පක්ෂ නායක තීරණයක් අනුව වාචික ප්‍රශ්න 15 සිට 10 දක්වා අඩු කළා කථානායක මහින්ද යාපා අබේවර්ධන | දිනමිණ

පක්ෂ නායක තීරණයක් අනුව වාචික ප්‍රශ්න 15 සිට 10 දක්වා අඩු කළා කථානායක මහින්ද යාපා අබේවර්ධන

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න

ඇමැතිවරුන්ගෙන් පිළිතුරු ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වාචිකව අසන ප්‍රශ්න 15 සිට 10 දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) ප්‍රකාශ කළේය.

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් අනුව වාචික ප්‍රශ්න 15 සිට 10 දක්වා අඩු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් දැනට මතුව තිබෙන ගැටලු පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා බවත් කථානායකවරයා පැවසුවේය.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් කථානායකවරයා එසේ ප්‍රකාශ කළේය.

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් අනුව ජනවාරි මාසයේ සිට ප්‍රශ්න ඇසීම 10 ක් දක්වා අඩු කළ අතර එසේ තීරණයක් ගෙන තිබියදීත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙහෙම වාද විවාද කරන එක කනගාටුවට කරුණක් වන බවත් කරු ජයසූරිය කථානායකවරයා සිටින කාලයේ ප්‍රශ්න අසන්න හරියටම පැයක් පමණක් වෙන් කළ අතර වත්මන් කථානායකවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදීභාවය වැඩි නිසා මන්ත්‍රීවරුන් මෙසේ කටයුතු කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (ස.ජ.බ.)

අපට කලින් ලැබුණු න්‍යාය පත්‍රයේ මගේ ප්‍රශ්නයක් තිබුණා අද අහන්න. අද ප්‍රශ්න දහයක් තිබෙන නිසා අද උදේ මට කතා කරලා කිව්වා ප්‍රශ්නය අයින් කරලා තිබෙන්නේ කියලා. පසුගිය පාර්ලිමේන්තු වාරයේදීත් මගේ ප්‍රශ්නයක් තිබිලා එය අයින් කළා. ඒක මේ න්‍යාය පත්‍රයට දානවා කීවා. නමුත් දාලා නැහැ. අද ප්‍රශ්නයත් අයින් කර තිබෙනවා. ආයේ කවදා අහන්න ලැබෙයිද දන්නේ නැහැ. ප්‍රශ්න 15 දැන් 10 ක් කළානේ. ඒ කරන විට අපේ ප්‍රශ්නනේ කැපෙන්නේ. ඒකනේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්න තෝරා ගන්නේ කොහොමද. ඒක අසාධාරණයි.

පත් කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා (පො.ජ.පෙ.)

අද ප්‍රශ්න දහයෙන් හයක්ම විපක්ෂයේ ප්‍රශ්න.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් මහතා (පො.ජ.පෙ.)

අපි මේ පාර්ලිමේන්තුවට ඇවිත් මාස හයයි. අපට එකක්වත් අහන්න විදියක් ලැබුණේ නැහැ. ඔක්කොම අහන්නේ විපක්ෂයේ සිටින චමින්ද විජේසිරියි, බුද්ධික පතිරණයි, හේෂා විතානගේයි.

කතානායකතුමා

මීළඟ පක්ෂ නායක රැස්වීමේදි මේ ගැන කතා කරලා තීරණයක් කරලා දෙන්නම්. න්‍යාය පුස්තකයේ තිබෙන පළමු ප්‍රශ්න දහය තමයි තෝරා තිබෙන්නේ.

ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා

ජනවාරි මාසයේ සිට අපි තීන්දු කළා ප්‍රශ්න 10 ක් විතරක් අහන්න ඉඩ දෙන්න. ඒක පක්ෂ නායක රැස්වීමේ ගත් තීන්දුවක්. නොඑසේ නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න කපන එකක් නොවේ. කොවිඩ් ප්‍රශ්නය නිසා කිරිඇල්ල මහතාත් දන්නවා. මහ ලේකම්තුමා කීවේත් 1 සිට 10 වෙනකම් ගන්න කියලා. ඊළඟ ඒවා මීළඟ පාර්ලිමේන්තු දිනවලදී අහන්න පුළුවන්. එහෙම නැතිව අපේ ආණ්ඩුව ප්‍රශ්නවලින් පැනලා යන්න හිතන්නේ නැහැ. ප්‍රශ්න 20 ක් ඇහුවත් අපි උත්තර දෙනවා. ප්‍රශ්න කපනවා කියන පණිවිඩය මාධ්‍යයට යවන්න මේ අය හදන්නේ. ඔබතුමාලා නියෝජනය කරන්න තමයි පක්ෂ නායකයන් පක්ෂ නායක රැස්වීමට එන්නේ. ඒක ඔබලාගේ පක්ෂ නායකයාත් සමඟ කතා කර ගන්න.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (ස.ජ.බ.)

ප්‍රධාන සංවිධායකතුමා, ආණ්ඩු පක්ෂයේ අයගේ ප්‍රශ්න නෑ කියලා කියනවා. අපට කියන දේ ඔබලාගේ මන්ත්‍රීවරුන්ට කියන්න. පක්ෂ නායක රැස්වීමේ ගත් තීරණ ඒ අයට කියන්න.

විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

මම ඒ වේලාවේදී කිව්වා පාර්ලිමේන්තු කාලය තව පැයකින් දික් කරන්න කියලා. පැය භාගයක් කලින් පටන්ගෙන පැය භාගයක් පරක්කු වෙලා අවසන් කරන්න කියලා මම පක්ෂ නායක රැස්වීමේදි කිව්වා.

කථානායකතුමා

ඔබතුමන්ලා ඉල්ලීමක් කළත් මන්ත්‍රීවරුන් ඊට එකඟ නැහැ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා

උදේ හයට පටන් ගත්තත් වැඩක් නැහැ දවල් 12 වෙනකම් ප්‍රශ්න අහනවා නම්. ඒකනේ දැන් සිද්ධ වෙන්නේ. පසුගිය වසර පහේ මෙහෙම සිද්ධ වුණේ නැහැ. ඔබතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදීභාවය වැඩි නිසා තමයි 10 ට පටන්ගෙන 12.30 වෙනකම් ප්‍රශ්න අහන්නේ. නමුත් කරු ජයසූරිය කථානායක සිටින කාලයේ ප්‍රශ්න අහන එක හරියට පැයෙන් නතර කළා. මේ අය නිදාගෙන ඇහැරලා වගේ කතා කරන්නේ. අපේ මන්ත්‍රීවරුන් සූදානම් වුණේ ඔවුන්ගේ ප්‍රශ්නත් කපනවා කියලා පෙන්වන්න හැදුවේ. අපේ ඒවාටත් ඒ අසාධාරණය වනවා. පක්ෂ නායක රැස්වීමේදී මේ ගැන කතා කරලා තීන්දුවක් ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා.

කථානායකතුමා

මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ඇමැතිවරු ලබාදෙන විට කෙටියෙන් ලබාදෙන්න. එවිට මේ ප්‍රශ්නය මතු වන්නේ නැහැ. අහන්නේ නැති ප්‍රශ්නවලට ඇමැතිවරු උත්තර දෙනවා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා

ප්‍රශ්න 100 ක් විතර මේ අය අහනවා. මාධ්‍යයට දාන සංදර්ශනයක් මේක.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා (ස.ජ.බ.)

ප්‍රශ්න 15 න් 5 ක් අයින් කළාම ඊළඟට එන දිනයවත් අපි දන්නේ නැහැ. එය විසඳා දෙන්න.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (ස.ජ.බ.)

පාර්ලිමේන්තුව පටන් ගන්න පළමු දිනයේ තමයි මමත්, චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාත් ප්‍රශ්න 400 ක් ලබාදී තිබෙනවා. ඒවා තමයි මේ අහන්නේ.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා

පසුගිය විපක්ෂයේ සිටින විට අපට ප්‍රශ්න අහන්න දුන්නේ නැහැ. ටික වේලාවයි අපට ප්‍රශ්නවලට ඒ කාලයේ ලබාදුන්නේ.

පත් කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා (පො.ජ.පෙ.)

ප්‍රශ්න අහන එක මෙයාලගේ මෝනින් ෂෝ එක. ඒක ලයිව් දෙන එක නවත්වන්න. එතකොට ඉවරයි.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්‍යයන් රාසමාන්‍යකම් මහතා (දෙ.ජා.ස.)

මඩකලපුවේ සිට කිලෝමීටර් 422 ක් පාර්ලිමේන්තුවට එනවා. ප්‍රශ්නය දුන්නේ සැප්තැම්බර් මාසයේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙක් සිටිනවා. අද ප්‍රශ්නය ගන්නේ නැහැ කීවා නම් මම අද එන්නෙත් නැහැ. මේ වගේ දේවල් වුණාම තමයි අපි පාගමන් යන්නේ. අපි මොකටද පාර්ලිමේන්තු එන්නේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා

මේ අය ස්ථිර කරගෙන තමයි එන්නේ. ඒ සඳහා සතියකින් උත්තර දෙන්නම් කීවා. මෙතුමා කියන විදියට කිලෝමීටර් 422 ක් ඇවිත් ඉන්නේ මේ ප්‍රශ්නය අහන්න. එහෙම වෙන්න බැහැ. ඡන්දයෙන් පත් වුණේ පාර්ලිමේන්තු එන්න. ඒ වගේම ඇමැතිවරයකුටත් වරප්‍රසාදයක් තිබෙනවා ප්‍රශ්නයක් ඇසුවාම උත්තර දෙන්න සති දෙකක කාලයක් ඉල්ලන්න. අපි ඔබතුමා ඇසූ ප්‍රශ්න ගොඩකට උත්තර දීලා තිබෙනවා. ඒ ගැන මතක් කරන්නේවත් ප්‍රශංසා කරන්නේවත් නැහැ. මේවා දේශපාලන වාසි උදෙසා කතා කරන්න එපා. ඔබතුමා වැදගත් දේශපාලඥයෙක් නිසා මම ගරු කරනවා. සති දෙකකින් උත්තර දෙනවා.

පාර්ලිමේන්තුව අද (25) උදෑසන 10.00 ට නැවත රැස් වේ.


ලක්විජය ජාතික බලශක්ති පද්ධතියට එක් නොවූයේ නම් මේ වන විට රට බරපතළ විදුලි අර්බුදයක ඇමැති ඩලස් අලහප්පෙරුම ස්වර්ණා විජේකෝන්,

ලක්විජය බලාගාරය මේ වන විට නිෂ්පාදනය කරන විදුලිය,ජාතික බලශක්ති පද්ධතියට එක් නොවූයේ නම් මේ වන විට රටක් ලෙස බරපතළ විදුලි අර්බුදයකට මුහුණ දෙන්නට අපට සිදු වනු ඇතැයි විදුලි බල ඇමැති ඩලස් අලහප්පෙරුම මහත පාර්ලිමේන්තුවේදී (24) ඊයේ පැවසීය .

ලක්විජය විදුලි බලාගාරයෙන් නිපදවන මෙගාවොට් 900ක් ලංකාවේ විදුලි නිෂ්පාදනයට එක්වීමෙන් විදුලි ඒකකයක් රුපියල් අටකට වඩා අඩු මිලකට ලබා ගත හැකි වූ බව ද , එය එසේ සිදු නොවුයේනම් ඩීසල් විදුලි බලාගාරයක් මඟින් නිපදවන විදුලිය මිලදී ගැනීමට සිදු වීම නිසා විදුලි ඒකකයට රුපියල් 22ක් බැගින් සිදුවන අලාභය පිළිබඳව මැදිහත් සිතින් අවධානය යොමුකළ යුතු බවද ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළේය .

ඇතැම් පිරිස් සිදුකළ දැඩි විවේචන මධ්‍ය යේ හිටපු ජනාධිපති,වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදි කළ මෙම විදුලි බලාගාරය නොවුයේ නම් අද බරපතළ බලශක්ති අර්බුදයකට මුහණු දීමට සිදු වන බවද ඇමතිවරයා පැවසීය. ලංකාවේ සිමෙන්ති නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඩ්‍රයි ඈෂ් මෙතෙක් කලක් චීනයෙන් ආනයනය කළ බව පැවසූ අමාත්‍යවරයා , ඉදිරියෙදී කොළඹ වරාය නගරයට අවශ්‍ය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ගඩොල් සියල්ල නොරොච්චෝලේ බලාගාරයෙන් ඉවතලන ඩ්‍රයි ඈෂ් වලින් නිපදවීමට කටයුතු කරන බවද සඳහන් කළේය .

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ලංකාවේ ගල් අඟුරු මගින් විදුලිබලය ජනනය කරන පළමු බලාගාරය වන ලක්විජය විදුලි බලාගාරයෙන් ජනනය කළ ශුද්ධ ශක්තිය මෙගාවොට් මිලියන 41,092 ක් බව සඳහන් කළ අලහප්පෙරුම මහතා එම විදුලි බලාගාරය මේ දක්වා නිරන්තරයෙන් ක්‍රියාවිරහිත වූ බව සඳහන් කිරීම සාධාරණ නොවන බවද කියා සිටියේය .

ලක්විජය විදුලි බලාගාරය ආරම්භ කළ අවස්ථාවේදී එහි ඉංජිනේරුවන්ට සහ තාක්ෂණික ශිල්පීන්ට ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින නව තාක්ෂණය පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් නොතිබුණද වර්තමානය වන විට ඔවුන් දැනුමෙන් සන්නද්ධ ව සිටින බවද ඇමතිවරයා සඳහන් කළේය. ආරම්භක අවස්ථාවේදී දෙසියකට වඩා වැඩි චීන කාර්මික ශිල්පීන් සංඛ්‍යාවක් බලාගාරයේ සේවය කළ ද මේ වන විට එහි සේවය කරන්නේ 24ක් පමණක් බව ද ඔහු පෙන්වා දුන්නේය .

මෙම බලාගාරය මඟින් විදුලිය ජනනයට අමතරව ,මෙතෙක් කල් දේශීය සිමෙන්ති නිෂ්පාදනය සඳහා ඉන්දියාවෙන් ආනයනය කළ අතුරු ඵලයක් වන අළු(fly ash) විකිණීම මඟින් මේ වන විට රුපියල් මිලියන 700කට වැඩි ආදායමක් උපයන බවද මෙහිදී ඇමැතිවරයා අනාවරණය කළේය .

එමෙන්ම ඉදිරියේදී පළාත් නවයම ආවරණය වන පරිදි කසළවලින් ක්‍රියාත්මක කරන බලාගාර නවයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවද ඇමතිවරයා අනාවරණය කළේය.

මෙහිදී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ, ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා තවමත් එක කම්කරුවෙක් හෝ අමාත්‍යාංශය ට බඳවාගෙන නොමැති ගෞරවනීය පුද්ගලයකු බවයි.

සන්ධ්‍යා කරුණාරත්න


පහළ මල්වතු ජලාශ ව්‍යාපෘතිය දේශීයව මුදල් යොදවා කඩිනමින් අරඹනවා

 වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ

පහළ මල්වතු ජලාශ ව්‍යාපෘතිය රුපියල් මිලියන 500 ක මුදලක් දේශීයව යොදවා තව දින දෙක තුනකින් ආරම්භ කරන බව වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 23,000 ක් ඇස්තමේන්තු කර ඇති බවත් මෙම සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවසන්වරට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය වනුයේ ව්‍යාපෘතිය සඳහා අරමුදල් සුදුසු විදේශීය මුදල් ප්‍රභවයකින් ගත යුතුය යන්න බවත් ඇමැතිවරයා පැවසුවේය.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාපෘතිය සඳහා විදේශීය ප්‍රභවයකින් හෝ දේශීයව හෝ මුදල් සම්පාදනය කර ගන්නා තෙක් රජයේ ඒකාබද්ධ අරමුදල්වලින් වියදම් කිරීම සුදුසු වන අතර දැදුරු ඔය, රඹකැන් ව්‍යාපෘතිය සිදු කළේ දේශීය මුදල් භාවිත කරමින් බවත් මෙම ව්‍යාපෘතිය ද හැකි තරම් දේශීය අරමුදලින් කිරීමට අපේක්ෂා කරන අතර වසර තුනක් තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.

මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව සහ අකිත මුරුප්පු වැව යටතේ දැනට ඇති කුඹුරු අක්කර 30,680 කට යල මහ දෙකන්නය සඳහා වාරි ජලය ලබාදීම, ජලාශයට ආසන්න ඉඩම් අක්කර 2000 කට යල මහ දෙකන්නයටම වාරි ජලය ලබාදීම, අනුරාධපුරය හා වවුනියාව දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ ගණනාවක පිරිසිදු පානීය ජලය පවුල් 50,000 කට ලබාදීම, වාර්ෂිකව ජලවිදුලිය නිපදවීමට දායක වීම, වවුනියාව මන්නාරම ප්‍රදේශවල මල්වතු ඔය ආශ්‍රිතව ඇති වන ජල ගැලීම් පාලනය කිරීම යනාදි ප්‍රතිලාභ මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරන බව ද ඇමැතිවරයා කීය.

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න


පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා ලෙස හැසිරෙන මන්ත්‍රීවරුන්ට තදින් ඉන්න

ඇමැති චමල් කථානායකට කියයි

පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධාවන අයුරින් හැසිරෙන මන්ත්‍රීවරුන්ට එරෙහිව ස්ථාවර නියෝග අනුව කටයුතු කරන ලෙස ඇමැති චමල් රාජපක්ෂ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඊයේ (24) ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේ දෛනික කටයුතුවලට බාධාවන අයුරින් දිගින් දිගටම ඇතැම් මන්ත්‍රීවරු කටයුතු කරන බැවින් ස්ථාවර නියෝග අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මඟින් මෙම තත්ත්වය පාලනය කළ හැකි බවද චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමට ඇමැති චමල් රාජපක්ෂ මහතා මහතා නැඟී සිටි අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු විවිධ කරුණු වෙනුවෙන් දිගින් දිගටම ඝෝෂාකාරි ලෙස කටයුතු කළ අතර ඒ අවස්ථාවේදී ඇමැති චමල් රාජපක්ෂහ මහතා මේ බව සඳහන් කළේය.

ඇමැති චමල් රාජපක්ෂ මහතා හිටපු කතානායකවරයකුද වන අතර කාලය කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන්ද ඒ මහතා මෙහිදී අවධානය යොමු කළේය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න


කොවිඩ් වසංගතය හේතුවෙන් සේවයට නොකැඳවූ සේවකයන්ට පඩි සහනයකට එකඟතාවක්

 ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සේවයට නොකැඳවූ හෝ සේවයට පැමිණිය නොහැකි වූ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා මූලික වැටුපෙන් හරි අඩක් හෝ රුපියල් 14,500 ක් හෝ වඩා වාසි සහගත මුදල තෝරා ගැනීමට ඉඩදීමේ ක්‍රමවේදයකට හාම්පුතුන් එකඟවූ බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මෙම ක්‍රමවේදය දැනට සේවයෙහි නිරත සේවකයන්ට කිසිසේත්ම බලනොපාන බවද ඇමැතිවරයා පැවසීය.

මෙම ක්‍රමවේදය හේතුවෙන් තමන්ට අසාධාරණයක් සිදුවී තිබෙන්නේ නම් ඒ පිළිබඳව කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමේ කිරීමේ හැකියාව ඇති අතර සතියකට වරක් සේවක සේව්‍යය කමිටුවක් විසින් එම දුක්ගැනවිලි සමාලෝචනය කරන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. මෙය කිසිසේත්ම වැටුප් කප්පාදුවක් නොවන බවත් හුදෙක් සේවක සේව්‍ය අවබෝධතාවයෙන් යුතුව සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය උදෙසා පවත්වාගෙන යනු ලබන යහපත් ක්‍රමවේදයක් බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.ලියාපදිංචි කර නොමැති අවිධිමත් අංශයේ රැකියාවල නියුක්ත වී සිටින කම්කරුවන්ට වුවද කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ විට ඒ සම්බන්ධව කටයුතු කිරීමට හැකියාවක් ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ලබාදෙන සෞඛ්‍ය නිර්දේශ අනුව සේවකයන් සීමාකිරීමේදී පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සහ රැකියා සුරක්ෂිත කිරීම සඳහා ජාතික කම්කරු සභාව නියෝජනය කරන හාම්පුතුන් සහ වෘත්තීය සමිතිවලින් සමන්විත කාර්ය සාධක බළකාය එළඹි එකඟතාවය අනුව මෙය ක්‍රියාත්මක වන බවද ඇමතිවරයා කීය.

එසේ ගෙවන වැටුප සඳහා සේවා යෝජකයා විසින් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සඳහා වන දායක මුදල් ගෙවීම සිදුකළ යුතු බවද ඇමතිවරයා පැවසීය. එසේ දායක මුදල් නොගෙවන ආයතන පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීමට තමන් සූදානම් බවද මෙහිදී ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය .

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න


අලි මිනිස් ගැටුම විසඳීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්න

 රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නිර්දේශ ඉල්ලයි

මෙරට ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති අලි මිනිස් ගැටුම විසඳීම සඳහා ලබාදී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කර මාස දෙකක් ඇතුළත එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

අලි මිනිස් ගැටුමට අදාළ විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු විශේෂ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව මේ වන විට ජනාධිපතිවරයාට පිළිගන්වා ඇති බවද මෙහිදී අනාවරණය විය.මෙම වාර්තාවට අමතරව මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විද්වත් කමිටුවක් විසින් 2006 වසරේදී සැකසූ ජාතික ප්‍රතිපත්තිය ද සමාලෝචනය කොට මෙම ක්‍රියාකාරි සැලැස්ම සකස් කරන ලෙස කෝපා කමිටුව දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයාට පිළිගැන්වූ කමිටු වාර්තාවේ නිර්දේශ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් මෙහි සමස්ත වගකීම ලබාදිය නොහැකි බවත් ඒ සඳහා ජනතාවගේම මූලිකත්වයෙන් ‍අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල,ගොවිජන සේවා දෙපාර්තමේන්තුව,මහවැලි අධිකාරිය වැනි ආයතනවල දායකත්වයෙන් විදුලි වැට ඉදිකිරීම සහ නඩත්තු කිරීම සිදුකළ යුතු බවත් මෙහිදී අනාවරණය විය.තවද ප්‍රජා මූලික ග්‍රාමීය විදුලි වැට සහ වගා කරන කාලයට පමණක් ක්‍රියාත්මක විදුලි වැට විකල්ප යෝජනා ලෙස මෙම නිර්දේශවල අන්තර්ගතව ඇත.

දැනට ක්‍රියාත්මක කරන අලි පැන්නීම වැනි සාම්ප්‍රදායික ක්‍රියාමාර්ග වසර 50කට ආසන්න කාලයක් තුළ අසාර්ථක වී ඇති බව අලි මිනිස් ගැටුම සම්බන්ධ පර්යේෂණාත්මක අත්දැකීම් සහිත විද්වතෙකු වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න


කෙසෙල් වගාවට මහවැලිය සතු ඉඩම් දීමක් කර නෑ

 ඇමැති චමල් රාජපක්ෂ

කෙසෙල් වගාව සඳහා ශ්‍රී ලංකා මහවැලිය සතු ඉඩම් ඩෝල් සමාගමට බැහැර කිරීමක් සිදු කර නොමැති බව වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) ප්‍රකාශ කළේය.

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අසල ඇති ඉඩම් සහ චන්ද්‍රිකා වැව ඉස්මත්තේ ඇති ඉඩම් කොටස් විදේශික ව්‍යාපාරිකයන්ට ලබාදීමක් සිදු කර නොමැති බවත් කැලෑ බවට පත්ව ඇති කඩදාසි කම්හල අසල තිබෙන ඉඩම් කොටස් කිහිපයක් දේශීය ව්‍යාපාරිකයන්ට ලබාදීමට කැඳවුම් කර ඇති අතර සම්මුඛ පරීක්ෂණ තබා පරිසරයට හානි නොවන කෘෂි අපනයනය සඳහා ඉඩම් ලබාදීමට අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහවැලිය සතු ඉඩම් ආයෝජන ව්‍යාපෘති සඳහා ලබාදීමේදී රජයේ ඉඩම් ආඥා පනත යටතේ ඇති ප්‍රතිපාදන අනුව අනුග්‍රාහිකව සහ අනුග්‍රාහික නොවන ලෙස ලබාදීමක් සිදු කරන බවත් හේෂා විතානගේ මන්ත්‍රීවරයා මවා ගත් ආකාරයට කියන විදියේ ඉඩම් ලබාදීමක් සිදු නොකරන බවත් ඇමැතිවරයා පැවසුවේය.

මේ ඉඩම් සම්බන්ධයෙන් යෝජනා 5000 කට වැඩිය තිබුණත් දිය හැක්කේ එකසිය ගණනක් බවත් ඉඩම් කොටස් දී තිබෙන්නේ වසර 2014 යහපාලන ආණ්ඩුව කාලයේදී වන අතර චන්ද්‍රිකා වැව ඉස්මත්තේ ඇති ඉඩම් සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් සිදු කරන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න


ශ්‍රී ලංකා පාකිස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපති ඇමැති නිමල් සිරිපාල සිල්වා

ශ්‍රී ලංකා පාකිස්ථාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස කම්කරු ඇමැති නිමල් සිරිපාල සිල්වා මහතා පෙරේදා(23) නිතරගයෙන් පත්විය.

එම සංගමයේ උප සභාපතිවරුන් ලෙස රවුෆ් හකීම්, අරවින්ද කුමාර් සහ මොහොමඩ් මුසම්මිල් යන මන්ත්‍රීවරුන් තේරී පත් වූ අතර ලේකම් ධුරයට පත්වූයේ රිෂාඩ් බදුර්දීන් මහතා වේ .

මෙම පත් කිරීම් සිදු වුයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනයෙන් පෙරේදා (23) පාර්ලිමේන්තුවේදී පැවැති පාකිස්ථාන, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමේදීය . මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් ජෙනරාල් මොහොමඩ් සාද් කටාක් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගි වූහ.

මෙම රැස්වීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩිවෙල් මහතා සහකාර ලේකම් ධුරයට පත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා භාණ්ඩාගාරික තනතුරට පත්විය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

 

 

නව අදහස දක්වන්න