පදිංචි ඉඩමට ඔප්පුව ගන්න මුදල් ගෙවලා අවුරුදු දෙකයි | දිනමිණ

පදිංචි ඉඩමට ඔප්පුව ගන්න මුදල් ගෙවලා අවුරුදු දෙකයි

  • මුදලුත් නෑ - ඔප්පුත් නෑ බදුල්ල වැලිබිස්ස ගම්වාසීහු පවසති
  • ආර්. එම්. විජේරත්න-හාලිඇල සමූහ

තමන් ජීවත් වන නිවස පිහිටි ඉඩම සඳහා නීත්‍යනුකූල ඔප්පුවක් ලබාගැනීමට අවශ්‍ය සියලු ලිපිලේඛන හා නියමිත මුදල්ද අදාළ අංශයන්ට ලබා දී වසර දෙකකට වැඩි කලක් ගතවුව ද මෙතෙක් ඔප්පු හෝ බලපත්‍රයක් හෝ නොලැබීමෙන් තමන් විශාල දුෂ්කරතාවට පත්ව සිටින බව බදුල්ල මාපාගල වැලිබිස්ස ඉහළ කොටසේ පදිංචිකරුවෝ පවසති. බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැලිබිස්ස ඉහළ කොටසේ පදිංචි පවුල් 27ක් පමණ මෙම ගැටලුවට මුහුණපා සිටින අතර මෙම තත්ත්වය මත සිය පදිංචිය සනාථ කිරීමට හෝ නීත්‍යනුකූල තත්ත්වයක් නොමැතිවීමෙන් තමන් පත්ව සිටින අසීරුතාවය පිළිබඳව ඔවුහු මෙසේ අදහස් දැක්වූහ.

වී. ඩී. වින්සන් මහතා:

අපි උපන්දා සිට ම පදිංචිව සිටින්නේ මේ ඉඩම්වලයි. මේ පදිංචි ඉඩම්වලට ඔප්පු ලබාගැනීම සඳහා රජයේ අදාළ අංශවල උපදෙස් හා මඟ පෙන්වීම මත 2018 වර්ෂයේ පමණ අදියර කිහිපයක් යටතේ පරිහරණ ගාස්තු, තක්සේරු ගාස්තු, නීති හා මුද්දර ගාස්තු ආදී ලෙසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට මුදල් ගෙව්වා. මම පෞද්ගලිකව රුපියල් අනූදහසක් විතර මුදලක් ගෙවා තියෙනවා. එලෙස සියලු ම ඉඩම් හිමියන් විවිධ ගණනින් මුදල් ගෙව්වා. ඒ අය ඉල්ලන ඉල්ලන සියළු ලිපිලේඛන ලබා දුන්නා. ඒත් අපට තාමත් ඉඩම් ඔප්පුවක් හෝ බලපත්‍රයක් කියා කිසිම ලියවිල්ලක් ලැබී නෑ. ඒ නිසා අපට නීත්‍යානුකූලව අපේ පදිංචිය සනාථ කිරීමට නොහැකිකම නිසා දරුවෙකු පාසලට ඇතුළත් කරන්න, බැංකුවකින් ණය මුදලක් ගන්න වගේ දෙයක්වත් කරගන්න නොහැකිවී තිබෙනවා.

එච්. එම්.පියදාස මහතා: මේ ප්‍රශ්නය නිසා අපි දැන් කල්ලතෝනි වගේ. අපේම කියලා ඉඩමක් ගෙයක් තිබුණට ඒවා අපේ කියලා ඔප්පු කරන්න කිසිම ලියවිල්ලක් නෑ. මේවා කාට කිව්වත් වැඩකුත් නැහැ. බදුල්ලේ එල්.ආර්.සී. එකට ගියාම එක එක කතා කියනවා.

ආර්. එම්. ධම්මිකා රත්නායක මහත්මිය:

මගේ දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවො ඉස්කෝලෙකට දාගන්න ගියාම පදිංචිය සනාථ කරන්න ඔප්පුවක් ඉල්ලනවා. අපේ අම්ම තාත්ත පවා ජීවත් වුණේ මේ ඉඩම්වල මේ ගෙවල්වල. ඒත් තාමත් මේ ඉඩම්වලට ඔප්පු නැහැ. අපට විතරක් නෙමෙයි මේක අපේ දරුවන්ටත් කරන අසාධාරණයක්. මේ සම්බන්ධයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ බදුල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂ එච්. කේ. ඒ. හේමන්ත කුමාර මහතාගෙන් විමසීමේදී ඒ මහතා සඳහන් කළේ අදාළ ඉඩම් පිහිටි භූමිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පැවතීම මෙම ප්‍රමාදයට හේතුව බවයි. අදාළ ඉඩම් සඳහා හිමිකම් දක්වමින් බලන්ගොඩ වැවිලි සමාගම විසින් එම ඉඩම්වල රාජකාරි කටයුතු නොකරන ලෙස නියෝගයක් ඉල්ලා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට විරුද්ධව නඩු පවරා ඇති බවත් එම නඩු කටයුත්ත අවසන් වනතුරු මෙම ඉඩම් සඳහා ඔප්පු ලබා දීමේ හැකියාවක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් අදාළ පදිංචිකරුවන් අපහසුතාවයට පත්වීම පිළිබඳව තමන් කනගාටුව පළකරන බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

නව අදහස දක්වන්න