දිව ඔසුවලට වස මුසු නොකරමු | දිනමිණ

දිව ඔසුවලට වස මුසු නොකරමු

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකික ආහාර වේලට විවිධ රස හා සුවඳ මුසු කළ කුළුබඩු, පාරම්පරික වෛද්‍ය මතයට අනුව දිව ඔසු ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. ගම්මිරිස්, කුරුඳු, එනසාල්, කහ, ඉඟුරු පමණක් නොව කරාබු, සාදික්කා ඇතුළු සියලුම කුළුබඩු අපගේ ආහාර වේල රසවත් කරමින් හා සුවඳවත් කරමින් අප සමඟම දීර්ඝ ගමනක යෙදී සිටී. දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අපගේ සෞඛ්‍ය රැක ගැනීමට කුළුබඩුවලින් ලැබෙන මෙහෙය මෙතෙකැයි තක්සේරු කළ නොහැකිය. ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කර තරබාරු බව අඩු කිරීම, කෑම රුචිය වර්ධනය කිරීම, ශරීරය සිසිල් කිරීම, හමේ රෝග සුව කිරීම මෙන්ම ශරීර අභ්‍යන්තර පිරිසුදු කාරකයක් ලෙස ද කුළුබඩු වැදගත් මෙහෙයක් ඉටුකරයි. මීට අමතරව රුධිරගත සීනි මට්ටම අඩු කිරීම, කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකිරීම, පිළිකා අවදානම අඩු කිරීම, ආසාදන හා වයිරස් රෝගවලට එරෙහි ප්‍රතිශක්තිය ඉහළ නැංවීම මෙන්ම අජීර්ණය, ආම වාතය වැනි රෝග සුව කිරීමට ද කුළුබඩුවලින් ලැබෙන මෙහෙය සුළුපටු නොවේ.

අපගේ ජීවිතය රැක ගැනීමට මාහැඟි මෙහෙවරක් ඉටුකරන මෙවන් වූ දිව ඔසුවලට අපගේ නොසැලකිල්ල නිසාම වස මුසු වේ නම් එය අභාග්‍යයක්ම නොවන්නේද? ශ්‍රී ලාංකීය කුළුබඩු, වගාව ආරම්භයේ සිටම අස්වැන්න නෙළීම, අස්වැන්න සකස් කිරීම, ගබඩා කිරීම හා වෙළඳපොළ වෙත ඉදිරිපත් කිරීම දක්වා වූ දීර්ඝ ක්‍රියාවලියේදී සිදුකරනු ලබන කෘෂිකාර්මික හා පසු අස්වනු කළමනාකරණ කටයුතුවලදී අවසාන නිෂ්පාදිතය සමඟ නොයෙකුත් රසායනික ද්‍රව්‍ය හා විෂ ධූලක වර්ග මුසුවන ආකාරය හා එම අවස්ථා අවම කර ගනිමින් ගුණාත්මක බවෙත් උසස් සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදිතයක් ලබා ගන්නා ආකාරය පිළිබඳව මෙසේ සලකා බලමු.

අපනයන කෘෂිකාර්මික භෝග ආශ්‍රිත ප්‍රධානම ආසාදිත ද්‍රව්‍ය ලෙස කෘමිනාශක අවශේෂ. ක්ෂුද්‍රජීවී ආසාදන, කෘමිහානි සහ අපද්‍රව්‍ය, විෂධූලක වර්ග, ආදිය දැක්විය හැකිය.

නිරෝගි රෝපණ ද්‍රව්‍යවලින් වගාව ආරම්භ කරමු. රෝග, පළිබෝධවලින් තොර අතු කැබලි හෝ බීජ වගාව ආරම්භ කිරීම සඳහා යොදා ගැනීමෙන් රෝග පළිබෝධවලට පහසුවෙන් ගොදුරු නොවන දිරිමත් ශාක ලබාගත හැකි වනවා ඇත. නීරෝගි වගාබිමක් පවත්වා ගැනීමෙන් වගා කාලය තුළදී බාහිරෙන් යෙදිය යුතු වන කෘමිනාශක, දිලීර නාශක ආදිය අවම මට්ටමක පවත්වා ගත හැකි වේ.

ඉඟුරු වගාවේදී බහුලව දැකිය හැකි අල කුණු වීමේ රෝග තත්ත්වයන් වළක්වා ගත හැකි ප්‍රධානම ආකාරය වන්නේ නිරෝගි රෝපණ ද්‍රව්‍ය භාවිත කිරීමයි. රෝග හා පළිබෝධ හානි මූලික අවස්ථාවේදීම හඳුනා ගනිමු.

තම වගාව පිළිබඳව නිරන්තර අවධානය යොමු කිරීම මඟින් රෝග හා පළිබෝධ හානි මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීමට හැකි වේ. මෙමඟින් රෝග හා පළිබෝධ පැතිරීම පාලනය වන අතර බාහිරෙන් යෙදිය යුතු රසායනික ප්‍රමාණය අවම මට්ටමක පවත්වා ගත හැකිය.

ගම්මිරිස් වගාවේ ක්ෂණික මැලවීමේ රෝගය, ගම්මිරිස් වගාවේ කඳන් විදින කුරුමිණියාගේ හානිය, ඉඟුරු අල කුණුවීමේ රෝගය, ඉඟුරු සහ කහ වගාවන්හි පුරුක් පණු හානි ආදී තත්වයන්හිදී මූලික අවස්ථාවේදීම හඳුනා නොගැනීම හෝ රෝගය වැරදි ලෙස හඳුනා ගැනීම නිසා විවිධ රසායනික ද්‍රව්‍යවලින් තම වගාවන් නෑවීමට ගොවි මහතුන් පෙලැඹී ඇත.

 

නිර්දේශිත රසායනික ද්‍රව්‍ය නිර්දේශයන්ට අනුකූලව භාවිත කරමු

රෝග පළිබෝධ හානි ඇති විට නිර්දේශිත රසායනිකය නියමිත මාත්‍රාවෙන්ම පමණක් යෙදීම වැදගත් වේ. බොහොමයක් ගොවි මහත්වරුන් කෘමිනාශක අලෙවිසැල්වලින් දෙන නිර්දේශයන් පිළිපැදීම නිසා තම අවසාන නිෂ්පාදිතය විවිධ බැර ලෝහ වර්ගවලින් අපවිත්‍ර කරගනී. සාමාන්‍යයෙන් කාමිනාශකයක හෝ දිලීර නාශකයක ක්‍රියාකාරී කාලය සති දෙකකි. එම නිසා පළමු වරට රසායනික ද්‍රව්‍ය වගාවට යෙදීමෙන් පසු දෙවන යෙදීම සිදු විය යුත්තේ සති දෙකක කාලයකට පසුව පමණි. මීට වඩා අඩුකාල අන්තරයකදී රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් අපගේ අවසාන නිෂ්පාදිතය රසායනික ද්‍රව්‍ය වලින් අපවිත්‍ර වීමට වැඩි හැකියාවක් පවතී.

 

කාබනික වගාවන්ට හැකි පමණ යොමු වෙමු

කොම්පෝස්ට්, ගොම, කොල පොහොර ආදිය හැකි පමණ වගාවට යෙදීම මඟින් රසායනික පොහොර අවශ්‍යතාව සීමා කළ හැකි වනවා මෙන්ම වගාව රෝග හා පළිබෝධ හානිවලට ලක්වීම ද පාලනය වේ. ගම්මිරිස් වගාවේ ආධාරක ශාක කප්පාදු කිරීමෙන් ලැබෙන කොළ පොහොර ඉතා හොඳ නයිට්‍රජන් පොහොරක් බව සොයා ගෙන ඇත.

 

 

අස්වැන්න නෙළීම සඳහා පිරිසුදු කූඩ හෝ

මලු භාවිත කරමු

නෙළන ලද අස්වැන්න බිම හෙළිම මඟින් පස් සමඟ මිශ්‍ර වීමෙන් අපවිත්‍ර විය හැකිය. කරාබු, සාදික්කා ආදි භෝගයන්හි අස්වැන්න නෙළීමේදී පිරිසුදු, වියළි භාජන භාවිත කිරීමෙන් පවිත්‍රතාවය රැක ගත හැකි වනු ඇත. අපිරිසුදු ගෝනි හෝ තෙත පොලිතීන් මලු භාවිත කිරීමෙන් ක්ෂුද්‍රජීවී ආසාදන ඇති වීමටත් වැඩි හැකියාවක් ඇත. මේ සදහා රසායනික පොහොර මලු භාවිත කිරීමෙන් අවසාන නිෂ්පාදිතය රසායනික පොහොරවලින් අපවිත්‍ර වනු ඇත.

 

අස්වැන්න වියළන ස්ථානය පිළිබඳව

සැලකිලිමත් වෙමු

අපේ රටේ බොහොමයක් ගොවීන් ගම්මිරිස්, කරාබු, කුරුඳු ආදී තම නිෂ්පාදන වියළීම සිදු කරන්නේ සූර්යාලෝකය භාවිතයෙනි. නෙළන ලද අස්වැන්න සකස් කිරීමේදී හා වියළීමේදී පස සමඟ සම්බන්ධ වීමේ අවස්ථා හැකි තරම් අවම කිරීම මඟින් පාංශු ක්ෂුද්‍රජීවීන් මඟින් සිදු විය හැකි ආසාදන වැළැක් විය හැකි බව මෙන්ම නිෂ්පාදිතය වැලි සහ පස් අංශු මඟින් අපිරිසුදුවීම ද වැළැක්විය හැකිය. බිම පැදුරු මත අතුරා වියළීමේදී පස්, දූවිලි, කොළ රොඩු පමණක් නොව සතුන්ගේ කෙස්, ලොම්, මල මුත්‍ර ආදියෙන් ද අපවිත්‍ර වීමට වැඩි හැකියාවක් පවතී. වාහන ගමන් ගන්නා පාරවල් දෙපස මේ සඳහා යොදා ගැනීමෙන් අපගේ නිෂ්පාදනයන් වාහන මඟින් නිකුත් කරන විස දුම මඟින් ද අපවිත්‍රවනු ඇත. මෙලෙස ගම්මිරිස්, සාදික්කා, වසාවාසි ආදිය පාරවල් දෙපස පැදුරු මත වියළීම අපේ රටේ සුලභ දර්ශන ලෙස ඔබ ද දැක ඇතුවාට සැක නැත. උස්ව තනන ලද ආරක්ෂිත කමත් මත වියළීමෙන් හෝ කෘත්‍රිම වියළන භාවිත කිරීමෙන් අපද්‍රව්‍යවලින් තොර පිරිසුදු නිෂ්පාදිතයක් ලබා ගත හැකි වනවා ඇත.

 

අස්වැන්න නිසි පරිදි වියළීම සිදු කරමු

ගබඩා කිරීම සඳහා අස්වැන්න වියළීමේදී තෙතමනය නිසි පරිදි අඩු කළ යුතුය. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුකූලව එක් එක් නිෂ්පාදිතයේ තිබිය යුතු තෙතමන ප්‍රතිශතයන් මෙලෙස දක්වා ඇත. ඒ අනුව කුරුඳු සඳහා 14% ක් ද, ගම්මිරිස් ( 1 ශ්‍රේණිය) සඳහා 12% ක් ද කරාබු (සියලුම ශ්‍රේණි) සඳහා 12% ක් ද ලෙස දක්වා ඇත. තෙතමනය වැඩි වීමෙන් ගබඩා කාලය තුළදී පුස් වර්ග වැවීම නිසා කුළුබඩුවල ගුණාත්මක බවට හානි වීමට ද අපිරිසුදු වීමට ද වැඩි ඉඩක් පවතී. ඒ අතරින් අස්පර්ජිලස් පැරසිටකස් (Aspergillus parasiticus) සහ අස්පර්ජිලස් ෆේලේවස් (Aspergillus flavus) වැනි පුස් වර්ග සහිත ආහාර ද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා එම දිලීර මඟින් නිෂ්පාදිත ඇෆ්ලාටොක්සින් (Aflatoxin) නමැති විස ශරීරගත විය හැක. ආසාදිත ආහාර ද්‍රව්‍ය ඉහළ උෂ්ණත්වයකට රත් කිරීම මඟින් (ආහාර පිසීමේදී) දිලීරය විනාශ වීම සිදු වුවද ඇෆ්ලාටොක්සින් විනාශ වීමක් සිදු නොවේ. දිගින් දිගටම මෙම විස ශරීරගත වීමෙන් අක්මාවේ පිළිකා ඇති වීමේ අවදානම ඉහළ බව සොයා ගෙන ඇත.

ඉහත කරුණු සියල්ල සලකා බලා දිව්‍යමය ඔසු ගුණ සහිත කුළුබඩුවල ඇති ගුණාත්ම බව රැක ගනිමින් වසවිස මුසු වීම හැකි පමණ අවම කිරීමට අපිත් උත්සාහ කරමු. කෙසේ වෙතත් මිනිසා වර්තමානයේ ක්ෂුද්‍ර ජීවී ආසාදන, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම, විස රසායනික ද්‍රව්‍ය ශරීරගතවීම් ආදිය පිළිබඳව ලබා ඇති දැනුම් සම්භාරය හා සසඳන කල අප ගන්නා ආහාර සෞඛ්‍යාරක්ෂිත ඒවාම විය යුතු බව අවිවාදයෙන් පිළිගත යුතුය.

 

රුචිරා කොඩිතුවක්කු

ශාක ව්‍යාධිවිද්‍යා අංශය

මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානය - මාතලේ

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

නව අදහස දක්වන්න