේ නෑ. ඒ කියන්නේ මම මගේ ප්‍රතිවාදීන්ට ඉතා අනතුරුදායක පුද්ගලයෙක්‘ සිය දේශපාලන ජීවිතය ආරම්භ කරමින් එම උදාන පාඨය ජනතාව හමුවේ තැබූ මේ අසහාය ක්‍රිකට් වීරයා ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය මෙන්ම දේශපාලන ජීවිතයේ ඇරඹුමත් සටහන් කරනු ලැබුවේ ඉතා පහළ මට්ටමක සිටය.

වසර 1997 පාකිස්තාන මහමැතිවරණයෙන් ඔහුගේ පක්ෂයට කිසිදු ආසනයක් හිමි නොවූ අතර, 2002 මහමැතිවරණයෙන් ජයගනු ලැබුවේ එක් අසුනක් පමණි. ඒ අනුව පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඉම්රාන් ඛාන් අනතුරුව 2008 මහමැතිවරණය දූෂිත බවට චෝදනා නගමින් ඊට තරග නොකළේය. වසර 2013 මහ මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය ආසන 35ක් ජයගැනීමට සමත්විය.

වසර 20ක දේශපාලන ජීවිතයේ විවිධ බාධක මැද ගලා ගිය ඉම්රාන්ගේ අගමැති සිහිනය සැබෑ කරමින් 2018 මහමැතිවරණයෙන් ඔහුගේ පක්ෂය ආසන 115ක් දිනා ගනිමින් පාකිස්තානයේ නව රජයක් බිහි කිරීමට සමත් වූයේ එරට 19 වැනි අගමැතිවරයා ලෙස ඉම්රාන්ගේ දේශපාලන ජීවිතයේ අග්‍රඵලය සටහන් කරමිනි.

‘ඔහු ක්‍රීඩා කළ කාලයේදී කණ්ඩායමේ නායකයා ලෙස පාකිස්තානය අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ඉහළට ඔසවා තැබීමට ඉම්රාන් සමත් වුණා. මම ඔහු හොඳින්ම දන්නවා. දේශපාලන ජීවිතයේ දී සිය දෙවැනි ඉනිම ආරම්භ කරමින් ඉම්රාන් පාකිස්තානයේ අගමැතිධුරයට පත්වන බව මම ඒකාන්තයෙන්ම දැන සිටියා. ඊට අවශ්‍ය ධෛර්යසම්පන්න මනසක්, ආත්ම ශක්තියක් ඔහු තුළ නිරන්තරයෙන්ම තිබුණා.‘ ඉම්රාන් ඛාන්ගේ දේශපාලන ජයග්‍රහණය ගැන උදම් අනමින් ඔහුගේ සමකාලීන ක්‍රීඩක ජවේඩ් මියැන්ඩාඩ් එසේ කීවේය.

පාකිස්තානය ලෝක කුසලානය ජයගැනීමේ උද්දාමය විදහා පාමින් ඊට උපහාර පිණිස එරට ජනප්‍රිය ගායක ගායිකාවන් වන ෆායිසා මුජාහිද්,හසන් ඔමර් සහ ආසිෆ් මෙහමූද් එක්ව ගැයූ Who rules the world පාකිස්තානයේ ජයග්‍රහණයේ ගීතය වසර ගණනක් යනතුරුම එරට අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත්වී තිබිණි.

වසර 2018 මහමැතිවරණ දිනයේදී සිය ඡන්දය භාවිත කිරීමෙන් පසු ඉම්රාන් ඛාන් ඔහුගේ මෝටර් රථයෙන් ආපසු යද්දී අසමින් ගියේ ද එම ගීතයයි.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න