පාකිස්තානු නායකයාගේ නව දැක්ම! | දිනමිණ

පාකිස්තානු නායකයාගේ නව දැක්ම!

පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටී. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුවය. පාකිස්තානය හැමවිටම ශ්‍රී ලංකාවේ හිතවත් රාජ්‍යයක් ලෙස ක්‍රියා කරයි. මේ මොහොතේ දෙරටේ සම්බන්ධතාව තවදුරටත් තහවුරු කිරීම දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද වැදගත් තීරණයක් සේ සැලකිය හැකිය. ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, අගමැතිවරයා හා විදේශ ඇමැතිවරයා සමඟ ද සාකච්ඡා පවත්වන බව සඳහන්ය. එලෙසම ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයක් අස්සන් කිරීමට ද නියමිතය. ඉම්රාන් ඛාන් අගමැතිවරයා යටතේ පාකිස්තානය නව ගමනක් ආරම්භ කර තිබේ. කලාපීය සාමයට හා ආර්ථික සංවර්ධනයට පාකිස්තානයේ නව දේශපාලන ගමන හොඳින් ගළපාගත හැකිය.

ශ්‍රී ලංකාව අනුගමනය කරන‍්නේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියකි. වඩාත් පැහැදිලිව කිවහොත්; නොබැඳි පිළිවෙතක් ලෙස එය විවරණය කළ හැකිය. කිසිදු බල කඳවුරක නියෝජිතයකු වීමට තමන් සූදානම් නැතැ’යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිතර සඳහන් කරයි. ඒ අනුව, ඉන්දියාව, පාකිස්තානය, චීනය, අමෙරිකාව, ජපානය යන කොයි රාජ්‍යයත් සමාන මිතුරන් ලෙස සැලකීම අපේ ප්‍රතිපත්තිය වී තිබේ. කලාපීය වශයෙන් දකුණු ආසියාවේ බලවතා ඉන්දියාව නම්; ඊළඟ බලවතා විය යුත්තේ පාකිස්තානයයි. අමෙරිකාව, චීනය හා ජපානය ලෝක බලවතුන් සේ ක්‍රියා කරමින් සිටිති. මේ සෑම රාජ්‍යයක් සමඟම දේශපාලන, ආර්ථික හා සංස්කෘතික සබඳතා ශ්‍රී ලංකාවට තිබේ. ඒවායින් අත් නොහැර ප්‍රයෝජන ගැනීම රාජ්‍ය නායකයන්ගේ වගවීමක් ලෙස පවතී.

ඉම්රාන් ඛාන් මහතා ප්‍රගතිශීලි අදහස් දරන සාමකාමී නායකයකු ලෙස ලෝකයේ ගෞරවයට පාත්‍ර වී ඇත. ඔහු සිය දේශපාලනය ආරම්භ කරන්නේ 1996 දී පී.ටී.අයි. පක්ෂය ආරම්භ කරමින්ය. පාකිස්තානය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ එම දේශපාලන ව්‍යාපාරය 2002 දී මන්ත්‍රී ආසනයක් දිනාගත් අතර 2018 දී ආණ්ඩු බලය ලබා ගත්තේය. එම මහ මැතිවරණයෙන් වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් ගැනීමට ඉම්රාන් ඛාන් මහතා සමත් විය. පී.ටී.අයි. පක්ෂය ආරම්භ වූයේ පාකිස්තානය තුළ සිදු වන මහා පරිමාණයේ දූෂණවලට එරෙහි ජනතා ව්‍යාපාරයක් හැටියටය. දූෂණ විරෝධය, ජනතා සුබසාධනය හා සාමය ගොඩනැඟීම සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ගේ රජය කාගේත් පැසසුමට ලක් වෙයි.

පාකිස්තානයේ විසි දෙවන අගමැතිවරයා වන ඉම්රාන් ඛාන් මහතා රට ගොඩනඟන ජාතික ප්‍රතිපත්තියක් ජනතාව හමුවේ තබා ඇත. බලශක්ති උත්පාදනය, පරිසර සංරක්ෂණය, කෘෂිකාර්මික නවෝදය හා දූෂණ මර්දනය එම ප්‍රතිපත්තියෙහි මූලික ලක්ෂණ වෙයි. අගමැතිවරයා රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට පියවර ගන්නේ වුව ගැටුම් සමනය කිරීමට ක්‍රියා කරයි. ඉන්දියාව සමඟ ඇතිවූ සිද්ධීන් කිහිපයකදීම එකටඑක කිරීමෙන් වැළකී සිටීමට ඉම්රාන් ඛාන් මහතා සමත් විය. අසල්වැසි ඇ‍ෆ්ඝනිස්ථානයට සාමය උදා කිරීම සඳහා දායකත්වයක් දීමට ද ඔහු සමත් වී ඇත. කලාපීය රාජ්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පාකිස්තානු අගමැතිවරයාගේ ප්‍රතිපත්තිය වී තිබේ. එය රාජ්‍ය නායකයන්ගේ ඇගයීමට ලක් වී ඇත.

ශ්‍රී ලංකාව පසුවන්නේ විදේශීය මිතුරන්ගේ සහයෝගය ගත යුතු අවස්ථාවකය. ජිනීවා මානව හිමිකම් කොමිසම මාර්තු අග තෙක් සිය සංවාද මණ්ඩපය ගෙන යයි. රටවල් හයක් අපට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල කර ඇත. මේ හැරෙන්නට දෙමළ ඩයස්පෝරාව හා තවත් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් රජයට එරෙහිව පෙත්සම් ඉදිරිපත්කොට ඇත. මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව දෙස මධ්‍යස්ථ දෘෂ්ටියකින් නොබලන බව ද පෙනෙන්නට තිබේ. මේ සියල්ල භීතිකාවක් බවට පරිවර්තනය කර ගත යුතු නැතත්; කොමිසමට හොඳ උත්තරයක් දිය හැක්කේ රාජ්‍යයන් ගණනාවක් අපට සහයෝගය දැක්වුවහොත් පමණි. පාකිස්තානය හැමවිටම පාහේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම සිදු කර තිබේ.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගැළපීම් ගණනාවක් ද තිබේ. අපේ රට මෙන්ම පාකිස්තානය ද මූලික වශයෙන් කෘෂිකාර්මික රාජ්‍යයකි. සහල්, කපු, හණ, අර්තාපල් එහි ප්‍රධාන කෘෂිකාර්මික නිර්යාත ලෙස පවතී. ලෝකයේ ප්‍රධාන සහල් නිෂ්පාදකයකු ලෙස ද පාකිස්තානය සලකනු ලැබේ. මුළු ජනගහනයෙන් 70% කට වැඩි පිරිස ග්‍රාමීය අංශය නියෝජනය කරති. ග්‍රාමීය ගොවි ගැටලු හා දුප්පත්කම රටවල් දෙකටම පොදු ලක්ෂණයකි. කෘෂිකාර්මික අංශයේ ගැටලු විසඳීම සඳහා පාකිස්තානය නව උපාය මාර්ග භාවිත කරන්නට පටන්ගෙන තිබේ. අපට ඒවායින් පාඩම් ගත හැකිය. මෑතක සිට චීනය හා අමෙරිකාව සමඟ පාකිස්තානය ගෙන යන උපාය මාර්ගික සබඳතා ද වැදගත්ය. ඉම්රාන් ඛාන් අගමැතිවරයා විදේශ ප්‍රතිපත්තිය හා එහි අනාගත සැලසුම් හොඳින් ගොඩනඟාගෙන ඇති බව පෙනෙයි.

පාකිස්තානය 1992 දී ලෝක ක්‍රිකට් කිරුළ හිමිකරගන්නේ ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේය. ක්‍රිකට් ලෝලී ජනතාවකට හිමිකම් කියන පාකිස්තානය සිය කණ්ඩායම ඉන්දියාව සමඟ තරග වදින විට වඩාත් හැඟුම්බර වෙයි. ලෝක ක්‍රිකට් කිරුළ පාකිස්තානය වෙත රැගෙන ආ නායක ඉම්රාන් ඛාන් සිය මාතෘ භූමිය ද කිරුළ කරා රැගෙන යනු ඇතැ’යි ජනතාව විශ්වාස කරති. ඔහුට ලෝකයේ බලවත් රටවල මෙන්ම අරාබි රටවල ද සහයෝගය තිබේ. ඉම්රාන් ඛාන් අවංක හා සරල පැවැතුම් සහිත නිහතමානී නායකයකු හැටියට ද ප්‍රකටය. එබඳු නායකයකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම අපට ආශීර්වාදයකි. ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇත. ක්‍රිකට් ලෝලියකු ලෙස ශ්‍රී ලංකාවට ආදරය කර ඇත. ඔහු පාකිස්තානයේ නායකයා ලෙස ද අපේ රටට හිතවත් වනු ඇත.

රාජ්‍යයන්ගේ පොදු ගැටලු විසඳා ගැනීම සඳහා කලාපීය වශයෙන් සාමූහිකව ක්‍රියා කිරීම නූතන දේශපාලන ප්‍රවණතාවකි. අපට ද ඉන් බැහැර විය නොහැකිය. මේ ක්‍රියාවලියේ දී පාකිස්තානය අපට ඉතා වැදගත්ය. දෙරටේම නායකයෝ ඒ බව වටහාගෙන සිටිති.

නව අදහස දක්වන්න