දිල්රුක්ෂි ඩයස්ගේ පෙත්සමකට කරුණු දැක්වීමට රාජ්‍ය සේවා කොමිසමේ සභාපතිට සහ නීතිපතිට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග | දිනමිණ

දිල්රුක්ෂි ඩයස්ගේ පෙත්සමකට කරුණු දැක්වීමට රාජ්‍ය සේවා කොමිසමේ සභාපතිට සහ නීතිපතිට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

නෙල්කා මැදගෙදර

නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවන ජ්‍යේෂ්ඨයම නිලධාරිනියව සිටියදී වැඩ තහනමට ලක් කරන ලද තමන් නැවත එම තනතුරේ පිහිටුවන ලෙස ඉල්ලා හිටපු සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ගොනු කළ පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන මාර්තු මස 09වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස රාජ්‍ය සේවා කොමිසමේ සභාපති වරයා ට සහ නීතිපති වරයා ට නියම කරමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (23) නොතීසි නිකුත් කරනලදී.

සොලිසිටර් ජෙනරාල් වරිය ලෙස කටයුතු කරමින් සිටියදී ඇවන්ගාඩි නඩුවේ විත්තිකරුවකු වන නිශ්ශංක සේනාධිපති මහතා සමඟ දුරකථන සංවාද පැවැත්වූ බවට චෝදනා කරමින් වැඩ තහනමට ලක් කළ තමන් ට එරෙහි පරීක්ෂණ කඩිනම් කරන ලෙස ඇය මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත .

වැඩ තහනමට ලක් කිරීමෙන් පසුව මුලික පරීක්ෂණ මාස දෙකකදී අවසන් කළ යුතු වුවද රාජ්‍ය සේවා කොමිසම එය පැහැර හැර ඇතැයි පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේය.

එම මූලික පරීක්ෂණ වසරකට අධික කාලයක් නිමා වී නැති වීමෙන් පෙත්සම්කාරිය ට අගතියක් සිදු වී ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා සදහන් කළේය.

කරුණු සලකා බැලූ අධිකරණය වැඩිදුරටත් කරුණු සලකා බැලීම මාර්තු මස 09වැනිදා සිදු කිරීමට නියම කළේය.

නව අදහස දක්වන්න