ශ්‍රී ලංකා පිල කොදෙව් බලා ගමන් අරඹයි | දිනමිණ

ශ්‍රී ලංකා පිල කොදෙව් බලා ගමන් අරඹයි

ප්‍රින්ස් ගුණසේකර

- වාස් හැලුණේ දෛනික දීමනාව මදි කියූ නිසයි
- දසුන් ශානකගේ පාස්පෝට් එක නැති වෙලා

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් ක්‍රිකට් ආයතනය එකඟ වූ මුදලට වඩා වැඩි මුදලක් ඉල්ලා සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු තනතුරෙන් චමින්ද වාස් මහතා ඉවත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. එසේම ඔහුට දීමට එකඟ වූ මුදලට සංචාරය වෙනුවෙන් ලැබෙන අනෙකුත් දීමනා ඇතුළත් නොවූ බව ද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පැවැසීය.

ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ දින 28ක සංචාරය වෙනුවෙන් දිනකට දෙන ඇමෙරිකානු ඩොලර් 75ක මුදල වෙනුවට දිනකට ඇමෙරිකානු ඩොලර් 200ක් ඉල්ලා සිටීමෙන් මෙම ගැටලුව නිර්මාණය වූ බවය. කොදෙව් සංචාරය වෙනුවෙන් රුපියල් ලක්ෂ 7.5ක මුදලක් ඔහුට අනිවාර්යයෙන් ගෙවීමට එකඟවී තිබියදී මෙම දෛනික දීමනා ප්‍රශ්නය මතුව ඇතැයි පැවැසේ.

මුළු මහත් ලෝකයම මූල්‍යමය වශයෙන් අපහසුතාවයන්ට මුහුණපා සිටින අවස්ථාවක තමන්ගේ පෞද්ගලික මූල්‍ය වාසි මත පදනම්ව ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු තනතුරෙන් ඉවත්වීමේ වගකීම් විරහිත සහ හදිසි තීරණය පිළිබඳ කනස්සල්ල පළ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයෙන් පවසා තිබුණි.

මේ අතර විදේශ ගුවන් ගමන් බලපත්‍රය හදිසියේම අස්ථානගත වීම හේතුවෙන් විස්සයි 20 නායක දසුන් ශානක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරය වෙනුවෙන් ඊයේ ගුවන් ගමනට එක් නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඇමරිකා එක්සත් ජනපදය හරහා බටහිර ඉන්දීය කොදෙව් බලා යෑමට නියමිතව තිබූ හෙයින් ඇමරිකා වීසා බලපත්‍රය ඔහුගේ නැතිවූ විදේශ ගමන් බලපත්‍රයේ සටහන්ව ඇති හෙයින් මෙම ගැටලුවට මුහුණ දුන්නේය. මෙම වීසා බලපත්‍ර ගැටලුව හැකි ඉක්මනින් විසඳීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් අදාළ බලධාරීන් සමඟ කටයුතු සිදු කරමින් පවතින අතර, අද හෝ හෙට දසුන් ශානක කොදෙව් බලා පිටත්වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා ‘දිනමිණ’ට පැවැසීය.

කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් මහතා ද කොදෙව් සංචාරයට එක්වීමට නියමිතව තිබුණත් අවසන් මොහොතේ ඔහු තනතුරෙන් ඉල්ලා අස්විය. චමින්ද වාස් මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කළ නිවේදනයේ වාස් මහතා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ සේවය අගය කරන බව ද සඳහන් කොට තිබිණි. කොදෙව් සංචාරය වෙනුවෙන් එකඟ වී තිබූ මුදල චමින්ද වාස්ගේ අත්දැකීම් පිළිබඳ සලකා බලා තීරණය වූ මුදලක් බව ද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් විය.

මේ අතර තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉතාම සාධාරණව කළ ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළ බවට චමින්ද වාස් මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කරයි. කෙදිනක හෝ යුක්තිය සහ සාධාරණය ජයගනු ඇති බව එහි සදහන් වේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඇන්ටිගුවාහි පැවැත්වෙන එක්දින හා විස්සයි 20 තරගාවලියට ක්‍රීඩකයන් 20කගෙන් යුත් සංචිතයක් නම් කිරීමට කටයුතු යොදා ඇත. එක්දින නායකයා ලෙස දිමුත් කරුණාරත්න හා විස්සයි 20 නායකයා ලෙස දසුන් ශානක නම් කොට ඇත. ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, අශේන් බණ්ඩාර, ඔෂධ ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස් , නුවන් ප්‍රදීප්, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, දිල්ෂාන් මධුසංඛ හා සුරංග ලක්මාල් සංචාරයට එක්වූ ක්‍රීඩකයෝ වෙති.මෙම සංචාරයේදී ශ්‍රී ලංකා පිල මුලින්ම විස්සයි 20 තරග 3ක් ක්‍රීඩා කරන අතර, එම තරග මාර්තු 3, 5 සහ 7 දිනවල ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රිකට් පිටියේදී පැවැත්වේ. අනතුරුව එක්දින තරගාවලිය ඇන්ටිගුවා නෝර්ත් සවුන්ඩ් හි සර් විවියන් රිචර්ඩ් ක්‍රීඩාංගණයේදී මාර්තු 10, 12 සහ14 දිනවල පැවැත්වෙන අතර, ටෙස්ට් තරග දෙක මාර්තු 21 සහ මාර්තු 29 දිනවලදී ඇන්ටිගුවා ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

 

නව අදහස දක්වන්න