නේව­ාසිකාගාර කතාවක් | දිනමිණ

නේව­ාසිකාගාර කතාවක්

 

ගෙවුණු අවුරුද්දේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට සමත් වූ සිසු දරු දැරියන්ට ඔවුනට අදාළ පාසල් දැන් ලැබී තිබේ. විභාග ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු දැඩි සතුටකින් සිරිකත නිවසටම කැන්දා ගත් මව්වරු, පියවරු දැන් අලුත් ප්‍රශ්නයකින් පීඩාවට පත්ව සිටින අයුරු ඔවුන්ගේ කතා බහෙන් වැටහෙයි. මේ මට ඇසුණු අම්මාවරුන් දෙදෙනකුගේ කතා බහකි.

“අපේ ළමයි මහන්සි වුණු තරමට කොළඹ ලොකු ඉස්කෝලයක් ලැබුණු එකත් ලොකු දෙයක්.”

“යවන එකනෙ ප්‍රශ්නෙ. හොස්ටල් තිබුණ කියල මොක ද ඔව්වයෙ නවත්තන්නෙ කොහොම ද මේ හුරතලේට හදපු ළමයි. පිට තැනක ඉඳල පුරුද්දක් තියේයැ. ගියදා ඉඳන් අඬන්ට තියාගනී ගෙදර එන්ට ඕනෑ කියල. අනික ළමය පිට ඉන්න කොට අපට හරියකට බත් කටක් කැවෙයි ද?”

“ස්කූල් වෑන් එකේ තමයි යවන්ට වෙන්නෙ. පාන්දරින් ගිහිං රෑ වෙන කොට ගෙදර එයිනෙ.”

මෙවැනි දෙබස් ශිෂ්‍යත්වය දිනූ දරුවන්ගේ මාපියන් අතර හුවමාරු වනු ඇසේ. ශිෂ්‍යත්වයෙන් අඩුවෙන් ලකුණු ලද දරුවන් මාපියන් අතර ඇත්තේ මීට ඉඳුරාම වෙනස් ආකාරයේ කතා බහකි. ඒ සැලකිය යුතු පාසලක් තම දරුවා වෙනුවෙන් සොයා ගැනීමේ ගැටලුවයි. එහිදී ගැටලුවට විසඳුමක් සොයන්නට යම් ප්‍රයත්නයක් දරා ඇති තැනැත්තේ හෝ තැනැත්තී හැකි තරම් තොරතුරු අනෙකාට සඟවන්නට වෑයම් කරන්නේ ඔවුන් ද තොරතුරු දැන තමන් ගමන් කරන මාවතේ ම යන්නට වෑයම් කළොත් තමන්ට පාඩු වෙතියි යන බියෙනි.

කොහොමටත් පාසල් නේවාසිකාගාරයේ දරුවන් නවත්වන්නට දෙමාපිය ප්‍රජාවේ කැමැත්තක් නැත. මෙය දැන උගත් යයි සම්මත දෙමාපියන් අතර පවා ප්‍රචලිතව ඇති මතවාදයකි. මේ සඳහා විවිධ හේතු කාරණා බලපාන්නට ඇත. ශීඝ්‍ර ටියුෂන්කරණය ව්‍යාප්ත වීමත් සමඟ නේවාසිකාගාරවල සිට ටියුෂන් පන්තිවලට සහභාගී වීමට ඇති අපහසුව ද මීට බලපාන්නට ඇත. එසේම පාසල් නේවාසිකාගාර පද්ධතිය ගැන සමාජයේ ඇති යම් යම් මතවාද ද මීට බලපාන්නට ඇත.

නවසිය හැත්තෑව දශකයේ දී ජනප්‍රිය පාසල් සොයා යාමේ මෙවන් තරඟයක් දක්නට නොවිණි. බොහෝ මාපියෝ සිය දරුවන් ආසන්න පාසලකට යැවීමෙන් තෘප්තිමත් වූහ. 1972 දී පමණ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ 7 වන ශ්‍රේණියේ දී ය. ශිෂ්‍යත්වය කේන්ද්‍ර වූයේ අද මෙන් ජනප්‍රිය පාසල් ලබා දීමට නොව අඩු ආදායම් ලාභීන්ට ශිෂ්‍යාධාර දීමටය. එදවස ජනප්‍රිය පාසල්වලට ඇතුළු වීමට රිසි දරුවන්ට එම පාසල් මඟින් හයවන ශ්‍රේණිය සඳහා ඇතුළත් වීමේ විභාග පැවැත්විණි.

මම ද ඇතුළත් වීමේ විභාගයට ලියා මහනුවර ලංකා සභාවට අයත් විසල් මිෂනාරි පිරිමි පාසලකට ඇතුළුවීමේ අවස්ථාව ලද්දෙමි. හය වැන්නේ ද හත් වැන්නේ ද මා උගත්තේ එහිය. අට වැන්නේ සිට කෑගල්ලේ ‍රජයට පවරා ගෙන තිබූ බෞද්ධ පිරිමි පාසලක මට ඉගෙන ගන්නට ලැබිණි.

හයවැන්නේ දී මා ගිය සුප්‍රකට මිෂනාරි පාසලේ පළමුවන ශ්‍රේණියේ සිට දොළොස්වැන්න දක්වාම නේවාසිකාගාර තිබිණි. හය හා හත පන්තිවල ළමයින්ට ‘අපර් ස්ක්විලරි’ හා ‘ලෝ ස්ක්විලරි’ නමින් නේවාසිකාගාර දෙකක් විය. ඒ නේවාසිකාගාර දෙකට පොදු එක් භෝජනාගාරයක් තිබිණි. අටවැන්නේ ළමයින්ගේ නෙවාසිකාගාරය ‘සුපර් ස්ක්විලරි නම් විය. නව වන ශ්‍රේණියේ සිට දොළොස්වැන්න දක්වා ළමෝ නේපියර්, රයිඩ් හා ඇලිසන් නමින් යුත් නේවාසිකාගාර තුනකට බෙදෙති. ප්‍රාථමික අංශයේ ළමුන්ට වෙන ම නේවාසිකාගාරයක් තිබිණි. එක හා දෙක ශ්‍රේණිවල ළමුන්ගේ නේවාසිකාරය ‘මේට්‍රන් ඩෝමට්‍රි’ නමින් හැඳින්විණි. ඇයට ම ආවේණික නිල ඇඳුමකින් සැරසී උපැස් යුවළක් ලා සිටි මේට්‍රන් තේරුම් ගන්නට අපට අවස්ථාව නොලැබුණත්, නිසැකව ම ඇය කාරුණික කාන්තාවක් විය යුතු ය. නැත්නම් බාලාංශයට එන අවුරුදු හයක පමණ සිඟිත්තන් හමුවේ ඇය කෙලෙස නම් ඔවුනට අම්මා වෙමින් කෙසේ නම් පාලනය කරන්න ද? තාත්තා තරම් නොවුණත් ඉඳහිට මගේ යහළුවකුගේ මවක සමඟ අප බලන්නට එන අම්මා දිනක් මෙට්‍රන් ඩෝමට්‍රියේ සහකාර කාන්තාවන් කුඩා ළමුන් නාවන ආකාරය දැක තිබිණි.

“අනේ පුංචි පැටවු. ගෙවල්වල වගේ නෙවෙයි. නාවන කොට අපූරුවට ඉන්නවා. කලාතුරකින් ළමයෙක් තමයි අඬන්නෙ.” අපේ අම්මා ඈ දුටු අරුමය ගැන එසේ කීවා මට මතකය.

අප එදා අකුරු කළ ඒ විසල් පාසල උදේ, දිවා, සවස් සහ රාත්‍රී කාලවල ශිෂ්‍යයන් විශාල පිරිසක් දරාගෙන සිටි කෙම්බිමක් විය. නේවාසික පිරිස් නිවෙස්වල සිට පැමිණෙන අනේවාසිකයන්ට වඩා සංඛ්‍යාවෙන් වැඩිය. දවස පුරා ම පාසලේම වෙසෙන බැවින් අක්කර 25 ක් පමණ වන සුවිසල් පාසල් බිම වැඩිපුර ම දැන හඳුනා ගන්නෝ ඔවුහුය. නේවාසිකාගාරය දෛනික කාලසටහනකට අනුව ක්‍රියාත්මක වන්නකි. උදේ පාන්දරින්ම භෝජනාගාරයේ සිට හැඬවෙන විදුලි සීනුවකින් නින්ද බිඳගත් සියල්ලෝ සැණින් අවදි වෙති. එසැනින් ඉදිරිපස මිදුලට යා යුත්තේ උදෑසන ව්‍යායාම සඳහාය. ව්‍යායාම නිමා වීමෙන් පසු කඩිනමින් කෙරෙන වැසිකිළි කිස, මුහුණු දෙවීම් ආදිය නිමවන්නේ තදබදය මැදය. නිදි යහන පිළිවෙළට සකසා, නිල් කොට කලිසම හා සුදු කමිසය ඇඟලා, සපත්තු පැලඳ, (එක් පයක තුවාලයක් ඇත්නම් එයට සෙරෙප්පු පලඳා, අනෙක් පයට සපත්තුව දැමිය යුතු ය. එවිට සපත්තු කකුල් නිකං කකුල් වෙයි.) අනතුරුව භෝජනාගාරයටය. මධ්‍යාහ්න දොළහට දිවා ආහාර විවේකය පැයක් ලැබෙයි. පාසල නිමා වන්නේ සවස දෙකයි තිහටය.

පාසල හමාර වීමෙන් පසු ක්‍රීඩා ආදී කටයුතු යි. සවස සිට රාත්‍රී අට දක්වා පාසලේ පන්ති කාමරයක ගෙදර වැඩ, කියවීම් ආදිය සඳහා ‘ප්‍රෙප්’ නමින් කාලයක් වෙයි. එහි අවසානය ගෙවෙන්නේ දැඩි කුසගිනි දැනෙන විට, රාත්‍රී භෝජනය සඳහා සීනුව කවර මොහොතක නාද වේදැයි යන බලාපොරොත්තුවෙන් නොඉසිලිමත් වීම් සමඟය.

පාන් නම් අතින් කන්නට ඉඩ ලැබේ. එහෙත් බත් අනුභවය සඳහා හැඳි ගෑරුප්පු භාවිතා කළ යුතුය. කිළිටි ඇඳුම් ඇඳේ පැත්තක එල්ලා ඇති සුදු පැහැ ලිනන් බෑගයට බහාලිය යුතුය. බදාදා අප පාසලට ගිය අතරේ නේවාසිකාගාරයට පැමිණෙන ඩෝබි සෝදා මදින ලද ඇඳුම් ඇඳ මත තබා, සෝදා කැඳ දැමූ ලිනන් බෑගයක් එල්ලා පැරණි ලිනන් බෑගය රැගෙන යයි.

කතා කළ යුතු කාරණා බොහෝය. නේවාසිකාගාරය මාපිය ඇසුරේ ගැලෙන්නට කැමති ළමයි සිය කටයුතු තනිව කරගන්නට සකස් කරන තැනකි. ඒ පිළිබඳ බොහෝ දෑ ලිවිය හැක. නේවාසිකාගාරයෙන් පුද්ගල ජීවිතයේ දිගු දුරක් මතකයේ තැන්පත් වන අපූරු අත්දැකීම් ළමා ජීවිතයට එකතු කරන තැනකි.

මහානාම දුනුමාල

 

නව අදහස දක්වන්න