නැවකින් පිදුම් ලද කවියෙක් | දිනමිණ

නැවකින් පිදුම් ලද කවියෙක්

මිහ­යිල් ස්වෙත්ලොව් නමින් නම්කල නැව

 

ඔහුගේ නම මිහයිල් ස්වෙත්ලොව්ය. යුක්රේනයේ දිළිඳු යුදෙව් පවුලක උපත ලැබූ මිහයිල්, ප්‍රාථමික විදුහලේ උගෙනුම ලබමින් සිටියේය. එක් දිනක් ඔහුගේ පියා මල්ලක දැමූ පොත් ගොඩක් ගෙදර ගෙන ආවේය. ඔහුට ඒ සඳහා වැය වී තිබුණේ සුළු මුදලකි. පැරණි රුසියානු සාහිත්‍යයට අයත් පතපොත මෙන්ම පුෂ්කින් හා ලර්මන්තොව් වැනි ප්‍රකට කවීන්ගේ කෘතීන් ද ඒ පොත් ගොඩෙහි විය.

මිහයිල්ගේ පියා මෙම පොත් ගෙන ආවේ කියවීමට නම් නොවේ. මිහයිල්ගෙ මව සූර්යකාන්ත ඇට බැද වෙළෙඳපොළට යැවූ අතර ඒ සඳහා කඩදාසි මලු සෑදීමට අවශ්‍ය විය.

පොත් ගොඩ දැක සතුටට පත් කුඩා මිහයිල් තම මවගෙන් මෙසේ ඉල්ලීමක් කළේය.

“අම්මෙ, මට මේ පොත් කියවන්න ආසයි... මං මේවා කියෙව්වට පස්සෙ මලු හදමුද?”

ඒ කරුණාවන්ත මව, පොඩි පුතුගේ ඉල්ලීමට ඉඩ දුන්නාය. පසු කලෙක, ප්‍රකට රුසියානු කවියකු බවට පත් වන, මිහයිල් ස්වෙත්ලොව්, (Mikhail Svetlov) ඔහු ලියූ ලිපියක ලා සඳහන් කරන්නේ, තම සංස්කෘතික ජීවිතය අැරඹුණේ ඒ පරණ පොත් මල්ලෙන් බවය.

ඒ පොත් කියවීම නිසා ඇති වූ ආස්වාදය කුඩා මිහයිල් ද ලිවීමට පෙලඹුවේය. ප්‍රාථමික පාසලේ සිටියදීම ඔහු තම පළමු නවකතාව ලියුවේය. එහි නම “ඔල්ගා මිෆුසොරිනා” ය. නවකතාව ලිවීම සඳහා මිහයිල්ට ගතවූයේ පැය දෙකකි. පිටු ගණන තුනකි. (එයද, ලොකු අකුරිනි), ඔහු තම නවකතාව, සොහොයුරියට ඇසෙන්නට කියැවීය. එය අසා සිටි ඇය, දෙනෙත් විසල් කොට ඔහු දෙස බැලුවේ, තම පවුලෙන් ද මහා ගත්කරුවකු බිහිව ඇතැයි හැඟුණාක් මෙනැ’යි, මිහයිල් ඉහත කී ලිපියෙහිම සඳහන් කරයි.

මිහයිල්ගේ පන්ති මිතුරෙකු වූ කෝල්යා ද කවියට ප්‍රිය කළේය. දෙදෙනා කවි ලියන්නට වූයේ තරගයට මෙනි. මිහයිල්, විනාඩි විස්සක් තුළදී ලියූ, පේළි විස්සක කවියක් කෝල්යාට පෙන්වයි. ඊට පසු දින කෝල්යා ගෙන එන්නේ පේළි දෙසීයක කවියකි. දෙදෙනාගෙන් කෝල්යා ඉදිරියට එන්නේ, ඔහුගේ කවියක් නගරයේ ළමා පුවත්පතක පළ වීමෙනි. ඉන් පසුව කෝල්යාගෙ කවි දිගින් දිගටම පුවත්පත්වල පළ වුවත්, මිහයිල්ට තවත් කලක් අප්‍රසිද්ධවම සිටින්නට සිදු වෙයි.

මිහයිල් ස්වෙත්ලොව්ගේ ජීවිතය වෙනස් මඟකට හැරෙන්නේ, ඔහු “කොම්සවෝල්” යනුවෙන් හැඳින්වුණු කොමියුනිස්ට් තරුණ සංවිධානයට බැඳුණු පසුවය. එහිදී ඔහුට තරුණ සඟරාවෙහි (Young Proleterian) සංස්කාරක ධුරය හිමි වෙයි. එවිට ඔහුගේ වයස 16කි. සම වයසේම පසු වූ තවත් අංකුර කවීන් දෙදෙනෙක් ඔවුන්ගේ කවි පළ කිරීම සඳහා මිහයිල් හමුවීමට එයි. ඇලෙක්සැන්ඩර් යැස්නි හා මිහයිල් ගො‍ලොද්නි නමැති ඒ දෙදෙන ද පසු කලෙක ප්‍රකට කවීහු බවට පත් වෙති.

1920දී මොස්කව් නුවර පැවති නිර්ධන පාන්තික ලේඛක සමුළුවක් සඳහා, කොම්සමෝල් කවියකු වශයෙන් සහභාගි වීමට මිහයිල්ට ද වරම් ලැබෙයි. “මොස්කව් කවියෙන් අපිට වැඩක් නෑ. අපි වැඩ කරන්න ඕනෙ කරාකෝව්වල ඉඳන්.” මිහයිල් ගෝලෝද්නි තම මිතුරා ‘මිෂ්කා’ට (මිහයිල්) යෝජනා කරයි. කරාකෝව් යනු එකල යුක්රේනියාවේ අගනුවරය. ඒ උපදෙස පිළිපදින මිහයිල්, කෙටි කලකින්ම එරට ජනප්‍රිය කවීන්ගේ නාමාවලියට එක් වෙයි.

එකල නගරය තුළ මැර කණ්ඩායම්වල තාඩන පීඩන බහුල විය. එය මැඬලනු පිණිස පිහිටුවූ හමුදා සේනාංකයට, මිහයිල් ද බැඳුණේය. පසුව කොම්සමෝල් සංවිධානයෙහි මුද්‍රණ අංශයේ සේවයට යන මිහයිල්, තම පළමු කාව්‍ය සංග්‍රහය වන ‘Rails’ (1922 ‘පීලි’) ප්‍රකාශයට පත් කරයි.

මේ කාලයේදී මිහයිල් ගෝලෝද්නිගෙන් නැවතත් යෝජනාවක් ඉදිරිපත් වෙයි. “යාළුවා, දැන් අපි ඉන්නෙ මොස්කව් කවියට වඩා ඉදිරියෙන්. අපි ආපහු මොස්කව් යමු. එහෙ ඉඳන් වැඩ කරමු.”

මිහයිල් ද ඒ යෝජනාවට එකඟ වෙයි. එහිදී ඔහු මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ද, ඉන් පසුව වැලරි බ්‍රයිසෝව් කලා හා සාහිත්‍ය අධ්‍යයන ආයතනයෙන් ද ඉගෙනුම ලබයි.

සාහිත්‍ය කලා ආයතනයේ ඇතැම් දේශන නීරස වූයෙන්, මිහයිල් ඒවා මඟ හරියි. එක් දිනක් කොරිඩෝවක ගමන් කරමින් සිටින මිහයිල්ට, පැසුණු හිස කෙසින් යුතු, එහෙත් තරුණ, උස පුද්ගලයකු මුණ ගැසෙයි. ඔහු එඩුවඩ් බාර්ගිස්ට්කි නමැති ප්‍රකට කවියෙකි. බාර්ගිස්ට්කි තම කවි අසන්නට මිහයිල්ට ඇරැයුම් කරයි. එමඟින් ඇරඹෙන ඔවුන්ගේ මිතුදම බාර්ගිස්ට්කිගේ අභාවය දක්වාම පවතී.

මේ අවදියේදී සෝවියට් සාහිත්‍යය තුළ තරුණ නිර්මාණවලට විශේෂ තැනක් හිමි වුණි. මිහයිල් ද තම දෙවැනි කාව්‍ය සංග්‍රහය “Encounters in the Night (නිශා කල හමුවීම්) තම මොස්කව් සාහිත්‍ය මිතුරන් වෙත පිරිනමයි.

එක් දිනක් මිහයිල් තම මිතුරු කවියකු වන බොරිස් කොව්යානෙව් හමුවීමට ගොස් සිටියදී ඔහුට දුරකතන ඇමතුමක් ලැබෙයි.

“මිහයිල්... ඔබට මයාකොව්ස්කි කවියා කතා කරනවා.”

මිහයිල් සිතන්නේ එය කාගේ හෝ විහිළුවක් බවය. “මයාකොව්ස්කි වැනි මහා කවියකු මා අමතන්නේ කුමට ද” යන සැකය සහිතවම ඔහු දුරකතනය වෙත යයි. සැබැවින්ම ඒ, ව්ලදිමීර් මයාකොව්ස්කි කවියාමය.

“ස්වෙත්ලොව්, මම බාබර් සාප්පුවේ ඉද්දි, එතන තිබුණු ‘ඔක්තෝබර්’ සඟරාවෙ පළ වෙලා තිබුණු ඔබේ ‘මංගල්‍ය උත්සවය’ කියන කවි පෙළ කියෙව්වා. මම ඒකට හරි කැමැතියි. මට ඔබට සුබ පතල විදුලි පුවතක් එවන්නත් හිතුණා. ඒත් පසුව හිතුණ කතා කළොත් ඔබ වැඩිය සතුටු වෙයි කියලා.”

මිහයිල් විශ්මයෙන් අසා සිටියේය.

“ඒ කවියෙ එක පේළියක් නම් දුර්වලයි. ‘තරුවක් සහ පෙමින් බැඳි’ කියන පේළිය අයින් කරනව නම් හොඳයි”

“ඔව්... මටත් ඒක හිතුණා. මම ඒක දැනටමත් අයින් කරලයි තියෙන්නෙ.”

“එහෙමනං දැන් ඒ කවිය සම්පූර්ණයි. හෙට එන්න අපේ ගෙදර, කාර්මික විද්‍යාලෙ මගේ කවි කියවීමක් තියෙනවා. ස්වෙත්ලොව්ටත්, මාත් එක්ක ඒකට ගියෑකි.”

පසු දින මිහයිල් එම කවි සැඳෑවට සහභාගි වූයේ උතුරා යන ප්‍රමෝදයෙනි. එය දෙගුණ තෙගුණ වූයේ එදින, මයාකොව්ස්කි කවියා විසින් මිහයිල්ගේ ‘ග්‍රැනඩා’ (Granada) නමැති කව් පෙළ ද කියවා අගය කළ බැවිනි.

‘ග්‍රැනඩා’ යනු මිහයිල් ස්වෙත්ලොව්ගේ කව් අතුරින් වඩාත් ජනප්‍රිය වූවකි. ස්පාඤ්ඤ සිවිල් යුද්ධ සමයේදී එරට දේශප්‍රේමීන්ට සහයෝගය පළ කරමින් ලියැවුණක් බැවින්, එරට ද (30 දශකයේදී) මෙම පැදි පෙළ ප්‍රසිද්ධියට පත් විය. පසු කලෙක ස්වෙත්ලොව් පැවසූ අන්දමට, මේ කව ලිවීමට ඔහුට සිත් වන්නේ “ද ග්‍රැනඩා හොටේල්” යනුවෙන් දැක්වුණු නාම පුවරුවක් දැකීමෙනි. එකල ඔවුහු (සමකාලීන කවීන්, කලාකරුවන්) ජාත්‍යන්තරවාදයේ ධජය ඔසවාගෙන සිටි මානව හිතවාදීහු වූහ. ස්වෙත්ලොව්ගේ ‘ග්‍රැනඩා’ තුළින් සංකේතවත් වන්නේ ඒ ගුණයයි.

ස්වෙත්ලොව්ගේ ‘ග්‍රැනඩා’ කවි පෙළ පසුව ගීතයක් බවට පත්වූ අතර, එය කොතෙක් ජනප්‍රිය වී ද යත්, විවිධ තනු 20ක් පමණ නිර්මාණය කෙරුණි.

කව් පෙළින් කියැවෙන්නේ ස්ටෙප්ස් තණ බිම හරහා ගමන් කරන හමුදා සේනාංකයක සිටින අසරුවකුට ඈතින් ඇසෙන ගීතයක් පිළිබඳය. ඉන් කියැවෙන්නේ ස්පාඤ්ඤයේ ග්‍රැනඩාව වෙනුවෙන් සටන් වැදීමට යන්නකු ගැනය.

ග්‍රැනඩා, මගේ ග්‍රැනඩා

මම සටනට යම්

නිවසින් සමුගෙන

ගැමියන් වෙත යළි

ග්‍රැනඩා උරුමය

ලැබ දෙනු පිණිසම.

ඒ ගීතය ඇසීමෙන් පුදුමයට පත් වන අසරුවා මෙසේ සිතයි.

කෙසේ නම් ඔහු

නුහුරු බසකින්

මෙසේ ගයයිද

ඔහු කෙසේ දන්නේද

ස්පාඤ්ඤ බස

එරට වැසියනගෙ දුක

ගායක මිතුරාගෙන් ඊට පිළිතුරක් ලැබෙයි.

පොතක පිටු තුළිනි

දුටුවේ මා

සුන්දර ග්‍රැනඩාව

එය යළි ලබා දිය යුතු වේ

දිළිඳු ගැමි - ගොවි දනට

සමුගෙන යන්නෙ

එනිසයි යුදයට

දුරු රටක ජනතාවගේ විමුක්තිය උදෙසා, සටනට යාම තුළින් කවියා පිළිබිඹු කළේ, නිර්ධන පාන්තික සහයෝගතාව සහ මානව භක්තියයි (වැලැද්මීර් මයාකොව්ස්කි කවියා, නොයෙක් අවස්ථාවල, මෙම කව් පෙළ මතකයෙන්ම ගායනා කර ඇතැයි සඳහන් වේ.)

විප්ලවය නිසා, යුක්රේනියාවේ යුදෙව් ජන වර්ගයාගේ සංස්කෘතික හා ආගමික පැවැත්ම වැනසී ගියේය. යුදෙව් පවුලක සාමාජිකයකු වූ මිහයිල් ස්වෙත්ලොව් ඒ පිළිබඳ ශෝකයට පත් විය. ඔහු විසින් රචිත” රාබිවරයකු පිළිබඳ කවි කීපයක්” (Verses about the Rabbi) නමැති කව් 8කින් යුත්, කාව්‍යයෙන් කියැවෙන්නේ ඒ ශෝකී හැඟීමය. එහෙත්, විප්ලවය උදෙසා ඒ සියල්ල දරාගත යුතු බව ද ඔහු කියා සිටී.

කවියට අමතරව නාට්‍ය පිටපත් රචනයෙහි ද යෙදුණු ස්වෙත්ලොව්, ළමා නාට්‍ය කීපයක්ම රචනා කළේය. වසර 14ක පමණ කාලයක් ඔහු, කවියෙන් ඈත්ව සිටි බව සඳහන් වන නමුදු ඊට හේතු පැහැදිලි නැත. (ඔහු සෝවියට් සාහිත්‍ය මණ්ඩලයේ, වාරණයට ලක් වන්නට ඇතැයි මතයක් ද ඇත)එ 1964 දී, 61 හැවිරිදි මිහයිල් ස්වෙත්ලොව් ජීවිතයෙන් සමුගත්තේ, පෙණහලු පිළිකාවකට ගොදුරු වීමෙනි. ඊට වසර තුනකට පසු, ඔහුගේ “අවසන් කාලයේ කවි” නමැති කෘතියට ලෙනින් සම්මානය පිරිනැමුණි. සෝවියට් තාරකා විද්‍යාඥවරියක විසින් සොයාගත්, කුඩා ග්‍රහයෙකු ද, “3483 ස්වෙත්ලොව්” යනුවෙන් නම් කෙරුණේ, මිහයිල් ස්වෙත්ලොව් කවියාට උපහාර පිණිසය.

1985 දී ස්වෙත්ලොව් කවියාට තවත් අපූරු උපහාරයක් ලැබුණි. ඒ ඔස්ට්‍රියාවෙන් රුසියාවට මිල දී ගත් සංචාරක මඟී නෞකාවක් ඔහුගේ නමින් නම් කිරීම ය.

තම කවියේ පරමාර්ථය පිළිබඳ ස්වෙත්ලොව් මෙසේ පවසා ඇත. “මම ජනතාව වෙත වැසි බිඳු මිස, කුණාටු රැගෙන නොයෙමි. ඔවුන් සතුටින් හා ප්‍රබෝධයෙන් තැබිය යුතුය. සාහිත්‍යයේ ප්‍රතිඵල ලැබෙන්නේ, ලේඛකයා තරමටම පාඨකයා ද ප්‍රතිභා සම්පන්න වූ විටය. යමක් ලිවීම අරඹන හැම විටම, මට මා හොඳ මිනිසකු සේ දැනෙයි. සැබෑ කවිය යනු, ප්‍රතිභාවයේත්, ආදරයේත්, කරුණාවේත් සම්මිශ්‍රණයකි. එසේම එය කොතෙක් බෙදා දුන්න ද, නිමා නොවන මහා නිධානයකි.

කපිල කුමාර කාලිංග

නව අදහස දක්වන්න