පවතින අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරනවා | දිනමිණ

පවතින අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරනවා

  • දරුවන්ට දිය යුත්තේ රටේ ගැටලුවලට විසඳුම් යෝජනා කරන්නට හැකි අධ්‍යාපනයක්
  •  පවතින අධ්‍යාපන ක්‍රමය යල්පැන ගිය එකක්
  • රටක් දියුණු වෙන්නට නම් ව්‍යවසායකත්ව මනසකින් යුතු පුද්ගලයන් බිහි විය යුතුයි

ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න

පොදු අධ්‍යාපනය දියුණු කිරීම සඳහා නායකත්වය දරන ශ්‍රී ලංකාවේ මූලික ආයතනය වන්නේ ජාතික අධ්‍යාපන ආයතනයයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සෞභාග්‍යමත් දේශය ගොඩනැඟීම සඳහා අවශ්‍ය ඵලදායී පුරවැසියා බිහි කිරීම අද දිනයේ අධ්‍යාපනය සතු ප්‍රමුඛ වගකීම වී තිබේ. රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය ඒ ඵලදායී පුරවැසියා නිර්මාණය කිරීමේ වගකීම පැවරී ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනය වෙතයි. රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ ඒ වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්යභාරය සම්බන්ධයෙන්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සමඟ දිනමිණ කළ සාකච්ඡාවකි මේ.

l ජාතික අධ්‍යාපන ආයතනය සතු මූලික කාර්යභාරය කුමක්ද ?

ජාතික අධ්‍යාපන ආයතනය විශේෂ පනතක් මඟින් 1985 වසරේදී තමයි ස්ථාපනය කර තිබෙන්නේ. ඒ පනත අනුව මේ ආයතනය සතු කාර්ය භාරය වන්නේ ජාතික අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීම සහ අධ්‍යාපන ඇමැතිවරයාට ඒ පිළිබඳ උපදෙස් සැපයීමයි. එයට අමතරව 1 සිට 13 ශ්‍රේණිය දක්වා අදාළ විෂය මාලා සකස් කිරීම, දෙලක්ෂ පනස් දහසක් වන මේ රටේ ගුරුවරුන්ට අවශ්‍ය වෘත්තීයමය සුදුසුකම් ලබා දීම සිදුවෙනවා. එහිදී උපාධි නැති අයට උපාධි සුදුසුකම් ලබා දීම, අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සඳහා අවශ්‍ය පශ්චාත් උපාධි, පශ්චාත් ඩිප්ලෝමා සුදුසුකම් ලබා දීම සහ ඒ අය පුහුණු කිරීම සිදු වෙනවා. ඒ වගේම, ගුරු උපදේශකවරුන්, විදුහල්පතිවරුන්, ගුරු අධ්‍යාපනඥයන්, අධ්‍යාපන පරිපාලන නිලධාරීන් පුහුණු කිරීමත් සිදුකෙරෙනවා.

විද්‍යා පීඨවල උගන්වන විෂය මාලා යාවත්කාලීන කිරීම සහ ඒ අයට උපාධි ලබා දීමත් මේ ආයතනයෙන් සිදුකෙරෙනවා. මෙවැනි විද්‍යා පීඨ 19ක් තිබෙනවා. අපට ඒ වගකීම තිබෙනවා. එයට අමතරව අපට ඉලක්ක ආයතන වශයෙන් පාසල් දසදහසකට වැඩි ප්‍රමාණයක් ති‍බෙනවා. සමස්ත අධ්‍යාපන ක්‍රමයේ පවතින විෂය මාලා යාවත්කාලීන කිරීම සහ ඒවාට ප්‍රතිකර්ම යෙදීම තමයි අපේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ.

l අපේ රට අනාගතයේ සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා, දැනට පවතින අධ්‍යාපන ක්‍රමයේ පරිවර්තනීය වෙනසක් සිදුකරන බව 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලිව සඳහන් වුණා. මේ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ සූදානම මොන වගේද?

ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව, සමස්ත අධ්‍යාපනයේ ප්‍රතිසංවිධානයක් කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සමඟ එක්ව ඒ ප්‍රතිසංවිධානයට අවශ්‍ය වෙනස් කිරීම් ක්‍රියාවට නැංවීම තමයි අපි මේ දවස්වල සිදු කරන්නේ.

සෞභාග්‍යයේ දැක්මේ ජනාධිපතිතුමා ප්‍රධාන කරුණු හතරක් දක්වා තිබෙනවා. ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, විනයගරුක සමාජයක් සහ ‍‍සෞභාග්‍යවත් දේශයක් බිහිකිරීම එම කරුණු හතරයි. සෞභාග්‍යවත් දේශයක් හදන්න නම් ඉතාම පලදායී පුරවැසි‍යන් බිහිවිය යුතුයි. පලදායී පුරවැසියන් කියන්නේ රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය පුද්ගලයායි. අපි අධ්‍යාපනයෙන් හදන්න කටයුතු කරන්නේ ඒ පුද්ගලයායි. රැකියා විරහිත උපාධිධාරීන් එසේත් නැතිනම් රටේ ආර්ථිකයට, රාජ්‍ය අංශයට, ව්‍යාපාරවලට ගැලපෙන්නේ නැති පුද්ගලයන් අධ්‍යාපනයෙන් බිහි‍ නොකළ යුතුයි. සතුටින් ජීවත්වන පවුලක් ‍වෙන්න නම් එයට අවශ්‍ය පරිසරය, විශේෂ හැකියාවන් සංවර්ධනය කළ යුතුයි. සෙසු අයට ගරු කරන විනයානුකූල දරුවෙක් අධ්‍යාපන‍යෙන් බිහිකළ යුතුයි. විනයානුකූල සමාජයක් හැදෙන්න නම් ඒ සඳහා අවශ්‍ය චින්තනය, පසුබිම අධ්‍යාපනයෙන් ‍දිය යුතුයි.

l පවතින අධ්‍යාපන ක්‍රමය රටේ ඉදිරි ගමනට බාධකයක් ලෙස ඔබ දකින්නේ ඇයි?

දැනට පවතින අධ්‍යාපන ක්‍රමය තරමක් යල් පැන ගිය එකක්. විෂය කරුණු කටපාඩම් කර විභාගයට ලියා, විභාග මානසිකත්වයෙන් එළියට එන දරුවෙක් තමයි මේ අධ්‍යාපන ක්‍රමයෙන් හැදෙන්නේ. අපි විශ්වාස කරනවා 18, 19 සියවස්වලට ගැලපෙන දරු‍වෝ දැන් 21 ‍වෙනි සියවසට ගැලපෙන්නේ නෑ කියලා. අපි දැන් ඉන්නේ හතරවන කාර්මික විප්ලවයේ. ඒ විප්ලවයට ගැලපෙන, රටේ ගැටලු විසඳන්න පුළුවන් රටේ ආර්ථික සංවර්ධනයට සක්‍රීයව දායක විය හැකි දරුවෙක් තමයි අපේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවිය යුත්තේ. හැබැයි එහෙම දරුවකුට වඩා පවතින අධ්‍යාපන ක්‍රමයෙන් හැදෙන්නේ ලියන්න, කියවන්න පුළුවන් සහ ගණිත හැකියාව තිබෙන දරුවෙක් විතරයි. නමුත් 21 වන සියවසට ගැල‍පෙන දරුවා එයට වඩා බොහෝ හැකියාවලින් යුක්ත කෙනෙක් විය යුතුයි. නිදහස ලබා අවුරුදු 73ක් ගතවී තිබුණත් අපි තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. අපි නිදහස ලබන අවදිය වනවිට අපිත් එක්ක එකට සිටි මැලේසියාව, ජපානය වැනි රටවල් වගේම, අපට වඩා පසුපසින් සිටි සිංගප්පූරුව, තායිලන්තය වගේ රටවල් අද අපටත් වඩා ඉහළ ආර්ථික හා සමාජ මට්ටම් හදාගෙන ගැටලු නැති රටවල් බවට පත් වෙලා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් ‍ලෙස තවදුරටත් නොතිබිය යුතුයි කියලා. ඒ නිසා අපේ ඉලක්කය විය යුත්තේ අනිවාර්යයෙන්ම සංවර්ධිත රටක් බවට පත්වීමයි. ඉදිරි වසර පහළව ඇතුළත අනිවාර්යයෙන්ම අපි සංවර්ධිත රටක් බවට පත් විය යුතුයි.

l එසේ සංවර්ධිත රටක් වෙන්න නම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ළඟා කර ගත යුතු ඉලක්ක මොනවාද?

සංවර්ධිත රටක් වෙන්න නම් ඒක පුද්ගල ආදායම ඩොලර් 12,000ක්වත් වෙන්න ඕනෑ. දැන් ති‍බෙන්නේ 4000යි. තවත් ඩොලර් 8,000කින් ඒක පුද්ගල ආදායම වැඩිකර ගත යුතුයි. ඩොලර් 4000 වෙන්න අවුරුදු 70ක් ගියා නම්, මේ විදිහට ගියොත් ඒක 8000 වෙන්න තවත් අවුරුදු ගාණක් යනවා. එසේ නොවී ඉතිරි අවුරුදු 15 ඇතුළත සංවර්ධිත රටක් බවට මේ රට පත් කර ගන්න පුළුවන් පෞද්ගලික අංශයක් තිබෙන, රාජ්‍ය අංශයක් තිබෙන, මහජනතාව එයට උදවු කරන, ඒකට අවශ්‍ය නායකත්වය දෙන දේශපාලනඥයන් ඉන්න රටක් බවට මේ රට පත් කරගන්න ඕනෑ. මේකට පාසල් අධ්‍යාපනය විතරක් නෙවෙයි සමස්ත ජනගහනයේ දැනුවත්භාවයේ වෙනසක් සිදුවීම අවශ්‍යයි. හේතුව අපි දැන් හිතන විදිහ පරණයි, යල්පැන ගිහින්. ඒ නිසා එක පැත්තකින් අපි පාසල් අධ්‍යාපනය වෙනස් කරනවා ව‍ගේම, රටේ ම ජනතාවගේ චින්තන මණ්ඩල විතැන් කිරීමටත් භාජනය කළ යුතුයි. ඒ සඳහා දරුවන්ට අධ්‍යාපනය ලබාදී ඔවුන් හරහා සමාජය දැනුවත් කිරීමට අපට ලොකු වගකීමක් තිබෙනවා. මෙහිදී අධ්‍යාපනයට සහ උසස් අධ්‍යාපනයට විශාල කාර්යභාරයක් ති‍බෙනවා.

පෞද්ගලික අංශය ආර්ථිකයේ එන්ජිම ලෙස හඳුන්වනවා. එය එන්ජිම වනවිට රාජ්‍ය අංශය ගියර් පෙට්ටිය ලෙස කටයුතු කළ යුතුයි. මෙ දෙක අතර දැනට එතරම් සම්බන්ධයක් පේන්න නෑ. ඒ නිසා ඒ සම්බන්ධතාව තව වැඩි කළ යුතුයි. රාජ්‍ය අංශය පෞද්ගලික අංශයට උදවු වෙන විදිහට නීති සම්පාදනය කර, ප්‍රතිපත්ති හදා රට වේගයෙන් ඉදිරියට ගෙන යන්න උදවු කරන්න ඕනෑ. ඒක අත්‍යවශ්‍යයි. මහජනතාව හැමදාම යැපුම් මානසිකත්වයේ සිටිමින් ඉල්ලීම් පමණක් සිදුනොකර 'අපට පුළුවන්' කියන මානසිකත්වය ඇතිකරගෙන මේ රට සංවර්ධිත රටක් දක්වා ගේන්න කටයුතු කළ යුතුයි. මහජනතාව කියන්නේ හරියට ‍මේ වාහනයේ රෝද වගේ. වාහනය ඉදිරියට යන්න උදවු කළ යුතුයි. දේශපාලන අංශය දැක්මක් සහිතව ඒ වාහනය පැදවිය යුතුයි.

l දේශපාලන අංශයෙන් මේ සඳහා ලැබී තිබෙන සහයෝගය ප්‍රමාණවත් ද?

මේ සඳහා අධ්‍යාපනයේ කළ යුතු වෙනස කරන්න ජනාධිපතිතුමා අප වෙත බලය ලබාදී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය, ඇමැතිතුමා අවශ්‍ය පසුබිම සකස් කර දී තිබෙනවා. ඒ වගේම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ද නිර්මාණය කර ති‍බෙනවා. මේ අනුව ජාතික අධ්‍යාපන ආයතනය සාමාන්‍ය අධ්‍යාපනයේ ඒ වෙනස ඇතිකිරීමේ පසුබිම මේ වනවිට සකස් කරමින් සිටිනවා. මේ වෙනස සිදුකරන්න ‍‍මේ වනවිට මූලික සැලසුම් සකස් කර තිබෙනවා. ජනාධිපතිතුමා මේවා ගැන ඍජුව ජනතාව සමඟ කතා කරමින් සිටිනවා. අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා, අධ්‍යාපන ලේකම්තුමා, අධ්‍යාපන රාජ්‍ය ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා, රාජ්‍ය ලේකම්තුමා ඒ ඒ දිස්ත්‍රික්කවලට ගිහින් අදහස් ලබාගෙන අලුත් අධ්‍යාපන ක්‍රමවේදය ගැන දැනුවත් කිරීම ආරම්භ කර තිබෙනවා.

පාසල් අධ්‍යාපනය විතරක් නෙවෙයි විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් ඒ හා සමානව වෙනස් වෙන්නට ඕනෑ. පාසල් පරිපාලන ක්‍රමය, විදුහල්පතිවරුන් සිතන විදිහ, ගුරුවරුන්ගේ චින්තනය, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම‍වේදය මේ සියල්ලම වෙනසකට භාජනය විය යුතුයි. ඒ අනුව මූලික වශයෙන් විෂය මාලාව, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සහ අගැයීම් ක්‍රියාවලිය වෙනසකට භාජනය කිරීමට තමයි අපි මෙහිදී මූලික වශයෙන් කටයුතු කරන්නේ.

l සාමාන්‍ය අධ්‍යාපනයෙන් එළියට එන දරුවකු සතු විය යුතු ගුණාංග ලෙස ඔබ දකින්නේ මොනවාද?

සාමාන්‍ය අධ්‍යාපනයෙන් එළියට එන දරුවකුට තිබිය යුතු ගුණාංග 6ක් අපි හඳුනාගෙන තිබෙනවා. පළමු ගුණාංගය ජාතික ආර්ථිකයට ක්‍රියාශීලීව දායක වන පුද්ගලයකු වීම. එවැනි දරුවෙක් ජාතික අධ්‍යාපනයෙන් බිහිවිය යුතුමයි. මෙහිදී ඔහු හෝ ඇය උපාධිධාරියකුම විය යුතු නෑ. ඔහු මේසන් බාස් කෙනෙක්, වඩු බාස් කෙනෙක් වුණත් වෙන්න පුළුවන්. හැබැයි ඔහු අලුත් උපකරණ පාවිච්චි කරන, තමන් කරන ඒ ක්‍රියාවලිය හරියට අවංකව කරන පුද්ගලයෙක් විදිහට තමයි අධ්‍යාපනයෙන් එළියට එන්න ඕනෑ. දෙවැනි කාරණ සඵලදායී සහ කාර්යක්ෂම සේවකයෙක් හෝ ස්වයං රැකියාවක් කරන්නෙක්. අපි හිතන්නේ අධ්‍යාපනයෙන් සේවකයෝ විතරයි හදන්න ඕනෑ කියලනෙ. සේවකයෝ විතරක් නෙවෙයි ස්වයං රැකියා කරන අයත් අපි හදන්න ඕනෑ.

රැකියා ‍ලබා දෙන ව්‍යාපාර කරන ව්‍යවසායකයොත් අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවෙන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි එවැනි ව්‍යවසායකත්ව මනසකින් යුත් පුද්ගලයෙක් බිහි විය යුතුයි. එවැනි මනසකින් යුත් විදුහල්පතිවරයෙක් සිටිනවා නම් ඔහුට පුළුවන් ආණ්ඩුවට බරක් නොවී පාසල පවා දියුණු කරගන්න. ඒ නිසා රටක් දියුණු ‍වෙන්න නම් ව්‍යවසායකත්ව මනසකින් යුත් පුද්ගලයන් බිහි විය යුතුයි. එවැනි මනසක් තිබෙන අයට රාජ්‍ය ආයතන පවා දියුණු කරලා ගන්න පුළුවන්. හතරවෙනි කාරණාව වන්නේ රටට ආදරය කරන පුරවැසියෙක් බිහිකිරීම. ඒ වටිනාකම් අපි අධ්‍යාපනයෙන් හදන්න ඕනෑ. අපි දරුවන්ට කියන්න ඕනෑ, රට දාලා යන්න එපා, ගියත් ඇවිත් ආපහු රට වෙනුවෙන් වැඩ කරන්න රට දියුණු කරන්න නම් කියලා. පස්වැනි කාරණය මනුෂ්‍යත්වය. එයත් අධ්‍යාපනයේ තිබෙන්න ඕනෑ. හයවැනි කාරණාව සතුටින් ජීවත්වන පවුලක සාමාජිකයකු බවට පත්වීම. මේ ගුණාංග හයම තිබෙන දරුවෙක් බිහිවෙන විදිහට තමයි දැන් අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සැලසුම් කර තිබෙන්නේ.

l නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ වෙනසකට භාජනය වෙන්නේ පාසල් විෂය මාලාව පමණක් ද ?

විෂය මාලාව විතරක් නෙවෙයි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමයත් සම්පූර්ණයෙන් වෙනස් කළ යුතුයි. ඉන්පසු අගැයීම් ක්‍රමය නැතිනම් විභාග ක්‍රමයත් වෙනසකට භාජනය කරනවා. ඒ සඳහා තමයි දැන් කටයුතු කරමින් ඉන්නේ. පවතින අධ්‍යාපන ක්‍රමයෙන් සිදුවන්නේ අක්‍රීය ඉගෙනුමක්. ගුරුවරයා ගිහින් ඔක්කොම උගන්වනවා. ළමයා අහගෙන ඉන්නවා. 21 වෙනි සියවසේ එහෙම කරන්න බෑ. ළමයින්ට කතා කරන්න පුළුවන්. නිදහසේ සන්නිවේදනය කරන්න පුළුවන්. ඉදිරිපත් කිරීම් කරන්න පුළුවන්. කණ්ඩායමක් විදිහට වැඩ කරන්න පුළුවන්. ඒ විදිහට ක්‍රියාශීලී ඉගෙනුම්කරුවන් තමයි 21 වෙනි සියවසට අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා පවතින අධ්‍යාපන ක්‍රමය වෙනසකට භාජනය කෙරෙනවා.

පවතින අධ්‍යාපනයේ තිබෙන්නෙ මතුපිටින් ඉගෙනීමක්. මොනවා හෝ කට පාඩම් කර විභාගයට ලිව්වා එතැනින් ඉවරයි. නමුත් 21 වැනි සියවසට වුවමනා ගැඹුරින් ඉගෙනුම් කරන අයයි. කරුණු සොයාගෙන, ඒ කරුණු විශ්ලේෂණය කර පිළිතුරු සොයා ගන්න පුළුවන් අය තමයි අවශ්‍ය ‍වෙන්නේ.

පවතින ක්‍රමය වෙනස් කරන්න නම්, දරුවා 21 වෙනි සියවසට ගැලපෙන්න නම්, ඔහු සතුව හැකියාවන් 12ක් තිබිය යුතුයි. පළමු එක විචක්ෂණශීලී චින්තනය, එනම් කටපාඩම් කරන්නේ නැතිව යමක් සොයා බලා කටයුතු කිරීම. නිර්මාණශීලීත්වය, අනෙක් අය සමඟ සහයෝගයෙන් වැඩ කළ හැකිවීම, හොඳ සන්නිවේදකයකු වීම, තිබෙන තොරතුරු මනාව ගලපා තාර්කික ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව, විවිධ මාධ්‍ය හසුරුවා ගැනීමේ හැකියාව, නිවැරදි ‍ලෙස තාක්ෂණය භාවිතා කිරීමේ හැකියාව, නම්‍යශීලීව කටයුතු කිරීමේ හැකියාව, කණ්ඩායමකට නායකත්වය දීමේ හැකියාව, මූලිකව යමක් ආරම්භ කිරීමේ හැකියාව, එනම් ආරම්භකතාව, අඩුම සම්පත් ප්‍රමාණයකින් වැඩිම ප්‍රතිඵල අත්කර ගැනීමෙ ඵලදායීතා හැකියාව සහ සමාජයත් සමඟ වැඩකිරීමේ හැකියාව ඒ කරුණු දොළහයි. මේ හැකියා දොළහම දරුවකු තුළ ඇති කළ හැකි විදිහට තමයි විෂය මාලාව සංවර්ධනය කරන්න ඕනෑ.

‍‍‍මේ දොළහට අමතරව දරුවන්ට තවත් තිබිය යුතු හැකියාවන් කිහිපයක් තිබෙනවා. ඒ තමයි තමන්ගේ චරිත සංවර්ධනය සහ පුරවැසිභාවය. චරිත සංවර්ධනය කියන්නේ වටිනාකම්. ඒවාත් තිබිය යුතුයි. එවැනි වටිනාකම් 6ක් තිබෙනවා. අනෙකාට අයට ගරු කිරීම, වගකීම් දැරීම, ඔරොත්තු දීමේ හැකියාව, අන් අයට කරුණාවෙන් සහ මෛත්‍රීයෙන් යුතුව වැඩකිරීමේ හැකියාව, අවංකකම, අනෙක් අය සමඟ සහයෝගයෙන් සතුටින් වැඩකිරීමේ හැකියාව එයට ඇතුළත්. මෙවැනි බොහෝ දේ තිබෙනවා දරුවකුගේ චරිතය සාර්ථක වෙන්න.

මීට අමතරව, දරුවකුට සමාජීය සහ භාවමය හැකියාවන් පාලනය කර ගත හැකියි. ඒ සඳහා තමන් තමන්ව ම හඳුනාගත යුතුයි. තමන්ව පාලනය කර ගැනීමේ හැකියාවත් තිබිය යුතුයි. සමාජය පිළිබඳ ඔවුන්ට නිසි අවබෝධයක් තිබිම, සමජයත් සමඟ සම්බන්ධතා පැවැත්වීමේ හැකියාව, වගකීමක් සහිතව තීරණ ගැනීමේ හැකියාව ආදියත් දරුවන් තුළ තිබිය යුතුයි. මේ සියලුම දක්ෂතා විෂය නිර්දේශයට අමතරව දරුවන්ට ලබා දිය යුතුයි. මෙය විෂය නිර්දේශ වෙනස් කිරීමෙන් පමණක් කරන්න බෑ. ඒ වටිනාකම් සහිතව අධ්‍යාපනය හදන්න ඕනෑ.

l නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ විෂය නිර්දේශය වෙනස් වෙන්නේ කොහොමද?

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පාසල් විෂය නිර්දේශ සම්පූර්ණයෙන්ම වෙනසකට භාජනය කරනවා. මෙහිදී ඉස්සර වගේ පොත් කටපාඩම් කර විභාගයට ලිවීම අපේක්ෂා කරන්නේ නෑ. ඒ වෙනුවට වැඩපොත්වලට (මොඩියුලර්) යනවා. සති 10 මොඩියුලර් තමයි තිබෙන්නේ. අවුරුද්ද සති 14 මොඩියුලර්වලට බෙදා එයින් සති 10ක් අනිවාර්යයෙන්ම ළමයි ඉගෙන ගන්නවා. මෙක ක්‍රියාශීලී ඉගෙනීමක්. පන්ති ඇතුලේ ඉඳගෙන ‍‍ගුරුවරයා කියන දේ අහගෙන ඉඳීමක් නෙවෙයි. උදාහරණයක් විදිහට පන්තියේ ළමයි 25ක් ඉන්නවා නම් ඒ පිරිස පහ බැගින් කණ්ඩායම්වලට කඩනවා. මොඩියුලර් එක ඒ අය ළඟ තිබෙනවා. මෙහිදී ගුරුවරයා කරන්නේ ඉගැන්වීම නෙවෙයි මඟ පෙන්වීමයි. එක් එක් මොඩියුලර්වලදී දරුවන් තමන්ට තිබෙන කරුණුවලට වඩා වැඩි තොරතුරු සොයාගෙන, අවශ්‍ය නම් අන්තර්ජාලයෙන් පවා තොරතුරු සොයාගෙන, සාකච්ඡා කර ඒ පස්දෙනා තමයි ඉගෙන ගන්නේ. ඉගෙන ගෙන ඒ පස්දෙනා පන්තිය ඉදිරියට ඇවිත් ගුරුවරයා ඉදිරිපිටදී ඒ කරුණු ඉදිරිපත් කරනවා. මෙසේ කිරීමෙන් ළමයින් කණ්ඩායමක් ලෙස එකට වැඩකිරීමට ඉගෙන ගන්නවා. නායකත්වය දීමට ඉගෙන ගන්නවා. පොතට සීමා නොවී තොරතුරු හොයන්න ඉගෙන ගන්නවා. ඒ තොරතුරු සාකච්ඡා කරන්න පුරුදු වෙනවා. එසේ සොයාගත් දේ නාට්‍යානුසාර‍යෙන් හෝ කවි විදිහට හෝ ඉදිරිපත් කරන්න පුරුදු වෙනවා. ඒකට තමයි අපි ලකුණු දෙන්නේ. නැතිව අවුරුද්දක් ඉගෙන ගෙන ලියන පැය තුනක ප්‍රශ්න පත්‍රයට නෙවෙයි ලකුණු දෙන්නේ. මේ යටතේ ළමයා ඉගෙනුමට ක්‍රියාශීලීව දායකවෙනවා. ඒ විතරක් නෙවෙයි ගමට පරිසරයට තමන් උගත් දේ දායකකර ගන්නවා. පරිසරය විනාශ වෙලා තිබෙනවා නම් ඒකට උත්තර හොයන්නේ කොහොමද? කුණු කසළ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒකට විසඳුම් දෙන්නේ කොහොමද ආදිය සම්බන්ධයෙන් අලුත් අලුත් විදිහට විසඳුම් හොයන්න මෙමඟින් ළමයින් ඉදිරිපත් වෙනවා. නිකම්ම න්‍යාය ඉගෙනගෙන වැඩක් නෑ. න්‍යාය කොහොමද අවට තත්ත්වයන් සමඟ ගලපා ගන්නේ කියන එක දරුවන්ට මෙයින් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ විදිහට දරුවන් ක්‍රියාශීලීව, තමන්ගේ පොළොවේ පය ගසාගත් අධ්‍යාපනයකට සම්බන්ධ කර ගැනීමට තමයි අපි දැන් කටයුතු සංවිධානය කරමින් ඉන්නේ.

l ‌මේ ක්‍රමය යටතේ ලකුණු ලබා දීම සිදුවෙන්නේ කොහොමද?

‍මෙහිදී ලකුණු 60ක් ‍පන්තියේ ඉගෙන ගන්න දේට ලබා දෙනවා. ලකුණු 40ක් පමණ තමයි අවසාන විභාගයට දෙන්නේ. ළමයි හැමදාම පාසලට එනවාද, ගෙදර වැඩ කරගෙන එනවාද, වැඩපොතක් පවත්වාගෙන යනවාද කියා සොයා බලා ඒවාට ලකුණු ලබා දෙනවා.

l කුමන වසරේ සිටද මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ?

2023 සිට තමයි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ. දැනට ඒ පිළිබඳ කටයුතු සංවිධානය කරමින් අවශ්‍ය අත්හදා බැලීම කරමින් සිටිනවා. 2023දී වෙනසක් කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ කල් ඇතිව නිර්මාණය කර තිබිය යුතුයි. ඒ නිසා කොහොමද ‍අපි මේක කරන්නේ කියලා ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ, මවුපියන්ගේ හා දරුවන්ගේ අදහස් අරගෙන මේ කටයුතු හරි විදිහට නිවැරදි මාවතට දැමීම තමයි මේ දිනවල අපි කරන්නේ.

lමේ වැඩපිළිවෙළ 2023 දී 1 සිට 13 දක්වා ශ්‍රේණිවල ක්‍රියාත්මක වෙනවාද?

නෑ. අධ්‍යාපනය වෙනස් වෙනකොට 1 සිට 13 දක්වා තමයි ‍වෙනස් වෙන්නේ. 2023දී මුලින්ම මේ වෙනස පටන් ගන්නේ 1,2,6 සහ 10 ශ්‍රේණිවලින්. උසස් පෙළටත් මෙය ක්‍රියාත්මක කරන්න ඉදිරි සතිය වනවිට අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශයත් සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට ක්‍රමිකව සමස්ත අධ්‍යාපනය වෙනස් කරන්න තමයි යන්නේ. අපි 6 පන්තියෙන් හෝ 10 පන්තියෙන් එළියට එනවිට දරුවා තුළ තිබිය යුතු ප්‍රමිතීන් මොනවාද කියලා විභාග දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා කලින්ම තීරණය කරනවා. උදාහරණයක් විදිහට උසස් පෙළ ආර්ථික විද්‍යාව කරන දරුවෙක් ගත්තොත් න්‍යායාත්මක දැනුම පාවිච්චි කරලා රටේ පවතින ගැටලුවක් විශ්ලේෂණය කර ඒ ගැටලුවට පිළිතුරු යෝජනා කිරීමේ හැකියාව සහ පිළිතුරු සෙවීමේ හැකියාව ඒ දරුවාට තිබිය යුතුයි.

l විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී අනුගමනය කරන ක්‍රියාපටිපාටිය පැහැදිලි කළොත්?

විභාගයට ප්‍රශ්න අහන්නෙත් මෙ වගේ ප්‍රායෝගික ප්‍රශ්නයි. උදාහරණයක් විදිහට අමුමිරිස් මිල පෙබරවාරි, මාර්තු වනවිට වැඩිවීම සලකා බැලුවොත් ඒ ගැටලුව නිරීක්ෂණය කර ආර්ථික විද්‍යාවේ ඉල්ලුම් සැපයුම් න්‍යාය භාවිතා කරමින් විශ්ලේෂණය කර එසේ නොවෙන්න යෝජනා ඉදිරිපත් කරන්න කියලා ප්‍රශ්නය සකස් කරන්න පුළුවන්. දිනපතා උදේට සහ සවසට ඇතිවන වාහන තදබදයට ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව විසඳුම් සෙවීම ආදියත් මෙහිදී පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේ රටේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් සෙවීමට හැකි නිර්මාණශීලී චින්තනයක් සහිත පිරිසක් තමයි රටට අවශ්‍ය වෙන්නේ. ළමයින් ඉගෙන ගන්නා අවස්ථාවේ ගුරුවරයා ළමයාගේ දියුණු විය යුතු තැන් පෙන්වා දිය යුතුයි.

සිතාරා සේනානි

නව අදහස දක්වන්න