ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් | දිනමිණ

ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක්

දශක තුනක් තිස්සේ ඇදෙමින් ගිය බෙදුම්වාදී යුද්ධය නිමා කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වෙමින් ඇති බලපෑම්වලට අදාළ පසුබිම සහ එම වුවමනාව පිළිබඳ සිදුකෙරෙන දේශපාලන විද්‍යාත්මක විග්‍රහයකි.

ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කර ෆෙඩරල් පාලනයක් ලබාදීම බව තවමත් දෙමළ ජාතික සන්ධානය (TNA) ඇතුළු ඇතැම් කණ්ඩායම්වල අදහසය. ඔවුන් පවසන පරිදි එය දෙමළ ජනතාවගේ අභිලාෂයයි. මේ යෝජනාව 1926 පමණ සිට සාකච්ඡාවට ලක්ව ඇති අතර මේ ගැන ප්‍රථමයෙන් මතයක් ඉදිරිපත් කළේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාය. එතුමා ස්විට්සර්ලන්තය වැනි රටක පවතින මෙබඳු පාලන ක්‍රමයක් ගැන කල්පනා කළ බව පැහැදිලි වේ. ස්විට්සර්ලන්තයේ කඳුකර ආශ්‍රිතව එම කැන්ටන් ස්වභාවිකවම පිහිටා ඇත. මෙහි තත්ත්වය ඊට වෙනස්ය.

යටත් විජිත ක්‍රමය

යටත්විජිත ක්‍රමය හේතුවෙන් සිංහලයන් පවා උඩරට සිංහල සහ පහතරට සිංහල යනුවෙන් බෙදී සිටියහ. වන්නියේ තවත් පිරිසක් වූහ. ඉංගිරිසින්ගේ සංඛ්‍යා‍ ලේඛනවල ද මේ පිළිබඳ වාර්තා වූයේ එලෙස ‍ෙබදා දක්වමිනි. උඩරට සංගමය ද සෝල්බරී කොමිසමෙන් ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටියේය. බස්නාහිර දකුණ එක් ප්‍රාන්තයක්, උතුර සහ නැගෙනහිර තවත් ප්‍රාන්තයක් සහ ඉතිරි පළාත් පහ සඳහා තවත් ප්‍රාන්තයක් ලෙස එම ෆෙඩරල් යෝජනාව ඉදිරිපත් විය. යටත්විජිතවාදීන් මේ රටේ පළාත් බෙදා ඇත්තේ කතා කරන භාෂාවලට අනුව නොවේ. ජනවර්ග අනුව ද නොවේ. 1949 න් පසුව රැගෙන ආ ෆෙඩරල් යෝජනාව වඩාත් පෙරට ගෙන ආවේ 1956 න් පසුවය. 1952 මැතිවරණයේ දී ඔවුන්ට හිමි වූයේ ආසන 2 ක් පමණි. කෙසේ වුව ද බණ්ඩාරනායක මහතා පවා ෆෙඩරල් ක්‍රමයකට කැමැති වූයේ නැත. මැතිවරණවලදී ඔවුන් යම් පක්ෂයකට සහාය දැක්වූයේ ද ෆෙඩරල් බලාපොරොත්තුවෙනි. යම් රටක ෆෙඩරල් පාලනයක් ඇති වන්නේ ඒකීය වශයෙන් පවත්වාගත නොහැකි විටදී ය. ඉන්දියාව ඊට නිදසුනකි. සමස්ත ඉන්දියාවම බ්‍රිතාන්‍යයන්ට යටත් වූයේ නැත. එවක එහි පැවැතියේ රාජධානිය. මහරාජාවරු සහ මහාරාණිලා පාලනය කළ ප්‍රදේශ බ්‍රිතාන්‍යයන්ට යටත් නොවීය. ඉන්දියාවට නිදහස ලබා දෙන විට බ්‍රිතාන්‍යයන් එම රාජධානිවලින් ඉල්ලා සිටියේ භූගෝලීය සමීපතාව අනුව ඉන්දියාව හෝ පාකිස්තානය සමඟ එක්වන ලෙසය. කාශ්මීරය මේ දෙරට සමඟම එක්නොවී ස්වාධීනව සිටීමට කැමැති විය. පාකිස්තානය පවසන්නේ එය ගෝත්‍රිකයන් කළ දෙයක් බවය. ඉන්දියාව ඊට ප්‍රතිචාර දක්වන්නේ එය ගෝත්‍රික විදිහට කළ ආක්‍රමණයක් බවය. හයිද්‍රාබාද් පාකිස්තානයට එක්වීමට කැමැති විය. එහි සිටියේ හින්දු ජනයා වූව ද මහරාජා මුස්ලිම් ජාතිකයෙකි. බ්‍රිතාන්‍ය ඊට කැමැති නොවීය. මේ ගැන දෙපාර්ශ්වය අතර ගැටුම් ඇති විය. හයිද්‍රාබාද් බලකොටුව අත්කර ගැනීමට බ්‍රිතාන්‍යයන්ට වසරක පමණ කාලයක් ගත විය. මහරාජාගේ මුණුපුරාගේ අදහස වූයේ සීයාට අයත්ව තිබූ හයිද්‍රාබාදය නිදහස දෙනවිට තමන්ට අයිති විය යුතු බවය. උතුරේ ද සිදු වූයේ මෙවැනි තත්ත්වයකි. හයිද්‍රාබාදයේ මහරාජාගේ මුණුපුරා නඩු මඟට අවතීර්ණ වූ අතර ඔහු ඉන් පරාජයට පත් විය. යම් හෙයකින් ඔහු එය ජය ගත්තේ නම්, මෙහි ද නඩුවක් වැටෙන්නට ඉඩ තිබිණි.

වෙනම රාජ්‍යයක් ලෙස ගොඩනැඟීමට තෙවැනි පාර්ශ්වයක මැදිහත්වීම අවැසිය. නැගෙනහිර පාකිස්තානය හා බටහිර පාකිස්තානය වශයෙන් වෙන් වී බංග්ලාදේශය වෙනම රාජ්‍යයක් වූයේ ඉන්දියාවේ මැදිහත්වීම මතය. පාකිස්තානයේ පැවැත්ම ඉන්දියාවට හිසරදයක් වීම ඊට බලපෑවේය. ඉන්දියාව අවාමි ලීගයට සහාය දැක්වීය. උතුරේ ද වෙනම රාජ්‍යයකට සහාය දෙන ලෙස වැනි මතයක් එවක ගෙන යාමට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ කටයුතු කළේ මේ නිසාය. මැතිවරණයේ දී උතුරේ දී තරම් නැගෙනහිර දී ඔවුන්ට ඡන්ද නොලැබිණි. ෆෙඩරල් පක්ෂයේ නායක චෙල්වනායගම් මහතා මදුරාසියේදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කර ෆෙඩරල් ආකෘතිය යටතේ වෙනම පළාතක් බිහිකිරීමට ලෝක ජනතාවගේ සහාය ඉල්ලා සිටියේය. 1972 මාර්තු 06 වැනිදා “හින්දුස්තාන් ටයිම්ස්” පුවත්පතට ජවහල්ලාල් නේරු සරසවියේ දේශපාලන විද්‍යා මහාචාර්යවරියක වන උර්මිලා පණ්ඩිත් ලිපියක් සපයා තිබිණි. එහි මාතෘකාව, Tamil Bangla in Ceylon ය. ලංකාවේද බංග්ලාදේශයක් බිහිකිරීමට දරන වෑයම පෙන්වා දෙමින් ඊට එරෙහි මතයක සිට ඇය එම ලිපිය සපයා තිබූ බව පැහැදිලි වේ.

1971 කැරැල්ලත් සමඟ දේශපාලන අරමුණු ප්‍රචණ්ඩත්වයෙන් දිනා ගැනීම ගැන උතුරේ අපට අදහසක් ඇති විය. එවක අපගේ ආරක්ෂක අංශ ද යුදමය කටයුතු සඳහා අත්දැකීම් සහිත වූ හමුදාවක් නොවීය. පසුකාලීනව, ජයවර්ධන ආණ්ඩුව පත් කළ කමිටුවේ සභාපතිත්වය දැරුවේ එවක විපක්ෂ මන්ත්‍රීවරයකුව සිටි මංගල මුණසිංහ මහතාය. මෙම කමිටුව මඟින් ෆෙඩරල් පාලන ක්‍රමයක් පිළිබඳ අදහස ඉදිරිපත් කළ විට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, එය පක්ෂයේ අදහස නොවන බව ප්‍රකාශ කළාය.

ඉන්දු - ලංකා ගිවිසුම

1987 ඉන්දු - ලංකා ගිවිසුම මඟින්ද බලය බෙදීමක් සිදු විය. ඊට පෙර පැවැති 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා යටතේ බලය විමධ්‍යගත කිරීමක් කර තිබිණි. ඉන්දු - ලංකා ගිවිසුමට ඇති වූ විරෝධයත් සමඟ ජවිපෙ දෙවැනි කැරැල්ල ද ඇති විය. පළාත් සභා එපා! යන හඬ නැඟිණි. කෙසේ වූව ද පළාත් සභා වැනි ක්‍රමයක් ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මඟින් ද ඉදිරිපත් කර ඇත. ජාතික නායකත්වයට යම් පෙරහුරුවක් ද එමඟින් සිදු වේ.

ලංකාවේ ආර්ථික සංවර්ධනයට එය උපයෝගී කර ගැනීමේ අදහසක් තිබුණ ද අප මෙදෙස බැලුවේ දේශපාලන වශයෙන් මිස ආර්ථික වශයෙන් නොවේ. මේ සියල්ල මතුවීමට පළමු කාරණය අපේ රටේ ආර්ථික සංවර්ධනයත් සිදු නොවීමය. දෙවනුව ජාතික අනුකලනයක් නොතිබීමය. සිංහලයා පවා උඩරට - පහතරට යනුවෙන් බෙදී සිටියහ.

ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් යනුවෙන් ඔවුන් අදහස් කළේ මේ යෝජනාය. එල්.ටී.ටී.ඊ.ය වෑයම් කළේ සන්නද්ධ අරගලයකින් ඊළමක් ගැනීමටයි. දෙමළ ජනයාගේ අභිලාෂය නැතිනම් දේශපාලන විසඳුම යනුවෙන් ඔවුන් අදහස් කරන්නේ උතුර සහ නැඟෙනහිර ද එක්කරමින් ෆෙඩරල් රාජ්‍යයක් බිහිකිරීමය. කලින් යුගොස්ලෝවියාව පැවැතියේ ද ෆෙඩරල් රාජ්‍යයක් ලෙසය. සෝවියට්දේශය ද එසේය. සෝවියට් දේශය රාජ්‍යයන් 15 කට කැඩී වෙන් විය. යුගොස්ලෝවියාව රාජ්‍යයන් 5 කට කැඩිණි. ඉන්දියාව කාශ්මීරය සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත ද මෙහිදී අවධානයට ලක් විය යුතුය. සිම්ලා සම්මුතිය ක්‍රියාත්මකව ඇති අතර ඉන්දියාව කාශ්මීරය අත්හරින්නේ ද නැත.

ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක්

ඉන්දියාවේ පළමු අගමැති නේරු සහ කාශ්මීරයේ මහරාජා අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුණු අතර එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වෙනි වගන්තිය වශයෙන් තිබුණේ එය ය. එය පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් ඉවත් කෙරිණි. එසේ තිබියදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා එරට සංචාරයක යෙදෙන විට ඉන්දියාව ඉල්ලා සිටින්නේ 13 වෙනි සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කරන ලෙසය. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පටන් චන්ද්‍රිකා ජනාධිපතිවරිය දක්වා විවිධ ප්‍රයත්න දියත් විය. චන්ද්‍රිකා ජනාධිපතිවරිය පැකේජය ඉදිරිපත් කරමින් මීට විසඳුමක් ලබාදීමට වෑයම් කළ නමුත්, යූ.එන්.පී.ය ද ඊට එරෙහි විය. පාර්ලිමේන්තුවේදීම පැකේජයට නිග්‍රහ කළේ ඊට ගිනි තබමිනි. එල්.ටී.ටී.ඊ. ය ද ඊට නොකැමැති වූ අතර ප්‍රතික්ෂේප කළේය. නෝර්වේ මැදිහත්වීමෙන් සිදු වූ සාම ක්‍රියාවලියේදී ද ෆෙඩරල් ක්‍රමයකට සෘජුවම අදහස් දුන්නේ ද නැත. සාකච්ඡා වට 6 ක් පිටරටවල පැවැත්වුණ ද ඒවා සෘජුව පැවැති සාකච්ඡා නොවීය. Talks for Talks යනුවෙන් මේ සාකච්ඡා හැඳින් වුණේ එබැවිනි. එල්.ටී.ටී.ඊ.ය තදින්ම එල්බ සිටියේ වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහසේය. ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් ගැන අප කතා කළ ද ප්‍රතිසන්ධානය යනු දෙපාර්ශ්වයක් කරන ක්‍රියාවලියකි. එය එක් පාර්ශ්වයක ක්‍රියාවලියක් නොවේ. මෙහිදී ගැටුම යුද්ධයෙන් අවසන් විය.

අප කුඩා රටක් වූව ද තවත් සන්නද්ධ අරගල 2 ක් සිදුවී තිබේ. 1971 හා 1987 - 89 දීය. 71’ උතුරට බලපෑවේය. උතුරේ අරගලය 87-89 ට බලපෑවේය. ගැටුම් නිරාකරණය පිළිබඳ අන්තර්ජාතික පිළිගැනීමක් ඇති මහාචාර්යවරයකු වන පීටර් වොලන්ස්ටයින් පවසන පරිදි ආණ්ඩුවට එරෙහි අරගල එනම්, අප ජනවාර්ගික යනුවෙන් හඳුන්වන දේශ භූමිය පිළිබඳ අරගල මඟින් අපේක්ෂා කෙරුණේ උතුර සහ නැ‍ඟෙනහිර ද ඒකාබද්ධ කර වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීමය.

මෙවැනි බෙදීමක් ඇති වූයේ කෝල්බෲක් ප්‍රතිසංස්කරණවලින් පසුවය. රොබට් නොක්ස් සිරකරුවකු ලෙස ග්‍රහණයට ගෙන රැගෙන ආවේ මහනුවර රාජධානියට බව අප අමතක කළ යුතු නැත. එබැවින්, කොතැන හෝ මිත්‍යාවක් මැවීමේ වෑයම මෙහිදී පැහැදිලි වේ. එකම සහ අවසන් විසැඳුම මෙය ලබාදීම බවයි. එසේ වූව ද ඇත්ත නම් මීට හේතුව ආර්ථික වර්ධනයක් සිදුනොවීම බව ය.

ගැටුම් නිරාකරණය පිළිබඳ අමෙරිකානු විශාරදයකු වන එඩ්වඩ් අෂාර් මෙවැනි ගැටුම් හඳුන්වා දෙන්නේ දිගුකාලීන සමාජ ගැටුම් වශයෙනි. අවසානයේදී මේ දෙකම එකකි. එකක් ජනවාර්ගික වන අතර, අනෙක සමාජයීයවේ. අධ්‍යාපනය, කුලය ආදී සාධක මීට සම්බන්ධය. උතුරේ කුල සාධකය ඉතාමත් ප්‍රබලය. තමිල්නාඩුවට මේ කාරණය පිළිබඳ හොඳ අවබෝධයක් තිබේ. ඔවුන් මේ දෙස බලන්නේ ජනවාර්ගික ඇසින්ම නොව කුල ඇසිනි. තමිල්නාඩුවේ දේශපාලනඥයන් කිහිපදෙනකු මෙය දේශපාලන ප්‍රශ්නයක් කර ගත්ත ද සෑමවිටම එය එසේ නොවේ. බ්‍රිතාන්‍යය වැනි රටවල විශේෂයෙන් ලන්ඩනය අවට සිටින යම් පිරිසක් ලංකාවට කිසියම් බලපෑමක් කිරීමේ වෑයමක යෙදෙනු දැකිය හැකිය.

බ්‍රිතාන්‍ය ආණ්ඩුව, ස්කොට්ලන්තයට නිදහස ලබාදෙන්නේ නැත. එසේ තිබියදී ඔවුන් ශ්‍රී ලංකාවට මැදිහත්වීම් කරමින් සිටී. ‘ඩයස්පෝරාව’ ගැන මෙහිදී අවධානයට ලක්වූව ද ‘ඩයස්පෝරාව’ යනුවෙන් යෙදීම නිවැරදි නොවේ. ‘ඩයස්පෝරාව’ යනුවෙන් බයිබලයේ සඳහනක් තිබේ. ඒ ඊශ්‍රායලය සම්බන්ධව සඳහන් කිරීමේදීය. එම යෙදීම මෙතැනට නොගැළපේ. කෙසේ වූව ද මේ මතය පෙරට ගෙන යමින් සිටින්නේ ‘ඩයස්පෝරාව’ යනුවෙන් හඳුන්වන පිරිසය. ටී.එන්.ඒ. දෙමළ ජනතාවගේ අභිලාෂය යනුවෙන් සඳහන් කරන කාරණය ඩයස්පෝරාව වෙනත් අයුරකින් ඉදිරිපත් කරමින් මුදල් රැස්කරමින්, කුපිත කරවන සුළු අයුරින් හැසිරෙමින් සිටී. උතුරේ දේශපාලන නායකයන් ඉන් ආකර්ෂණයට පත්ව ඇත.

රටක ආණ්ඩුක්‍රම ව්‍යුහය එක් ජනවර්ගයක වුවමනාව මත පමණක් තීරණය වන්නේ නැති බව තේරුම් ගත යුතුය.

ධම්මික සෙනෙවිරත්න

ඡායාරූපය - රුක්මාල් ගමගේ

 

නව අදහස දක්වන්න