උපුල් තරංගත් අන්තර්ජාතික පිටියට සමු දෙයි | දිනමිණ

උපුල් තරංගත් අන්තර්ජාතික පිටියට සමු දෙයි

ෆවුස් මොහොමඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු 36 හැවිරිදි උපුල් තරංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත. උපුල් තරංග සිය සමු ගැනීම නිවේදනය කරනු ලැබුවේ ශ්‍රී ලංකා පිලේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අන්තර්ජාතික තරග බිමෙන් ඉවත්වීමෙන් දින 5ක් ඇතුළතය.

ට්විටර් සහ මුහුණුපොතේ සිය ගිණුමේ සටහනක් තබමින් ඊයේ උපුල් තරංග කියා සිටියේ වසර 15ක් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ රැඳී සිටි තමාට ඉන් සමු ගැනීමට වේලාව එළඹී ඇති බවය.

වසර 2005 දී ඉන්දියාවට එරෙහිව අහමදාබාද් නුවරදී ටෙස්ට් වරම් දිනා ගත් මේ වමත් පිතිකරුවා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නේ ටෙස්ට් තරග 31කට ක්‍රීඩා කරමින් ශතක 3ක් සහ අර්ධ ශතක 8ක් සමග ලකුණු 1754ක් රැස් කරමිනි. වසර 2005 දී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ හෙතෙම තරග 235කට ක්‍රීඩා කළ අතර, ශතක 15ක් සහ අර්ධ ශතක 37ක් සමග රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 6951කි. ඔහු විස්සයි20 තරග 26කටත් ශ්‍රී ලංකා පිල නියෝජනය කළේය.

ඔහු අවසන් වරට ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කළේ 2019 වසරේ මාර්තු මාසයේ දකුණු අප්‍රිකානු පිලට එරෙහිව කේප් ටවුන් නුවර දී පැවැති එක්දින තරගයටය.

නව අදහස දක්වන්න