ආනවිලුන්දාව අභය භූමියේ සිටුවූ කඩොලාන පැළ ගැලවූ තිදෙනෙක් සැකපිට පොලිස් භාරයට | දිනමිණ

ආනවිලුන්දාව අභය භූමියේ සිටුවූ කඩොලාන පැළ ගැලවූ තිදෙනෙක් සැකපිට පොලිස් භාරයට

ආනවිලුන්දාව කුරුලු අභය භූමියේ පසුගියදා උත්සවශ්‍රීයෙන් සිටුවන ලද කඩොලාන පැළ ගලවා දමා අනර්ථයක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට සැකපිට තිදෙනෙක් ඊයේ (23) අලුයම අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි.

මේ අභය භූමියට සිදු කළ විනාශය සම්බන්ධයෙන් පරිසර සංවිධාන පසුගිය කාලයේදී විරෝධතා පැවැත්වු අතර, පසුව වන ජීවී දෙපාර්තමේන්තුවෙන් එම වන විනාශය සිදු කළ ප්‍රදේශයේ කඩෝලාන පැළ සිටුවීම රාජ්‍ය අනුග්‍රහයෙන් මේ මස 02 වැනි දිනට යෙදුණු ලෝක තෙත් බිම් දිනය සමරමින් සිදු කරනු ලැබීය. ඒ අනුව මේ භූමියේ කඩෝලාන පැළ දහසකට අධික සංඛ්‍යාවක් සිටුවන ලදි.

ආනවිලුන්දාව කුරුළු අභය භූමියේ අඩවි වන සහකාර බුද්ධික උපනන්ද මහතා ආරච්චිකට්ටුව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත්, ඒ අනුව ඔහු පසුගිය 21 වැනි දින කුරුළු අභය භූමියේ සිදු කරණන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයකදී උත්සවශ්‍රීයෙන් සිටුවන ලද පැළ සියල්ල කිසිවකු විසින් ගලවා විනාශ කර ඇති බවත්, සමහර පැළ අසල කලපුවට දමා ඇති බවත් සඳහන් කර තිබේ.

මේ විනාශය සිදු කර ඇත්තේ මුතු පන්තියේ කිසියම් කණ්ඩායමක් බවට සැක කරන නිසා ප්‍රශ්න කිරීමට එම ප්‍රදේශයේ ධීවර කාර්මිකයන් තුන් දෙදෙනකු ඊයේ (23) අත්අඩංගුවට ගත් අතර එම පැළ ගලවා දැමීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවත් බුද්ධික උපනන්ද මහතා වැඩිදුරටත් පැවැසීය.

මුන්නේශ්වරම සමුහ සහ පුත්තලම දිස්ත්‍රික් සමූහ

නව අදහස දක්වන්න