ඉම්රාන් ඛාන්ගේ ලංකා ගමන | දිනමිණ

ඉම්රාන් ඛාන්ගේ ලංකා ගමන

“ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත” යන ප්‍රසිද්ධ කියමන බොරු කරමින් ක්‍රිකට් පිටිය හා දේශපාලනය තුළ එක සේ පෙළහර පා ක්‍රිකට් නායකත්වයෙන් ද, රාජ්‍ය නායකත්වයෙන්ද පාකිස්තානය තුළ ජය කෙහෙළි නැංවූ සුවිශේෂි පුද්ගලයෙකු ලෙස ඉම්රාන් ඛාන් මහතා හැඳින්විය හැකිය.

ක්‍රීඩා පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයකුට ඉම්රාන් ඛාන් යන නම ඇසූ පමණින් සිහියට නැගෙන්නේ ලෝ පතල, අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයාය. එසේම 2018 දී තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (Tehreek-e-Insaf (PTI).පක්ෂයේ නායක ලෙස ඉම්රාන් ඛාන් මහතා 22 වැනි පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත්වූයේ ය.

වසර 20 ට වැඩි දේශපාලන අත්දැකීම්, වසර 20 ට වැඩි කාලයක් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා කිරීම, ඉතා ඉහළ අධ්‍යාපනයක් ලැබූවකු වීම, සමාජ සේවා රාශියකට මුල් වීම ආදිය නිසා ඉම්රාන් ඛාන් මහතා පාකිස්තානයේ අගමැතිවීම සඳහා බොහෝ සුදුසුකම් සැපිරූ අයෙක් ලෙස සැලකේ.

පාකිස්තානු තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ නිර්මාතෘ වන්නේ ඉම්රාන් ඛාන් මහතාය. ඔහු එය පිහිටුවන ලද්දේ 1996 වසරේ දීය. 1997 දී එම පක්ෂය ඉදිරිපත් වූ පළමු මහා මැතිවරණයෙන් ඔවුන්ට එකදු ආසනයක් හෝ ජයගැනීමට නොහැකි විය. නමුත් 2002 වසරේ පැවති මහා මැතිවරණයේ දී එක් ආසනයක් හිමි කර ගත් එම පක්ෂය (ඉම්රාන් ඛාන් මහතා විසින් එම ආසනය ජයග්‍රහණය කරන ලදී. ඒ මියන්වාලි ප්‍රදේශයෙනි) 2008 වසරේ පැවති පාකිස්තානු මහා මැතිවරණයට සහභාගී නොවූයේ හදිසි නීතිය යටතේ මැතිවරණය පැවැත්වීම නිසාය. 2013 වසරේ පැවති මහා මැතිවරණයට ඉතා ශක්තිමත්ව මුහුණ දුන් ඉම්රාන් ඛාන් මහතා ඇතුළු පක්ෂය එහිදී 16.92% ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගත්තේ ආසන 35 ක් පක්ෂයට ලබා ගනිමිනි. ඉන්පසු තමන්ගේ පක්ෂය තව තවත් ව්‍යාප්ත කරනා ඉම්රාන් ඛාන් මහතා විවිධ මාර්ග ඔස්සේ ජනතාවට සිය පක්ෂය සමීප කරලීමට කටයුතු කළේය. ඉන් නොනැවතුණ ඔහු ජනතාවට තිබෙන ප්‍රශ්න වෙනුවෙන් හඬ නැඟූ අතර සිය සමාජ සේවා මෙහෙවර ද ඉදිරියට කරගෙන ගියේය. 2018 දී පාකිස්තානු මහා මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය ජය ලැබීය. ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයට කුඩා පක්ෂ සමඟින් සන්ධාන ගතවීමට සිදුවිය

1952 ඔක්තෝබර් 5 වැනිදා පාකිස්තානයේ ලාහෝරයේ උපත ලබා ඇති ඉම්රාන් අහමඩ් ඛාන් නියාසිගේ පියා වන්නේ ඉක්‍රමුල්ලා ඛාන් නියාසි ය. ඔහු වෘත්තීය සිවිල් ඉංජිනේරුවරයෙකි. ඉම්රාන් ඛාන්ගේ මව ශෞකාත් ඛානූම්ය. කුඩා කල සිටම කිසිදු ආර්ථික අපහසුතාවකට මුහුණ දී නොමැති ඉම්රාන් ඛාන්හට සහෝදරියන් සිව්දෙනකු සිටී. පාකිස්තානයේ අයිචිසන් පාසලෙන් සහ එංගලන්තයේ වොස්ටර්හී රෝයල් ග්‍රැමර් පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති ඔහු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් දර්ශන විද්‍යාව, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව (PPE) සඳහා ගෞරව උපාධියක් ලබා තිබේ. පාකිස්තානු පුරවැසියෙකුට ලැබිය හැකි දෙවැනි ඉහළම ගෞරව සම්මානය, Hilal-e-Imtiaz සම්මානයෙන් (1992) ද ඔහු පිදුම් ලබා තිබේ. එසේම 2005 සිට 2014 දක්වා කාලය තුළ ඛාන් බ්‍රැඩ්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස සේවය කර ඇත.

ඉම්රාන් ඛාන් මහතා මුල් වරට විවාහ වූයේ 1995 වසරේදී ය. ඒ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් වන ජෙමීමා ගෝල්ඩ්ස්මිත් සමඟිනි. වසර නවයකට පසු ඔවුන් දෙදෙනාගේ විවාහය අවසන් විය. එම විවාහයෙන් ඔවුන්ට පිරිමි දරුවන් දෙදෙනෙකු සිටී. ඔහුගේ වර්තමාන බිරිඳ වන්නේ බුෂ්රා බිබී ඛාන් මහත්මියයි.

1971 වසරේ දී , එවකට 18 හැවිරිදි වියේ පසුවූ ඉම්රාන් ඛාන් මහතා එංගලන්තයට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් අත්පොත් තැබුවද 1976 වසර වනතෙක් පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් නිත්‍ය ක්‍රීඩකයකු ලෙසින් ක්‍රීඩා නොකරන්නේ, ඔහු සිය අධ්‍යාපන කටයුතු සඳහා අවධානය යොමුකළ බැවිනි. ලොව එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ටම ගණයේ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ඉම්රාන් ඛාන්, ටෙස්ට් ක්‍රීඩා පිටිය තුළ තුන් ඉරියව්වෙන් දක්වා තිබෙන දස්කම් දෙවැනි වන්නේ ශ්‍රීමත් ගැරී සෝබර්ස්ගේ දස්කම් වලට පමණකැයි බොහෝ දෙනාගේ මතයයි. එක්දින සහ ටෙස්ට් යන දෙඅංශයෙන්ම හොඳම දස්කම් දක්වා ඇති ශ්‍රීමත් ඉයන් බොතම්, ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි, කපිල් දේව්, සනත් ජයසූරිය සහ ජාක්ස් කාලිස් යන ක්‍රීඩකයන් අතරට ඉම්රාන් ඛාන්ගේ නමත් එකතුවන්නේ නිරායාසයෙනි.

දකුණත් පිතිකරුවෙක් සහ දකුණත් වේග පන්දු යවන්නකු වන ඔහු 1982-92 දක්වා කාලය තුළදී පාකිස්තානු ක්‍රිකට් නායකත්වය උසුලා ඇති අතර එම කාලය තුළදී පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 48 ක් සහ එක්දින තරග 139 ක් මෙහෙයවා ඇත.

පාකිස්තානය විසින් ජයග්‍රහණය කළ එකම ලෝක කුසලානය වන 1992 ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තානය මෙහෙයවූයේ ඔහුය. 1992 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ඉම්රාන් ඛාන් ඒ වනවිට ටෙස්ට් තරග 88 දී ලකුණු 3807 ක් වාර්තා කර තිබෙන්නේ 37.69 ක ලකුණු සාමාන්‍යයක් රඳවා ගනිමිනි එහිදී කඩුලු 362 ක් බිඳ හෙලීමට ද ඔහු සමත්ය. එක්දින තරග 175 දී ඔහු විසින් රැස්කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව වන්නේ 3709 කි. එක්දින තරග වලදී කඩුලු 182 ක් ලබාගැනීමට ද ඔහු සමත්ය. 2010 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ICC Cricket Hall of Fame ලයිස්තුවට (ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන්) ඉම්රාන් ඛාන් නම් කරනු ලැබීය.

ඉම්රාන් ඛාන්ගේ සමාජ සේවා අතරින් ප්‍රධානම තැනක් ගනු ලබන්නේ ශෞකාත් ඛානූම් පිළිකා රෝහලයි. ශෞකාත් ඛානූම් පිළිකා රෝහල පාකිස්තානයේ තිබෙන විශාලතම පිළිකා රෝහලයි. 1985 වසරේ දී පිළිකාවක් හේතුවෙන් මියගිය සිය මව වෙනුවෙන් ඉම්රාන් විසින්, ඔහුගේ ප්‍රධානත්වයෙන් මෙම රෝහල ඉදිකර තිබේ. 1994 වසරේ දී ආරම්භ කර තිබෙන මෙම රෝහල සඳහා සිය මුදල්, කාලය සහ ශ්‍රමය කැප කිරීමට ඉම්රාන් කටයුතු කළේය. 1992 ලෝක කුසලානයෙන් ඔහු ලද සියලුම මුදල් මෙම රෝහල ගොඩනැංවීම සඳහා ඔහු යොදවා තිබේ. එයට අමතරව ලොව පුරා සිටින බොහෝ පිරිසක් ද මෙම රෝහල සඳහා ධනය පරිත්‍යාග කොට තිබේ.

ලාභ නොලබන රෝහලක් වන මෙය ආර්ථික අපහසුතා තිබෙන රෝගීන් සඳහා නොමිලයේ ප්‍රතිකාර කරනු ලබයි. වාර්ෂිකව මිලියන ගණනක් වූ රෝගීන්ට පිහිටක් වන මෙම රෝහලෙන් 75% දෙනෙකුට පමණ ප්‍රතිකාර කරනුයේ නොමිලයේ බව වාර්තා වේ. එසේ වූවත් ලෝකයේ තිබෙන හොඳම ප්‍රතිකාර ක්‍රමවලින් මෙම රෝහල සන්නද්ධය.ඉම්රාන් ඛාන්ගේ පෞද්ගලික සහ විවිධ පුද්ගලයන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම රෝහල පවත්වාගෙන යයි. පිළිකා සඳහා සිදුකෙරෙන පර්යේෂණ කටයුතු ද මෙම රෝහලෙන් සිදු කරන අතර මෙම රෝහලේ ප්‍රධාන මූලස්ථානය ලාහෝර් හි පිහිටා තිබේ.

ඉම්රාන් ඛාන් මහතා ලේඛකයෙක් ද වන අතර තම චරිතාපදානය ඇතුළු කෘති 6ක් ලිවීම ඒ අතරින් සුවිශේෂ වේ.

ඉම්රාන් ඛාන් මහතාගේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක් වූයේ පාකිස්තානයට නැවතත් සාමය ගෙන ඒමයි. ඔහු ඒ සඳහා කලාපීය සුහදත්වය වර්ධනය කරගනිමින් විසඳුම් සෙවීමට කැප වී සිටී. එහි තවත් පියවරක් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා 2021 පෙබරවාරි 23-24 දිනවල දී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය සංචාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද්විපාර්ශ්වික රැස්වීම්වලට සහභාගී වන අතර, ව්‍යාපාර හා ආයෝජන සංසදයක් මෙන්ම ක්‍රීඩා රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක් ඇතුළු තවත් ඉහළ මට්ටමේ කටයුතු ද සැලසුම් කොට ඇත.

ශ්‍රී ලංකා සහ පාකිස්තාන අග්‍රාමාත්‍යවරු එක්ව අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන එන ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමටද නියමිතය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මේ වසරේ සිය රටෙන් බැහැර නිරත වන මංගල නිල සංචාරයේ දී පාකිස්තානයේ ප්‍රධාන වශයෙන් රෙදිපිළි හා ඇඟලුම්, ඖෂධ, කෘෂි ආහාර, වෙළඳ භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ, වාහන අමතර කොටස්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ යන අංශවල ව්‍යාපාරික නායකයින්ගෙන් සමන්විත ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන නියෝජිත කණ්ඩායමක් ද ඒ සමඟ එක්වෙයි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍ය මක්දූම් ෂා මෙහමූඩ් කුරේෂි, වාණිජ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක අබ්දුල් රසාක් ඩාවූඩ්, විදේශ කටයුතු ලේකම් සොහෙයිල් මෙහමූඩ් යන මහත්වරුන් සමඟ පාකිස්තාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.

මෙම නිල සංචාරය තුළින් දෙරටේ සමාජ, ආර්ථික වර්ධනය මෙන්ම දෙරට අතර සුහදත්වය තර කර ගැනීමට කදිම අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සකුන්තලා ජයවර්ධන 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

නව අදහස දක්වන්න