අලි පන්නන්න ආණ්ඩුවට බැරි නම් අපට ගිනිඅවි දෙන්න | දිනමිණ

අලි පන්නන්න ආණ්ඩුවට බැරි නම් අපට ගිනිඅවි දෙන්න

නාඋල - අඹන ගොවීහු ඉල්ලති

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිම එළවළු තොග සපයනා අක්කර 500ක වගා වපසරියකට හිමිකම් කියනා නාඋල - අඹන මහ වෙල්යායට වසර පහක පමණ කාලයක සිට පවතින වන අලි තර්ජන හේතුවෙන් තමන්ට ගිනිඅවි හෝ දෙන්නැයි ගොවීහු ඉල්ලා සිටිති. ගොවි පවුල් 800ක් පමණ වර්ෂයකට තුන් වතාවක් වගා කටයුතු සිදු කරනු ලබනා අඹන මහවෙල් යායේ මෙවර එළවළු සහ වී වගා සිදු කර තිබේ. පසුගියදා (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගොවීන් කියා සිටියේ අඹන, තලයාය, ආදාවල, ඕපල්ගල, සේනාගම ආදි ගම්මානවල වෙසෙනා ගොවි පවුල් දහසකට අධික පිරිසක් වන අලි හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි. මේ වන විටත් වී වගා කර ඇති කුඹුරු රැසක් වන අලි විනාශ කර ඇති බව කියා සිටි ගොවීන් අවධාරණය කර සිටියේ වන අලින් පලවා හැරීමට රජය අපොහොසත් වන්නේනම් තමන්ට ගිනිඅවි ලබාදෙන ලෙසටයි. එමඟින් තමන්ගේ වගා කටයුතු ආරක්ෂා කර ගත හැකි බව ද ඔවුහු කියා සිටියහ.

ගොවීන් වෙනුවෙන් අදහස් දැක්වූ අඹන ගොවි සංවිධානයේ ක්‍රියාකාරි සාමාජික වයි. එම්. එස්. බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

"මේ මොරගහකන්ද ජල ව්‍යාපෘතිය හින්දා අවට ගම්මානවල අක්කර දාස් ගාණක් විනාශ වුණා. ඒ වනාන්තරවල හිටපු අලි, රිළව්, මොනරු, දඬුලේන්නු සේරම දැන් එන්නේ මේ අඹන වෙල්යායට. අහල පහළ තියෙන සේරම වගා විනාශ කරනවා. කිසිම කෙනෙක් බලන්නේ නෑ. අපි කියන්නේ අලි පන්නන්න ආණ්ඩුවට පිරිස් නැත්නම් අපි ඒක කරගන්නම් අපිට ගිනිඅවි ටිකක් දෙන්න වැඩපිළිවෙළක් හදන්න කියලා. වෙන කරන්න දෙයක් නෑ. හැන්දෑ වෙනකොට පාරට බහින්න බෑ. හදාපු සේරම අලි කනවා රෑ තිස්සේ. දවල්ට මොනරුයි දඬුලේන්නුයි එනවා. මේක මහ කනගාටුදායක තත්ත්වයක්."

මෙහිදී අදහස් දැක්වූ තවත් ගොවීන් පිරිසක් කියා සිටියේ වන අලින් පලවා හැරීම සඳහා පිහිටුවා ඇති මාතලේ - රජ්ගම්මන වනජීවී කාර්යාලයේ සිටින්නේ නිලධාරීන් තිදෙනකු බවටයි. ඔවුන්ට සමස්ත මාතලේ දිස්ත්‍රික්කයම ආවරණය කර ගැනීමට නොහැකි බවත්ය. අලි වෙඩි ලබාගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා හමුවට යා යුතු බවත් එහිදී ද තමන්ට ලැබෙනා අලි වෙඩි දෙක තුනකින් වන අලි පලවා හැරීම දුෂ්කර කාර්යක් වී ඇති බවත් ඔවුහු කියා සිටියහ.

 

නව අදහස දක්වන්න