මහියංගණය මූලික රෝහලට කොවිඩ් හදිසි ප්‍රතිකාර ඒකකයක් | දිනමිණ

මහියංගණය මූලික රෝහලට කොවිඩ් හදිසි ප්‍රතිකාර ඒකකයක්

එච්. එම්. රංජිත් කරුණාවීර - මාපාකඩවැව සමූහ

කොවිඩ් - 19 ආසාදිතව නිවෙසට පැමිණ සිටියදී හදිසියේ අසාධ්‍ය තත්ත්වයට පත් වූ ඇඟලුම් සේවිකාවක් රිදීමාලියද්දේ සිට බදුල්ල මහ රෝහල දක්වා ගෙන යෑමේදී සිදු වූ ප්‍රමාදය හේතුවෙන් ඇයගේ මරණය සිදු වූ බවට මාධ්‍ය අනාවරණය කිරීමත් සමඟම මෙතෙක් මහියංගණය මූලික රෝහලට අඩුපාඩුවක්ව තිබූ කොවිඩ් -19 රෝගීන් සඳහා වූ විශේෂ ඇඳන් 03ක් හා ශල්‍ය උපකරණ සහිත දැඩිසත්කාර ඒකකයක් පිහිටුවීමට ඌව පළාත් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් පියවර ගෙන තිබේ. මෙසේ මියගොස් ඇත්තේ රිදීමාලියද්ද 8 කණුව, වදකහඅරාව ගම්මානයේ වයස 21ක් වූ ඇඟලුම් ආයතනයක සේවය නියුතු තරුණියකි. මේ සිද්ධියේදී ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ජනිතා තෙන්නකෝන් මහත්මියගේ විශේෂ අවධානය ඒ කෙරෙහි යොමුව බදුල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා හට ඒ බව සොයා බැලීමටත්, කොවිඩ් රෝගීන් සඳහා වෙනම විශේෂිත ඇඳන් 03ක් සහිත ඒකකයක් මහියංගණය මූලික රෝහලේ පිහිටුවීමට කටයුතු සම්පාදනය කරනා ලෙසත් ඒ සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ මහියංගණය මූලික රෝහලට දීමට පියවර ගන්නා ලෙසත් දැනුම් දී ඇත. ඒ අනුව මේ වන විට මහියංගණය මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත් බණ්ඩාර මහතාගේ මැදිහත් වීමෙන් එම ඒකකය රෝහලේ කඩිනමින් ස්ථාපනය කරමින් පවතී.

නව අදහස දක්වන්න