මම සාම්ප්‍රදායානුකූල විජලන කලාව කරන්නේ නෑ | දිනමිණ

මම සාම්ප්‍රදායානුකූල විජලන කලාව කරන්නේ නෑ

වෙල් අල කොළ

ගමේ ගොඩේ වෙලේ හැදෙන අල කොළ, කොහිල කොළ වගේම කොහිල අලත්, මඤ්ඤොක්කා කොළ මාළුවත් කන්න ආස නැති කෙනෙක් නම් අපේ ‍රටෙන් සොයා ගන්න බැරි වේවි. මෙහි රස වගේම ගුණ ගැනත් දැන ගත් විට පිටරැටියනුත් මේවා බොහෝ කැමැත්තෙන් රස බලනවා නොඅනුමානයි. මේ ශාක වර්ග වගේම අතට අහුවෙන හැමදේම වස විස හැරුණාම වෙනස් විදියට වෙනස්ම කෑමක්, බීමක් හදන්න දක්ෂයෙක් තමයි රත්නපුරේ, කෙහෙල්ඕවිටිගම පදිංචි සුරංග පුෂ්පකුමාර. කවුරුත් කරන්න උත්සාහ කරන එකම දේ නැතිව වෙනස් විදියට වෙනස්ම දෙයක් කරන්නයි ඔහු උත්සාහ කරන්නේ.

 

• ඔබ කරන වෙනස්ම දේවල් මොනවා ද?

මම වෙල් අල කොළ මාලුව හදනවා. ඒක මාලුවක් කිව්වට වෙල් අල කොළ වේළලා ඒවා සමඟ ගොරකා, කොච්චි මිරිස්, රම්පෙ, කරපිංචා වෙන වෙනම දාලා එම මාළුව සකස් කරගන්න ඉතා පහසු විදියට ඇසුරුම් කරනවා. ඒ වගේම කොහිල අල පිටි, හල් පිටි කැඳ, කොහිල පිටි කැඳ, දොඩම් ලෙලි පිටි, සුදු ලූනු සහ ඉඟුරු පිටි අළු කෙසෙල් අල පිටි සකස් කරනවා.

 

• මේ දේවල් හැරුණාම තව මොනවද ඔබ විජලනය කර සකස් කරන්නේ?

ඖෂධීය ශාකසාර තේ (Herbal tea) හදනවා. ඒ සඳහා මම වැල් පෙනෙල, මොනරකුඩුම්බිය, ඉරමුසු, නෙල්ලි, රසකිඳ, නීරමුල්ලිය, පොල්පලා, නිල් කටරොළු, කුරුඳු, ඉඟුරු, කොත්තමල්ලි යොදා ගන්නවා. මීට අමතරව කැරට්, බීට්, වට්ටක්කා වැනි එළවළුත් අර්තාපල්, ලූනු, රම්පෙ, කරපිංචාත්, කහත් පවුඩර් කරනවා. ඒ වගේම කවුරු හරි මේවාට වඩා වෙනස් දෙයක් ඉල්ලුවොත් ඒ හැම දෙයක්ම ඒ අයට ඕනෑ විදියට සකස් කර දෙනවා.

 

• ඔබ ජීවත් වෙන මේ ප්‍රදේශයේ වෙල් අල කොළ සහ මේ හැම දෙයක්ම තිබෙනව ද? ඔබ මේ දේවල් සොයා ගන්නේ කොහොම ද?

මේ ප්‍රදේශයේ ගොඩක් දේවල් තිබෙනවා. මෙහෙ ගොවි මහත්වරුන්ගෙනුත් මම අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්නවා. ඒ වගේම මම ගොඩක් දේවල් ගෙන්වා ගන්නේ මුහුණු පොත හරහායි. මට මේ දේවල් අවශ්‍යයි කියලා පෝස්ට් එකක් දැම්මාම රට වටේම අය මේවා බෑග්වල දාලා තැපෑලෙන් මට එවනවා.

 

• ඔබ මොනවත්ම වගා කරන්නේ නැද්ද?

මම ව‍ත්තේ කොහිල වවනවා. කොහිල කොළත් අලත් මගේ ගෙවත්තෙන් තමයි ගන්නේ. පලා කොළ වර්ග මට ගමේ අය ගෙනැත් දෙනවා. මේ කිසිම භෝගයකට පොහොර දාන්නෙ නෑ. සියයට සියයක්ම ස්වාභාවිකයි.

 

• මේ දේවල් කොහොමද සකස් කරන්නේ?

හැම දෙයක්ම හොඳින් සෝදලා හොඳ දේවල් ටික වෙන් කර ගන්නවා. ඊට පස්සේ කපන්න ඕනෑ දේවල් කපලා විජලන යන්ත්‍රයෙන් වේලා ගන්නවා.

 

• පලා වර්ග සහ අනෙකුත් දේවල් විජලනය කරන්න ඔබ දැනුම්වත් වුණේ කොහොමද?

මගේ ගමේ අයියා කෙනෙක් විදාතා එකේ වැඩ කළා. එයාගෙ මාර්ගයෙන් මම එහි පැවැත්වුණු වැඩමුළුවලට සහභාගි වුණා. ඒ 2014 වසරේදී. මම අහම්බෙන් දැක්කා විදාතා එකේ පැත්තකට දාලා තිබුණු මැෂින් එකක්. මම එහි තාක්ෂණ නිලධාරි ශ්‍රීලාල් සර්ගෙන් ඇහුවා ඒ කුමක් ද කියා. එය විජලන යන්ත්‍රයක් ඕන නම් මට අරන් ගිහින් බලන්න කීවා. ඒකට ලී කුඩු දාලා ගින්දර දාලා රස්නෙන් තමයි විජලනය කරන්නේ. මම මුලින්ම ඒකෙන් තමයි මේ වැඩේ පටන් ගත්තේ. මට ලැබුණු ප්‍රතිචාර ගොඩක් හොඳ වුණ නිසා මම අලුත් විජලන යන්ත්‍රයක් අරගෙන මේ වැඩේ දිගටම කරගෙන යනවා.

 

• ඔබගේ මෙම ගම් මට්ටමේ නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට ද? විදේශීය වෙළෙඳපොළටද යවන්නේ?

දේශීය සහ විදේශීය වෙළෙඳපොළ දෙකෙන්ම මට හොඳ ඉල්ලුමක් තිබෙනවා. විදෙස් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් වගේම විදේශීයයන්ගෙනුත් මේ සඳහා ඉල්ලුමක් තිබෙනවා. මුහුණු පොත හරහා තමයි මගේ නිෂ්පාදන කටයුතු ‍බොහෝ දුරට කෙරෙන්නේ. ඊට අමතරව මේවා අපෙන් තොග වශයෙන් අරගෙන එයාලගෙ නිෂ්පාදන නාමයන්ගෙන් පිටරට යවන අයත් ඉන්නවා. කොරියාවට, ඊශ්‍රායලයට, ඉතාලියට සහ ඕස්ට්‍රේලියාවට තමයි වැඩිපුර මගේ නිෂ්පාදන යවන්නේ.

 

• වැඩිපුර ඉල්ලුම තිබෙන්නේ මොනවාට ද?

වැඩිපුර ඉල්ලන්නේ දේශීය ආහාර. වෙල් අල කොළ, මඤ්ඤොක්කා කොළ වගේ දේවල්. ඒවා හදන්න ලෙහෙසි කරලාම දෙන නිසා කවුරුත් කැමතියි. අද බොහෝ කාර්යබහුල කාන්තාවන් කැමැති ක්ෂණිකව කෑමක් හදන්න. ඒ නිසා මගේ දේවල්වලට හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඉදිරියේදී මම කොළ කැඳක් හදනවා.

 

• මේවාට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

ගොඩක් හොඳයි. මේ දේවල්වල රස බලපු හැමෝම මට කතා කරලා රස ගුණ කියනවා. විශේෂයෙන් වෙල් අල කොළ ගොඩක් ලේ වඩන, පිළිකා සෛල නසන ඖෂධීය ගුණ සහිත ශාකයක් බව ආයුර්වේද පොත්පත්වල සඳහන් වෙනවා. කටේ හැදෙන උෂ්ණ බිබිලිවලටත් මේවා ගොඩක් හොඳයි.

සුරංග පුෂ්පකුමාර

 

• ඔබට මේ දේවල් කරන්න සහාය වෙන්නෙ කවු ද?

මං ළඟ ස්ථිරව දෙන්නෙක් වැඩ කරනවා. ලොකු ඇණවුමක් (Order) ආවොත් ගමේ පිරිසක් ඇවිත් උදවු කරනවා. මමත් ගමේ අයට ගොඩක් උදවු කරනවා. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ පාරිභෝගිකයා සතුටු කරන්න. මම රැකිලා ඉන්නෙ ඒ අය නිසයි. මම සාම්ප්‍රදායානුකූල විජලන කලාව කරන්නේ නෑ. හැම වෙලාවෙම මම උත්සාහ කරන්නෙ පාරිභෝගිකයාට අලුත් දෙයක් දෙන්න.

සුරංග පුෂ්පකුමාරගෙන් යමක් දැන ගැනීමට අවශ්‍ය නම් හෝ ඔබගේ ගෙවත්තේ, වෙල් ඉපනැල්ලේ වැවෙන අල කොළ හෝ ඕනෑම දෙයක් ඔහුට සපයා දීමට කැමති ඕනෑම අයකුට [email protected] ඊමේල් ලිපිනය ඔස්සේ ඔහු හා සම්බන්ධ විය හැකියි.

 

                                                    මඤ්ඤොක්කා කොළ මැල්ලුම                                                                කොහිල අල කැඳ සහ පිටි           හල් පිටි කැඳ                                                                                               

චතුමී පිටිපන

 

නව අදහස දක්වන්න