ප්‍රතිපත්තියක් නැති ගොවි රජවරු! | දිනමිණ

ප්‍රතිපත්තියක් නැති ගොවි රජවරු!

ආණ්ඩුව පෞද්ගලික අංශය සමඟ තරග කරමින් වී මිලට ගැනීම ආරම්භ කර තිබේ. පෞද්ගලික අංශය යැයි කියූව ද එය පිටුපස ඇත්තේ වී මෝල්කාරයන් කිහිපදෙනෙකි. කෘෂිකර්ම අමාත්‍යවරයා මෙබඳු තීන්දුවක් ගනු ලබන්නේ ගොවියාත්, පාරිභෝගිකයාත් යන දෙදෙනාටම යුක්තිය ඉටුකිරීම සඳහාය. රටේ පවතින්නේ විවෘත වෙළෙඳපොළකි. එය පාලනය කිරීම දුෂ්කර කටයුත්තකි. එහෙත් ගොවියාට ද පාරිභෝගිකයාට ද යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුවක් ඉදිරිපත් විය යුතුය. ඇතැම් ආණ්ඩු මේ වගකීම අතහැර දැමූව ද වත්මන් ආණ්ඩුව වගකීම කරට ගෙන ක්‍රියා කරයි. කෘෂිකර්ම අමාත්‍යවරයා ‍එහි පෙරමුණ ගෙන සිටී. ඔහු නිවැරැදි ප්‍රතිපත්තියක සිට නිර්භීත තීන්දු-තීරණ ගන්නා බව පෙනෙයි.

රටේ පරිභෝජනයට අවශ්‍ය තරම් වී නිෂ්පාදනයක් පැවතුණ ද, වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත් සහල් තොග නැත. ප්‍රධාන වී මෝල්කාරයෝ තෝරාගත් සහල් වර්ග සඳහා කෘත්‍රිම හිඟයක් ඇති කරති. ඒ මිල ඉහළ දැමීම සඳහාය. රටේ සහල් වෙළෙඳපොළ මුළුමනින්ම හසුරවනු ලබන්නේ වී මෝල්කාරයන් කිහිපදෙනකු විසිනි. මේ අනුව සහල් සඳහා පාලන මිලක් ඇති කළ ද එයින් ප්‍රයෝජනයක් වන්නේ නැත. සතොස පාලන මිලට සහල් බෙදාහැරීම කළ ද ඊට ප්‍රමාණවත් සහල් තොග ලැබෙන්නේ නැත. මේ තත්ත්වය සැලකිල්ලට ගත් ආණ්ඩුව වී මෙ. ටො. තුන්ලක්ෂයක් ගබඩා කර තබා ගැනීමට තීරණය කර තිබේ. එහෙත් මෝල්කාරයෝ එම වැඩසටහන කඩාකප්පල් කිරීමට විවිධ උපායමාර්ග භාවිත කරති.

ගොයම් කවි ගායනා කරමින් ලතාවකට අනුව ගොයම් කැපීමක් දැන් සිදුවන්නේ නැත. කොළ මැඬීම, කමත් සකස් කිරීම, ගොයම් පෑගීම යන කිසිවක් දැන් අවශ්‍ය නැත. ගොයම් කපන මැෂිමක් කුඹුරට එයි. කුඹුරු යායක් කැපීමට වැඩි කාලයක් ගතවන්නේ නැත. 'භූතයා' නමින් හඳුන්වන මේ යන්ත්‍රයට අවශ්‍ය වන්නේ ගෝනි ටිකක් පමණි. ගොයම් කැපී පිදුරු ගස් එක පැත්තකින් වැටෙන අතර අනෙක් පැත්තෙන් ගෝනියට වී පිරෙයි. තාක්ෂණය දියුණුය. මෝල්කාරයන් මේ තාක්ෂණය ද තමන්ගේ වාසියට හරවාගෙන තිබේ. මැෂින් ක්‍රියාකරු අතට මුදල් දී කුඹුරේදීම වී මිලට ගැනීම මෝල්කාරයන් අරඹා ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් ද දැන් කුඹුරට යා යුතුය. කුඹුරට ගොස් වී මිලට ගත යුතුය.

වී කිලෝවක් රුපියල් පනස් පහකට මිලට ගත්ත ද හාල් කිලෝව රුපියල් සියයකට අඩුවෙන් ලබාදිය හැකි බව පිළිගත් මතය වෙයි. එහෙත් මෝල්කාරයන් මෙය පිළිගන්නේ නැත. විවිධ ගණන් හිලව් ඉදිරිපත් කරමින් වී මිල පහත දැමීමට ඔව්හු බලපෑම් කරති. එක්කෝ වී මිල අඩු විය යුතුය. නැතහොත් සහල් මිල ඉහළ දැමීමට ඉඩදිය යුතුය, යන්න මෝල්කාරයන්ගේ අදහස වී තිබේ. සහල් වෙළෙඳපොළ තුළ ඒකාධිකාරයක් පවත්වාගෙන යන ප්‍රධාන මෝල් හිමියෝ දෙතුන්දෙනෙක් වෙළෙඳාමෙන් අධික ලාභ ලබති. ඒ දෙතුන්දෙනා කුඩා මෝල් හිමියන්ට ද අභියෝගයකි. කුඩා මෝල් හිමියන්ට ප්‍රධාන මෝල් හිමියන් දෙතුන්දෙනා සමඟ තරග කිරීමේ හැකියාවක් නැත. එහෙත් ආණ්ඩුවට එම හැකියාව ඇත. එය භාවිතයට ගෙන සහල් වෙළෙඳපොළෙහි ‍ඒකාධිකාරය බිඳ දැමිය යුතුය.

මෙතෙක් කාලයකට වී නිෂ්පාදනයේ ලාභය ගොස් ඇත්තේ මෝල්කාරයන් වෙතය. ණයතුරුස් වෙමින් හා ජීවිතය පරදුවට තබා වගාව ආරක්ෂා කරගන්නා ගොවියාගේ අතට ලැබුණේ සොච්චම් මුදලකි. එය පවුලේ නඩත්තුවට ද ප්‍රමාණවත් නොවීය. ගොවියාට ණය ලබා දෙමින් ඔහු සූරාකෑමට ලක්කළ මුදලාලිලා ද සිටියහ. ඔවුන් වගාවට අතහිත දුන්නේ අධික ලාභයක් අපේක්ෂාවෙන්ය. ආණ්ඩුව මේ ක්‍රමය වෙනස්කොට ගොවියාට ස්වාධීනව නැඟී සිටින්නට අවශ්‍ය පරිසරය සකස් කර දුන්නේය. පොහොර සහනාධාරය, කෘෂිකර්ම උපදේශන පමණක් නොව; වගා හානිවලට වන්දි ලබා දෙන්නේ ද ආණ්ඩුවය. එහෙත් මේ මොහොතේ ගොවියාගේ සහයෝගය ආණ්ඩුවට ලැබෙන්නේ නැත. ගොවියා මෝල්කාරයාට හේත්තු වී ඇති බවක් පෙනෙයි.

සහල් වෙළෙඳපොළ තුළ මෙන්ම වී වෙළෙඳපොළ තුළ ද දේශපාලන ව්‍යාපාර ක්‍රියාත්මක වන බවක් ද පෙනෙන්නට තිබේ. එක්තරා ගොවි සමිති නායකයෙක් කියා සිටින්නේ වැඩිම මිලකට වී අලෙවි කිරීමට ගොවියාට අවස්ථාව දිය යුතු බවය. එහි අරමුණ වන්නේ රජයේ වී ගබඩා කිරීමේ වැඩසටහන කඩාකප්පල් කිරීමය. රජය වී අතිරික්තයක් තබා ගැනීමට උත්සාහ කරන්නේ සහල් මිල හා සහල් හිඟය සම්බන්ධයෙන් කරුණු සැලැකිල්ලට ගනිමින්ය. ඉලක්කය වන්නේ වී මෙ. ටො. ලක්ෂ තුනකි. සෑම ගොවියකුම මේ සඳහා යම් දායකත්වයක් දැක්වීමෙන් ගැටලුවට විසඳුමක් දිය හැකිය. එහෙත් ඇතැම් ගොවියන් ඊට සූදානම් නැති බව වාර්තා වී ඇත. රටේ සහල් පිළිබඳ ආරවුල විසඳීමට ගොවියා ද යම් සම්මාදමක් දීම වැදගත්ය.

ග්‍රාමීය කෘෂිකර්මය දියුණු කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් වී ඇත. එය 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ද සඳහන් වී ඇත. කෘෂිකර්මය ගත් කල වී ගොවියා ප්‍රධාන වෙයි. අපේ ප්‍රධාන ආහාර භෝගය වන්නේ වී ය. රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන්නේ බත් ය. සහල් සම්බන්ධයෙන් ඇතිවන ඕනෑම ගැටලුවක් ජාතික මට්ටමේ ගැටලුවක් බවට පත් වෙයි. පසුගිය සති කිහිපය පුරාවටම සම්බා සහල්වල හිඟයක් දක්නට ලැබිණි. ඊට පෙර නාඩු සහල්වල හිඟයක් දක්නට ලැබිණි. මේ දෙක ම සිදුවූයේ මෝල්කාරයන් අවශ්‍ය තොග නිකුත් නොකිරීම නිසාය. කෘත්‍රිමව ඇති කරන සහල් හිඟයට විසඳුම් දෙකක් තිබේ. පහසු විසඳුම වන්නේ සහල් ආනයනයට ඉඩ දීමය. ආණ්ඩුව ප්‍රතිපත්තියක් වශයෙන් ආනයන සීමා කර ඇත්තේ දේශීය නිෂ්පාදන දිරිගැන්වීම සඳහාය. අනෙක් විසඳුම වන්නේ ආණ්ඩුව වී ගබඩාකොට තබාගෙන අවශ්‍ය අවස්ථාවලදී ප්‍රමාණවත් සහල් තොග වෙළෙඳපොළට නිකුත් කිරීමය. දැන් එය ක්‍රියාත්මක වෙයි.

මේ වෙළෙඳ තරගයෙන් මෝල්කාරයා ජයගතහොත් ගොවියා අමාරුවේය. පාරිභෝගිකයාත් අමාරුවේය. එබැවින් කළ යුත්තේ රජයේ වැඩසටහනට සහයෝගය දක්වා ගොවියාත් පාරිභෝගිකයාත් යන දෙදෙනාටම යුක්තිය ඉටුකිරීමය.

නව අදහස දක්වන්න