තිස්සමහාරාමෙත් හැදෙන නුවරඑළියේ ඕකිඩ් | දිනමිණ

තිස්සමහාරාමෙත් හැදෙන නුවරඑළියේ ඕකිඩ්

සරුවට වැඩී ඇති ඕකිඩ් වගාව

නුවරඑළිය බණ්ඩාරවෙල වැනි ශීත දේශගුණයේ වැඩෙන ඩෙන්ඩ්‍රෝබියන් ඇතුළු ඕකිඩ් ප්‍රභේද රැසක් අති දුෂ්කර පළාතක් වන තිස්සමහාරාම ඇල්ලගල වැනි ප්‍රදේශයක වගා කිරීමට හැකි වීම ඉතා දුෂ්කර කටයුත්තක්ය. එහෙත් බැහැ කියලා දෙයක් නැහැ කියලා රටට කියා දුන් දිරිය කාන්තාවකි ජේ.එච්. චන්ද්‍රිකා ශාන්ති මහත්මිය. ඇය ඩෙන්ඩ්‍රෝබියන් ඇතුළු ඕකිඩ් ප්‍රභේද රැසක් සහිත මහා පරිමාණ ඕකිඩ් වගාවක් තිස්සමහාරාමයේ සිදු කරමින් සිටී. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති විශාලතම ඕකිඩ් වගාව මෙය වීම විශේෂත්වයකි.

නිවෙසේ ආර්ථිකය සරු කර ගැනීම සඳහා සැමියාට ශක්තියක් වීමට තීරණය කළ චන්ද්‍රිකා මහත්මිය මීට වසර 15කට පෙර ඉතා කුඩාවට මෙම ඕකිඩ් මල් වගාව ආරම්භ කර තිබේ. ඇය මෙම ඕකිඩ් මල් වගාව ආරම්භ කළ මුල් කාලයේදී විවිධ කෘෂිකර්ම නිලධාරීන් හා මල් වගාකරුවන් ද මුණගැසී ඕකිඩ් වගාව පිළිබඳව උපදෙස් ගෙන තිබුණ ද බොහෝ දෙනකුගෙන් චන්ද්‍රිකාට ලැබී තිබුණේ එතරම් හොඳ ප්‍රතිචාර නම් නොවේ. බොහෝ දෙනකු චන්ද්‍රිකා මහත්මියට පවසා තිබුණේ ශීත දේශගුණයේ වැඩෙන ඕකිඩ් මේ කාෂ්ඨක අව්ව තියෙන තිස්සමහාරාමයේ වගා කළ නොහැකි බවයි. නමුත් චන්ද්‍රිකා මහත්මියගේ එකම අරමුණ වූයේ කෙසේ හෝ ඕකිඩ් වගාවෙන් සිය ජීවිතය ජය ගැනීමය. මුලින්ම ඇය රෝපණය කළ ඕකිඩ් පැළ විවිධ දිලීර රෝග හේතුවෙන් විනාශ වී ගිය ද ඇය උත්සාහය අත් නොහැරියාය. නොපසුබට වීර්යයෙන් යුතුව මෙම අභියෝගය ජය ගත යුතුය යන පරම අධිෂ්ඨානය ඇතිව ආරම්භ කළ මෙම මල් වගාව කෙසේ හෝ කර ගෙන යා යුතු බවට තීරණය කළ ඇය විවිධ අත්හදා බැලීම් ඔස්සේ ඔකිඩ් වගාව කර ගෙන යන්නට වූවාය.

ශීත දේශගුණයේ පමණක් පහසුවෙන් වැඩෙන මෙම ඕකිඩ් ශාක තිස්සමහාරාමය වැනි දුෂ්කර ප්‍රදේශයක වගා කිරිම අතිදුෂ්කර කාර්යයක් වුවත් කැපවීමෙන් යුතුව කටයුතු කිරීම නිසා ඇය සිය අභියෝගය ජය ගනු ලැබුවේ සියලු දෙනා පුදුමයට පත් කරමිනි.

සිය ඕකිඩ් වගාව පිළිබඳව අදහස් දක්වමින් චන්ද්‍රිකා මහත්මිය පැවසූයේ,

"ගෙදරට වෙලා නිකන්ම කාලය ගත කිරීමට වඩා ඵලදායි දෙයක් වෙනුවෙන් හා ගෙදර ආර්ථිකය සරු කර ගැනීමට හැකි යමක් වෙනුවෙන් කාලය කැප කිරීමට මට ඕනෑ වුණා. දරුවන්ගේ අනාගතය වෙනුවෙනුත් යමක් කළ යුතුව තිබුණා. ඉතින් ඒ කටයුත්ත සැමියාට පමණක් කරන්න අමාරුයි. ඒ නිසා තමයි මම තීරණය කළේ සියලුම දෙනාට වඩා වෙනස් දෙයක් කරන්න ඕනෑ කියලා. ඒ අනුව මම ඕකිඩ් වර්ග වගා බිමක් ආරම්භ කළා. මුල් කාලයේදී විවිධ අයගෙන් මේ සඳහා උපදෙස් ඇසුවත් ඇත්තටම ඒ කිසිම කෙනෙක් මට උදව් කළේ නෑ. හැමෝම වගේ කිව්වේ මට පිස්සු කියලයි. හේතුව ශීත දේශගුණයේ හැදෙන ඔකිඩ් වියළි කාලගුණයේ හදන්න අමාරු නිසා. ඒත් මම විශ්වාස කරන දෙයක් තමයි අනිත් රටවල් වගේ නෙමේ ලංකාවේ දේශගුණික තත්ත්වයන් ගොඩක් වෙනස් බව. අපිට ඕන ශාකයක් ඒ ඒ දේශගුණයට සරිලන ආකාරයෙන් වගා කළ හැකියි. ඒ නිසා තමයි මම මේ අභියෝගය ජය ගත්තේ. බොහෝ දෙනෙක් මට කියා නොදුන් බොහෝ රහස් රැසක් මම ඕකිඩ් වගාව තුළින් අද වන විට ඉගෙන ගෙන තියෙනවා. ඇත්තටම ඕකිඩ් මල් වගාව කරන්න බලාපොරොත්තු වෙන අයට මට කියන්න තියෙන්නේ ඕකිඩ් වගාවට ඉතාමත් අවශ්‍ය සාධනීය කරුණු කිහිපයක්ම තියෙනවා. ඒ අතරට මව් ශාකය ආරක්ෂා කර ගැනීම, පැළ අංකුර ලබා ගැනීම, දිලීරවලින් ශාකය ආරක්ෂා කර ගැනීම, නිසි වෙලාවට මල් ලබා ගැනීම, නිසි පොහොර හා ජලය යෙදීම යන කරුණු ක්‍රමානුකූලව නිසි පරිදි සිදු කළ හොත් ඕකිඩ් මව් ශාකය වසර 10කට වැඩි කාලයක් හොඳට මල් වැවෙමින් තබා ගැනීමට හැකියි.

අද වන විට මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මගේ මහත්තයත් ගොවිතැන් වැඩ කළේ. නමුත් අද අපේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් වෙලා තියෙන්නේ මෙම ඕකිඩ් මල් වගාව. මට දැන් විශාල ආර්ථික ලාභයක් ගැනීමට මෙම වගාව උපකාරී වෙලා තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබෙන හොඳම ඕකිඩ් වගාව වගේම විශාලතම ඕකිඩ් වගාව තියෙන්නෙත් මට. ඒ සඳහා විවිධ සම්මාන සහතිකත් මට හිමි වෙලා තියෙනවා. මේ තැනට එන්න තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාලිංග ප්‍රියවංශ මැතිතුමා මට ගොඩක් උදව් කළා. අද මම කර්මාන්තයක් විදියට මල් වගාව කර ගෙන යන්නේ. ගමේ සහ විවිධ ප්‍රදේශවල අය මාව සොයාගෙන එනවා ඕකිඩ් මල් හා පැළ මිලදී ගැනීමට. මම අලෙවි කරන හැම ඕකිඩ් පැළයක්ම තත්ත්වයෙන් උසස්. ඒ නිසා පාරිභෝගික විශ්වාසය පළුදු විමක් සිදු වෙන්නේ නෑ. අවසන් වශයෙන් මට සමස්ත කාන්තා පරපුරටම කියන්න තිබෙන්නේ බැහැ කියලා දෙයක් නැහැ, උත්සාහය හා කැපවීම තිබේනවා නම් ජයග්‍රහණය ස්ථිර බව."

නුවන් ජයසේකර

නව අදහස දක්වන්න