මුදල් අච්චු ගසා රට ගොඩදාන්න බැහැ - මන්ත්‍රී පාඨලී චම්පික රණවක | දිනමිණ

මුදල් අච්චු ගසා රට ගොඩදාන්න බැහැ - මන්ත්‍රී පාඨලී චම්පික රණවක

සෞභාග්‍යයේ මාවතින් සිම්බාබ්බේ මාවතට ශ්‍රී ලංකාව අද පත්ව ඇතැයි සමගි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මේ වන විට ආණ්ඩුවේ කටයුතු සඳහා මුදල් අච්චු ගැසීම කරමින් සිටින බවද රණවක මහතා අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා මෙසේද පැවසීය.

පසුගිය නොවැම්බර් මාසයේ භාණ්ඩාගාර බිල්පත් හරහා දේශීය වශයෙන් ණය ගැනීමට යාමේදී මෙවර අපට සිටියේ 45% ක් පමණි. නමුත් මීට ඉහත ආණ්ඩුවට ණය ලබාදීමට අවශ්‍ය තරම් අය පෝලිමේ සිටියහ. මේ හේතුවෙන් ඉතිරි 55% මුදල් අච්චුගැසීමට භාණ්ඩාගාරයට සිදුවිය. මුදල් අච්චුගැසීම එතරම් හොඳ දෙයක් නොවේ. අද වන විට මුදල් අමාත්‍යාංශ ලේකම් සජිත් ආටිගල සහ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ එකම විසඳුම වී ඇත්තේ මුදල් අච්චු ගැසීමයි.

වත්මන් ආණ්ඩුව 2020 වර්ෂයේ පමණක් රුපියල් බිලියන 659 ක මුදල් අච්චුගසා තිබේ. 2020 වර්ෂයේ රටේ මුළු බදු ආදායම බිලියන 1,040 කි. මේ බදු ආදායමට අමතර වශයෙන් රුපියල් බිලියන 659 ක මුදල් අලුතෙන් මුද්‍රණය කර තිබේ. මෙය 2019 වර්ෂයත් සමඟ සංසන්දනය කළ යුතුය. 2019 වර්ෂයේ මුදල් අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 04 ක් පමණි.

පසුගිය (20) ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ වාර්තාව නිකුත් වූ පසුව මේ පෙබරවාරි මාසයේ ගතවූ දවස් 19 තුළ කොපමණ ප්‍රමාණයක් මුදල් අච්චු ගසා තිබේද යන්න මා විසින් මහ බැංකුවේ දත්ත පද්ධතිය නිරීක්ෂණය කර බැලුවෙමි. මේ දවස් 19 ට පමණක් රුපියල් බිලියන 48 ක් මුදල් අච්චුගසා ඇති බව ඉන් පහැදිළි විය. බියගම මුදල් මුද්‍රණය කරන යන්ත්‍රයේ උපරිම ධාරිතාවයෙන් වත්මන් ආණ්ඩුව මුදල් අච්චුගසමින් යයි.

මෙහි යථාර්ථය පාරට ගිය විට පෙනෙන්නට තිබේ. කෙසෙල් ඇවරියක මිල රුපියල් 950 කි. අඹ කිලෝවක මිල රුපියල් 500 කි. අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1000 කි. කහ කිලෝවක මිල රුපියල් 8000 කි. මේ මුදල් අච්චු ගැසීමෙන් අපි කොපමණ ඩොලර් ඉපයූවත්, ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණ වීම වළක්වා ගැනීමට නොහැක. ඒ රුපියල් ප්‍රමාණය වැඩි වුවාට ඩොලර් ප්‍රමාණය වැඩි නොවන නිසාය.

පසුගිය ජනවාරි 19වැනි දින සංවර්ධන බැඳුම්කර හරහා වෙළෙඳ පොළෙන් (වෙළෙඳ පොළ යනු, දේශීය හා විදේශීය බැංකු වලින්) ඩොලර් මිලියන 200 ක් ලබාගැනීමට ගියද, ප්‍රතිචාර ලැබුණේ ඩොලර් මිලියන 44 කට පමණි. ඉහත දී ලංකාවට ණය ලබාදීමට තරඟයක් පැවතිණ. දැන් කුමක්ද සිදුවී ඇත්තේ ?

ඒ නිසා අපට සිදුවුණා, අපේ සංචිත වලින් එය ගෙවීමට. මතක තියාගන්න, යහපාලනයට බැන්නට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමා 2019 නොවැම්බර් 16 දින වනවිට ඩොලර් බිලියන 7.2 ක් (මිලියන 7200 ක්) මේ රටේ ඉතුරු කරල තිබුණ බව. අද අප සතු සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5 කි. ඉන් ආසන්නයෙන් 0.5 ක් රත්රන්ය.

 

නව අදහස දක්වන්න