නිදහස් කරන්නැයි ඉල්ලූ හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම නිෂ්ප්‍රභයි | දිනමිණ

නිදහස් කරන්නැයි ඉල්ලූ හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම නිෂ්ප්‍රභයි

පාස්කු දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රහාරය කළ බෝම්බකරු සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන මාස දහයකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත තබා ගෙන සිටින තමන් වහාම නිදහස් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන මෙන් ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ගොනු කළ රිට් පෙත්සම ඊයේ (24) ඉල්ලා අස් කර ගත් බැවින් එය නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

මේ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගණේපොළ යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබිණි.

පෙත්සම්කරු අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා සිටි සහනය දැනටමත් ලැබී ඇති නිසා මේ පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර දෙන ලෙස ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එහිදී විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

අධිකරණය ඒ සඳහා අවසර දුන්නේය.

තමන් තව දුරටත් රඳවා තබා ගැනීමට අදාළව ඉකුත් ජනවාරි මස 11වැනිදා ගන්නා ලද රැඳවුම් නියෝගය බල රහිත කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද මේ පෙත්සම මගින් ඉල්ලා තිබුණි. පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති මෙහි වගඋත්තරකරුවෝ වෙති.

නෙල්කා මැදගෙදර

නව අදහස දක්වන්න